මෙරට ‘කළු සල්ලි’ ජාත්‍යන්තර බැදුම්කරවල.. සාකච්චා කරන්නේ ‘එකම පිල දෙකට බෙදිලා’.. – උදය ගම්මන්පිල

මෙරට ‘කළු සල්ලි’ ජාත්‍යන්තර බැදුම්කරවල.. සාකච්චා කරන්නේ ‘එකම පිල දෙකට බෙදිලා’.. – උදය ගම්මන්පිල


මෙරට ‘කළු සල්ලි’ ජාත්‍යන්තර බැදුම්කරවල.. සාකච්චා කරන්නේ ‘එකම පිල දෙකට බෙදිලා’.. – උදය ගම්මන්පිල

(22.04.2024 – 14:10 +0530 – lankacnews.com)

ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරන බවට සාධාරණ සැකයක් ඇතිවන බවත් ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මීලඟ වාරිකය මෙරටට අහිමි වීමේ අවදානමක් ද මතු වී ඇති බවත් ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (22) ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :

“ආණ්ඩුව මේ වන විට පාර්ශව තුනක් (3) සමග ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ (1.) චීනය හැර ණය දුන් රාජ්‍යයන්ගෙන් සමන්විත නිල ණයහිමි කමිටුව, (2.) චීනය සහ (3.) ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්. චීනය සහ නිල ණයහිමි කමිටුව සමග එකඟතාවයන්ට එළැඹෙන්න ආණ්ඩුව සමත් වුණත් බැඳුම්කර හිමියන් සමග පැවැත්වූ සියළුම සාකච්ඡා අසාර්ථකයි. බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරපු ණය ප්‍රතිව්‍යුහකරණ සැලැස්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා. ඩොලර් බිලියන දොළහාමාරක් (12½) බැඳුම්කර ආයෝජනය කරලා එකින් එක නොගෙවා තිබිය දී මේ අයගේ පපුව ගිනි අරන්. 2022 ගෙවන්න තිබුණු ඩොලර් බැඳුම්කර වල එක ශතයක් තවම ගෙවා නෑ. තමන්ගේ මුදල් ගෙවන්නේ නැතිව හිර වෙලා තිබුණාම එතැන ‘ආවස්ථික පිරිවැයක්’ තිබෙන නිසා බැඳුම්කර හිමියෝ ප්‍රමාද පොලියක් බලාපොරොත්තු වෙනවා. 2023 දෙසැම්බර් 31 දිනට ප්‍රමාද පොලිය විතරක් ඩොලර් මිලියන 1,678 ක් එකතු වෙලා තිබෙනවා. මේක දිනපතා ඉහළ යනවා.

බංකොලොත් බව ප්‍රකාශ කරලා දැන් අවුරුදු දෙකකට (2) වැඩියි. තවමත් ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් කරන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. කෝවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ බංකොලොත් වුණු රාජ්‍ය ගණනාවක් තිබෙනවා. ඊජිප්තුව, ඉතියෝපියාව, ඝානා, කෙන්යාව, ලෙබනනය, පකිස්ථානය, ටියුනීසියාව, යුක්රේනය සහ සැම්බියාව ඒ අතරේ තිබෙනවා. මේ රටවල් අවුරුදු දෙකක් (2) සාකච්ඡා කරමින් හිටියේ නෑ.

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් වුණු වහාම තම මුදල් ගෙවීම සුළුවෙන් හෝ අරඹාවි කියා බැඳුම්කර හිමියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ‘ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරනවාය’ කියන සාධාරණ සැකය අපට ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මීලඟ වාරිකය අහිමි වීමේ අවදානමක් දැන් මතු වී තිබෙනවා.

ලංකාවේ පසුගිය සමයේ සිදුවුණු බැඳුම්කර වංචාව වගේ ‘ඩීල්’ වලින් උපයා ගත් ‘කළු සල්ලි’ බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන බවට සමාජය තුල ප්‍රබල විශ්වාසයක් තිබෙනවා. එහෙම නම් බැඳුම්කර හිමියන් සහ ආණ්ඩුව අතර සාකච්ඡා කියන්නේ ‘එකම පිල දෙපිලකට බෙදී’ කරන සාකච්ඡාවක්. අවසානයේ දී ගෙවන්නේ අපේ දුප්පත් ජනතාව විදෙස් රටවල දුක් විඳලා උපයන ඩොලර්. ඒ නිසා බැඳුම්කර හිමියන් සමග ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඒ ගිවිසුමේ අන්තර්ගතය ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. මේක ‘ඩීල්ලන්තය’නෙ. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්” ෴

+++++++++

+


අපරාධවලින් උපයන දේපළ රාජසන්තක කරන පනතක්..- IMF කොන්දේසියක්..

(22.04.2024 – 15:50 +0530 – lankacnews.com)

යම් කිසි අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන නව නීති කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ තුන්වැනි (3) වාරිකය වන ඩොලර් තිස්තුන් කෝටි හැත්තෑ ලක්ෂයක් (33,70,00,000) මුදා හැරීමට පෙර මෙම නව නීති සම්පාදනය කරන බවට වූ පොරොන්දුව ඉටු කළ යුතුය යන ස්ථාවරයේ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ පසු වීම මෙම නීති කෙටුම්පත ගෙන ඒමට හේතු වී ඇතැයි වාර්තා වේ.

මෙම වාර්තාවේ ප්‍රධාන කරුණු පිළිබඳ සංක්ෂිප්ත සාරාංශයක්, යෝජිත නීති සැලැස්මක් සහ නීත කෙටුම්පත යනාදිය අඩංගු වේ.

මෙම සමස්ත ලේඛනයම තැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

The Proceed of Crime Act (POCA) (අපරාධ වලින් හිමි කරන්නා දේපළ පිළිබඳ පනත) ඔස්සේ වැළැක්වීම, සුරක්ෂිතව තබාගැනීම, අහිමි කිරීම, ආරක්ෂා කිරීම්, කළමනා කරණය, නීතිමය වශයෙන් තහනම් කිරීම හා අපරාධ වලින් ලබාගත් දේපළ රාජසන්තක කිරීම ආදිය උදෙසා ප්‍රතිපාදන සැපැයේ.

නව පනතින් යම් පුද්ගලයකු වරදකරු කිරීමෙන් අනතුරුව හෝ ඔහු වරදකරු කිරීමකින් තොරව හෝ අපරාධයකින් හිමි කරගත් දේපළ රාජසන්තක කිරීම උදෙසා ද ප්‍රතිපාදන සැපැයේ.

මෙසේ අපරාධකරුට අහිමි කරන දේපළ ආරක්ෂා කිරීම, කළමනාකරණය හා සුරක්ෂිත කරණය සම්බන්ධව කටයුතු කිරීමට ‘අපරාධ දේපළ කළමනා කරණය කිරීමේ අධිකාරිය’ නම් නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර තිබේ.

මෙම නව නීතියෙන් අපරාධයට ගොදුරු වූවන්ට සිදු වූ හානි ප්‍රතිපූර්ණය කිරීමේ ප්‍රතිපාදන ද යෝජනා කර තිබේ.

කාමිනී විජේදාස
සන්ඩේ ටයිම්ස්


මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම CID යට කැඳවයි… ජනාධිපතිගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව

(22.04.2024 – 12:00 +0530 – lankacnews.com)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාවක සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.

මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඝාතනය කිරීමට පාතාලය විසින් සිදුකළ සැලසුමක් සම්බන්ධයෙන් වන හඬ පටයක් ඔහු එම නාලිකාවේ විකාශය කර තිබිණි.

ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙන රහස් පොලිසිය හමුවට කැඳවා ඇත.

ජනාධිපතිගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව අවශ්‍ය තොරතුරු මෙම සාකච්ජාවෙන් හෙලි කර ඇති බවත් ඊට අදාල තොරතුරු තවදුරටත් ලබාගැනීමට මෙම කැඳවීම කර තිබේ ෴


පූජ්‍ය උලපනේ සුමංගල හිමි රිමාන්ඩ්

(22.04.2024 – 12:48 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු දෙදෙනෙකු (2) රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී උලපනේ සුමංගල හිමියන් ඇතුළු තුන්දෙනෙකු (3) අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන් ඇතුළු දෙදෙනෙකු (2) ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

නාරාහේන්පිට , දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට පස්සේ බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා ෴


හිටපු ඇමති ගාමිණි ලොකුගේ ගේ දුවගේ අතුරුදන් වූ චෙක් පොත් අරගල ලොක්කාගේ නිවසින් මතුවෙයි

(22.04.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අරගල සමයේ ගිණිතබා විනාශ කළ හිටපු ඇමති ගාමිණි ලොකුගේ ගේ ඥාති දියණියකගේ නිවසකින් කොල්ල කා තිබූ බැංකු පොත් සහ චෙක්පත් තොගයක් සොයාගත් බව කැස්බෑව පොලීසිය පවසනවා.

එම නිවසින් කොල්ල කෑ චෙක්පත් 03 ක්, බැංකු පොත් 04 ක් සහ ඥාති දියණියගේ හැඳුනුම්පත අරගලයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ සංගීත ශිල්පියෙකුගේ නිවෙසකින් සොයාගත් බවයි පොලිස් ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

‘යුක්තිය මෙහෙයුමෙන්’ සිදුකළ පරීක්ෂා කිරීමකදී, මෙම පුද්ගලයා සතුව තිබී මත් කරල් තොගයක් පොලීසියට හමුවී ඇති අතර පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පොල්හේන ප්‍රදේශයේ ඔහුගේ නිවසේ කාමරයක සඟවා තිබීයදී මෙම ලියකියවිලි සොයාගෙන තිබෙනවා ෴


සුඛෝපභෝගී මෝටර් රථ 112 ක් ගැන අධිකරණයෙන් නියෝගයක්

(22.04.2024 – 13:47 +0530 – hirunews.lk/sinhala)

නිසි පරිදි බදු නොගෙවා රේගුවෙන් නිෂ්කාශනය නොකර ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 112 ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් ‘කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය’ අද (22) ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා’ට නියෝගයක් නිකුත් කළා.

‘අල්ලස් කොමිසම’ විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ රේගුවෙන් විධිමත් ආකාරයට නිෂ්කාශනය නොකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් මෙම අධි සුඛෝපබෝගී වාහන 112 ක් ලියාපදිංචි කළ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ හේතුවෙන් රජයට අයවිය යුතු රුපියල් බිලියන 05 කට අධික බදු ආදායමක් අහිමි වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් අල්ලස් කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

මීට අදාලව විමර්ශන සිදුකරන බැවින් අදාළ වාහන පැවරීම සහ අන්සතු කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා ෴


වර්ෂාවෙන් සහ ගංවතුරෙන් වගාබිම් හෙක්ටෙයාර් 68,131 ක් විනාශයට

(22.04.2024 – 14:20 +0530 – hirunews.lk/sinhala)

2023 – 2024 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කරන ලද භුමිවලින් හෙක්ටෙයාර් 68,131 ක් විනාශයට පත්ව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙම වගා හානි සිදු වූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් 71% ක් බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000 ක් ද අධික වර්ෂාව හා ගංවතුර නිසා හානියට පත්ව තිබෙනවා ෴


වැසි වැටුණත් උෂ්ණාධික කාලගුණ තත්ත්වය මැයි තෙක්

(22.04.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය, තවදුරටත් අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එමෙන්ම, දිවයිනට බලපා ඇති අධික උණුසුම් තත්වය මැයි මස මුල් සතිය තුළදී පහව යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග එම තත්වය බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාතට මේ වනවිට බලපා ඇති වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කළ හැකියි.

අද (22) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වාර්තාවූ වැඩිම වර්ෂාපතනය කළුතර – නෑබොඩ ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා. එය මිලිමීටර 118.5 ක්.

මේ අතර උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු මට්ටමක” පවතිනු ඇති බව එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

+


ලංකාවට ඩොලර් ගේන ‘ෆැන්ටසි මූර්ති’

(22.04.2024 – 14:58 +0530 – hirunews.lk/sinhala)

‘බෝර්ඩ් ගේමින් ක්‍රීඩාව’ සඳහා භාවිත කරන ‘ෆැන්ටසි කුඩා මූර්ති’ ආලේපනය කිරීමේ සේවාව ලොව ප්‍රචලිත ව්‍යාපාරයක්.

ලොව ප්‍රචලිත ‘බෝර්ඩ් ගේමින්’ ක්‍රීඩාව සඳහා මේ ‘පේන්ට් ෆිගර්ස්’ එහෙමත් නැතිනම් ‘ෆැන්ටසි කුඩා මූර්ති’ භාවිත කරනවා.

මේ ‘ෆැන්ටසි කුඩා මූර්ති ආලේපන සේවාව’ ලොව ප්‍රචලිත ව්‍යාපාරයක් වුණත් ශ්‍රී ලංකාවට නම් එය එතරම් ජනප්‍රිය මාතෘකාවක් වන්නේ නැහැ.

ඒ කොහොම වුණත් ‘ෆැන්ටසි කුඩා මූර්ති ආලේපන සේවාව’ සිදුකරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.

ඉතා සියුම්ව සංයමයෙන් කළ යුතු ‘ෆැන්ටසි කුඩා මූර්ති ආලේපන සේවාව’ මගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් මේ වන විට උපයා දීමට එම ආයතනය සමත් වී ඇති අතර, එහි මූර්ති ආලේපනකරුවන් සහ නිර්මාණ ශිල්පීන් ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකිකයින් වීම විශේෂත්වයක්.

මෙලෙස නිර්මාණයවන සියලු ‘ෆැන්ටසි කුඩා මූර්ති’ අමෙරිකාවට සහ යුරෝපා රටවල්වලට අපනයනය කෙරෙන අතර ඉදිරියේදී මෙය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළටද හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *