මොරගහහේන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයකින් පළාගිය දෙදෙනෙකු (2) මරුට

මොරගහහේන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයකින් පළාගිය දෙදෙනෙකු (2) මරුට


මොරගහහේන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයකින් පළාගිය දෙදෙනෙකු (2) මරුට

(23.04.2024 – 06:25 +0530 – hirunews.lk/sinhala)

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02:00 ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම ත්‍රිරෝද රථයට නවත්වන ලෙස පොලිසිය සිදුකළ අණ නොතකා එහි ගමන්ගත් පිරිස පොලිසිය දෙසට වෙඩිතබා පළා ගොස් ඇති අතර, පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිස් ස්ථාන සහ මාර්ග බාධක වෙත ක්ෂණිකව දැනුම් දී තිබෙනවා.

එහිදී වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර, එම ත්‍රිරෝද රථය නවතන ලෙස අණ කර ඇතත් එම අණද නොකතා ඔවුන් ත්‍රිරෝද රථයෙන්ම පළාගොස් තිබෙනවා.

අනතුරුව එම නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය හඹාගොස් පාදුක්ක – මොරගහහේන මාර්ගයේ පුවක්වත්ත මංසන්ධිය අසලදී සිදුකළ වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එහිදී 22mm පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා ෴


නොමිලේ ලැබෙන හාල් ගන්නත් සමිතියට රු. 100 ක් දෙන්න වෙලා

(23.04.2024 – 07:48 +0530 – hirunews.lk/sinhala)

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය (10) ලබාදීමට පෙර අඩු ආදායම්ලාභී එක් අයකුගෙන් රුපියල් සියයක (100) මුදලක් අය කරගෙන ඇති බවට දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් චෝදනා කරනවා.

එහිදී එම මුදල ලබා දීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක (10) ප්‍රමාණය නොලැබෙන බවට දැනුම් දුන් බවයි ඔවුන් චෝදනා කරන්නේ.

ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවටයි වාර්තා වෙන්නේ.

අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ දහයක (10) ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන පසුගිය 21 වෙනිදා ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් මේ චෝදනාව පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, සහල් ලබාදීමේදී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, තමා විසින් එලෙස මුදල් එකතු කිරීම සඳහා කිසිවෙකුට උපදෙස් ලබා නොදුන් බවත්, එලෙස යම් මුදලක් එකතු කරනු ලබන්නේනම් ඒ සම්බන්ධව තමාව ලිඛිතව දැනුම්වත් කලහොත් ඒ පිලිබඳව සොයාබලා ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි ෴


රාජ්‍ය ආයතන 05 ක ප්‍රධානීන් මේ සතියේ ‘කෝප් කමිටුව’ට

(23.04.2024 – 08:34 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතන 05 ක ප්‍රධානීන් මෙම සතිය තුළ ‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව’ හෙවත් ‘කෝප් කමිටුව’ වෙත කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ‘ශ්‍රීලංකන් ගුවන් සමාගම’ ඇතුළු රාජ්‍ය ආයතන 05 ක ප්‍රධානීන් මෙලෙස කැඳවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

එළැඹෙන සිකුරාදා (26) දිනයේ ‘ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ’ ප්‍රධානීන් ‘කෝප් කමිටුව’ හමුවට කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ කැඳවා ඇති සෙසු ආයතන වන්නේ ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව’, ‘ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව’, ‘ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය’ සහ ‘මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල’යි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල කෝප් කමිටුව අනිද්දා (25) දිනයේ දී හමුවට කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


ශ‍්‍රීලනිප නායකත්වය ජාතිකත්ව හැගීමක් ඇති විජයදාසට යාම සතුටක්.. – උදය ගම්මන්පිල

(23.04.2024 – 06:07 +0530 – lankacnews.com)

‘චන්ද්‍රිකා මැතිණිය අතට මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැගීමක් තියෙන විජයදාස රාජපක්ෂ මහතා අතට පක්ෂය යන එක ගැන අපි සතුටු වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කලේ ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති ගත්තොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමයි මෙරට ජාතිකත්වයේ පක්ෂය; දේශප්‍රේමීත්වයේ පක්ෂය. ඒ ජාතිකත්වයේ මතවාදය කුඩුපට්ටම් කරලා කුණුකූඩයට දාපු චන්ද්‍රිකා මැතිණිය අතට මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැගීමක් තියෙන විජයදාස රාජපක්ෂ මහතා අතට පක්ෂය යන එක ගැන අපි සතුටු වෙනවා. නමුත් නිමල් සිරිපාල මහත්මයා වගේම විජයදාස රාජපක්ෂ මහත්තයත් මේ රටේ ඇමතිවරයෙක්; ආණ්ඩුවේ සාමාජිකයෙක්.

ප්‍රථිපත්තිමය වශයෙන් දෙපාර්ශවය අතර වෙනසත් තිබුනත් අවසානයේ දෙගොල්ලම ආණ්ඩුවේ ඇමතිවරු. ඒ නිසා ‘රජයට පවරාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ කියන එක වෙනස් වෙන්න නම් විජයදාස රාජපක්ස මහත්තයා ඇමතිධූරයෙන් ඉවත්වෙලා විපක්ෂයේ දේශපාලනයට එක්විය යුතුයි ෴

++++++++++

+


දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර උත්සවයකින් පසු මිය යයි..

(23.04.2024 – 10:40 +0530 – lankacnews.com)

දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) අළුයම අනුරාධපුරයේ දුම්රිය නිවාඩු නිකේතනයේ සිටියදි අභාවප්‍රාප්ත වී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ දේහය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයට අනුබද්ධව ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් හා මහව අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු නිලධාරී කණ්ඩායක් අනුරාධපුරයට ගොස් තිබේ.

පසුව රාත්‍රියේ නිදා ගැනීම සදහා අනුරාධපුර දුම්රිය නිවාඩු නිකේතනයට ගියද අද (23) උදෑසන දුම්රි සාමාන්‍යාධිකාරිවරයා අවදි නොවීම හේතුවෙන් කාමරයේ දොර කඩා බැලිමේදි ඇඳ උඩ වැතිර සිට ඇතිබව වාර්තා වේ.

පසුව අනුරාධපුර රෝහලට වහාම ඇතුළත් කල ද එහිදී මියගොස් ඇතිබව වෛද්‍යවරුන් පැවසූ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

නාගොඩ සුමන උදයන්ත

+

(23.04.2024 – lankadeepa.lk)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර, අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නැගෙනහිර නුවරගම් පලාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇති දුම්රිය සංචාරක බංගලාවක් තුළ, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය ඉංජිනේරුවරුන් පිරිසක් නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය කියයි.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ ගල්ගමුව දුම්රිය ස්ථානයේ, තලාව දුම්රිය ස්ථානයේ, අනුරාධපුර දුම්රිය ස්ථානයේ, මිහින්තලා දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන නවීකරණ කටයුතු නිරීක්ෂණය ඇතුළු විශේෂ වැඩ සටහන් මාලාවක් සඳහා සහභාගී වීමට පැමිණ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉංජිනේරු පිරිසක් මෙම සංචාරක බංගලාව තුළ නවාතැන් ගෙන සිටි බව පොලිසිය පවසයි ෴


තවත් පිරමීඩ ආයතන / යෙදවුම් 8 ක් මහ බැංකුව විසින් තහනම් වෙයි

(23.04.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් මූල්‍ය යෝජනා ක්‍රම(පිරමීඩාකාර ව්‍යාපාර) පවත්වාගෙන යන තවත් ආයතන 08 ක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එසේ හඳුනාගත් ආයතනවලට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාගේ සහාය ඉල්ලා ඇති බවයි.

කෙසේ නමුත් මහ බැංකුව පවසන්නේ, ‘පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක්’ බවයි.


දීඝවාපිය භාරකාර අරමුදලට තායිවාන කතගෙන් ඩොලර් 3025 ක මුදල් පරිත්‍යාගයක්

(23.04.2024 – dinamina.lk)

තායිවාන ජාතික කාන්තාවකගෙන් ‘දීඝවාපිය භාරකාර අරමුදල’ට ඩොලර් 3025 ක මුදල් පරිත්‍යාගයක් ලැබී තිබේ. තායිවාන ජාතික LU,SU-FENG මහත්මිය පසුගිය 19 වැනි දින අමෙරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත. පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරදී දීඝවාපිය පුදබිමේ සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු සියැසින් දැක පැහැදීමෙන් ඒ මහත්මිය මේ මුදල පරිත්‍යාග කළාය. ඒ මහත්මිය එවා ඇති ඊමේල් පණිවිඩයට අනුව, දීඝවාපිය පුදබිමේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ද ඇයගේ පින්බර දායකත්වය දැක්වීමට බලාපොරොත්තු වන බව දක්වා ඇත.

දීඝවාපිය පුදබිම බුදුරජාණන් වහන්සේ වැඩම කර ඇති සො‌ළොස්මස්ථානවලට අයත් පූජනීය ස්ථානයකි. ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ වූ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවල මේ වන විට බොහෝ ප්‍රගතියක් දක්නට ඇත. මේ සඳහා අරමුදල් සපයනු ලබන්නේ ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’ හරහා දානපතියන්ගේ නොමසුරු ආධාර මතය.

දීඝවාපිය සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායක වීමට කැමති අයට තම පරිත්‍යාග ලබාදීම සඳහා https://www.deegawapiya.lk/ දීඝවාපිය වෙබ් අඩවිය හරහා විස්තර ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා deegawapiyaaruna@gmail.com හෝ 011 243 0860-78 ඇමතීමෙන් ලබාගත හැකිය.

රක්ෂණ ශ්‍රියන්ත


‘මාලිමාවේ’ අපේක්ෂකයා අනුරපුරේ විහාරයකට පහරදෙයි

(23.04.2024 – 10:28 +0530 – hirunews.lk/sinhala)

පාර හරස් කර නවතා තිබූ ලොරි රථයක් ඉවත් කරවීමට ගත් උත්සාහයක් නිසා බහින්බස්වීමක් දුරදිග යෑමේ හේතුව නිසා අනුරාධපුර අභය වැව විහාරස්ථානයට කඩා වැදුණු ‘ජාතික ජන බලවේගයේ’ අපේක්ෂකයෙක් වන ‘ලලිත් විතාරණ’ ඇතුළු පිරිසක් එම විහාරස්ථානයේ සිටි පුද්ගලයෙකුට පහර දී තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයා ආරණ්‍ය සේනාසනයක ස්වාමීන් වහන්සේ නමකගේ රියදුරු වශයෙන් සේවය කරන අතර, ඊයේ (22) දින විහාරස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා කිහිප නමක් විභාගයකට වඩම්මවා නැවතත් විහාරය වෙත පැමිණෙමින් සිටියදී මාර්ගය හරස්වීම නිසා එම ලොරි රථය මදකට ඉවත්කර ගන්නැයි පැවසූ අවස්ථාවේ බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.

අනතුරුව ඔහු වාහනය රැගෙන විහාරස්ථානය වෙත පැමිණ වාහනය නැවතීමට පෙරාතුව පුද්ගලයන් අට දෙනකු (8) පමණ පැමිණ අවි ආයුධ, මන්න, යකඩ පොලූ, පිහි, සවල් ආදී ආයුධ කිහිපයකින් මොහුට සහ එම විහාරස්ථානයේ ලියන මහත්තයා යැයි කියන අයෙකුට පහර දී තිබෙනවා.

අනතුරුව බෙල්ලට පිහියක්ද තබා මරණ තර්ජනය කර ඇති අතර ඔහු විසින් මේ සම්බන්ධව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

අතට සහ උරහිස ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාර කිහිපයක් සහ ඇසකට ලේ වහනය විම හේතුවෙන් ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *