ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ වෙත තොරතුරු හෙළිකළ ‘මොහොමඩ් තස්ලීම්’ දුක්විඳින හැටි

ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ වෙත තොරතුරු හෙළිකළ ‘මොහොමඩ් තස්ලීම්’ දුක්විඳින හැටි


ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ වෙත තොරතුරු හෙළිකළ ‘මොහොමඩ් තස්ලීම්’ දුක්විඳින හැටි

(21.04.2024 – 22:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවස්ථා ගණනාවකදී ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ වෙත හෙළිකළ ‘මොහොමඩ් තස්ලීම්’ අදටත් වන්දි ගෙවන්නේ ජීවිතය පරදුවට තබා හෙළිකළ තොරතුරු නිසාවෙන්.

කිතුණු බැතිමතුන්ගේ ජීවිත රැසක් අහිමි කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය දැන් හෝ ඉටු කරන ලෙසයි තස්ලීම් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

2019 අප්‍රේල් 21 වැනිදා ජීවිත 269 ක් බිලිගැනීමට සහරාන් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම පිඹුරුපත් සකසා තිබුණේ වසර ගණනාවකට පෙර සිට බව විමර්ශනවලදී අනාවරණය වුණා.

මාවනැල්ල ප්‍රදේශයේ ජීවත්වන තස්ලීම් මේ වනවිට දැඩි රෝගාතුරවී සිටිනවා.

ඒ රටේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා හෙළිකළ තොරතුරු නිසා ජීවිතයෙන් වන්දි ගෙවමින්.

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම, මාවනැල්ල බුද්ධ ප්‍රතිමා කඩා දැමීම ඇතුළු තොරතුරු රැසක් ආරක්ෂක අංශ වෙත හෙළිකිරීම නිසා ඊට පළි ගැනීමක් වශයෙන් සහරාන්ගේ ගෝලයින් විසින් 2019 මාර්තු 09 වැනිදා තස්ලීම්ගේ හිසට වෙඩි තබා තිබුණේ ඔහුගේ නිවසේදීමයි.

දින 20 ක් සිහිසුන්ව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තස්ලීම් අද (21) සිටින ආකාරයයි මේ.

කිතුණු බැතිමතුන්ගේ ජීවිත රැසක් අහිමිකරමින් සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකොට යුක්තිය ඉටු කරන ලෙසයි තස්ලීම් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

+


සිය දෛනික වැටුප රුපියල් 1,700 ක් ඉල්ලා වතු කම්කරුවන් උද්ඝෝෂණයේ

(21.04.2024 – 20:21 +0530 – hirunews.lk/sinhala)

සිය දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් ප්‍රදේශ රැසක වතු කම්කරුවන් අද (21) වැඩවර්ජනයක නිරත වෙමින් උද්ඝෝෂණවල නිරත වුණා.

නාවලපිටිය ප්‍රදේශයේ වතු පහකට (5) අයත් කම්කරුවන් අද (21) දහවල් නාවලපිටිය කඩියන්ලෙන නගරයේදී විරෝධතාවක නිරත වූ බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන් කළේ.

එමෙන්ම හාලිඇල නගරයේදී ද අද (21) වතු කම්කරුවන් කලු පටි පැලඳ උද්ඝෝෂණයක නිරත වූයේ සිය දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලමින් ෴


කුමන බලපෑම් ආවත් මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කරනවා – අමාත්‍ය ටිරාන්

(21.04.2024 – 22:02 +0530 – hirunews.lk/sinhala)

බලවතුන් කුමන බලපෑම් එල්ල කළ ද තමන් අමාත්‍ය ධුරයේ සිටින තුරු මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම නොනවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදීයී.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හා හැටන් පොලිස් කොට්ඨාසවල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද (21) පැවැති අතර, එම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

+


යුක්තියෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය මැයි මාසයේ විනාශ කිරීමට පියවර

(21.04.2024 – 22:51 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය හා හැටන් පොලිස් කොට්ඨාසවල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද (21) පැවැත්වුණා.

ඊට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී ඔහු ප්‍රජා පොලිස් කමිටු පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම පිළිබඳව ද අදහස් දක්වා තිබෙනවා.

පොලිස්පතිවරයා පැවසුවේ යුක්තිය මෙහෙයුමෙන් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය මැයි මාසයේ දී විනාශ කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම පාතාලයට සහ මත්ද්‍රව්‍යවලට සහයෝගය දෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴


තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි 5 ක් ඉවත් කරයි

(22.04.2024 – 07:02 +0530 – hirunews.lk/sinhala)

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි 05 ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව, ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ සඳහන් කරනවා.

මෙම ව්‍යාජ වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්ධින් 35 ක් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, දේශීය හෝ විදේ­ශීය පාර්සල් ලැබී­මක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණි­වු­ඩ­යක් ගණුදෙ­නු­ක­රු­වන් වෙත යැවී­මක් සිදුකර නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා ෴


දියතලාවේදී සිදුවූ අනතුරින් මියගිය අය අතර මිත්තණියක් හා මිණිබිරියක්

(22.04.2024 – 07:09 +0530 – hirunews.lk/sinhala)

වසර 05 කට පසුව ඊයේ (21) දින දියතලාව, ෆොක්ස් හිල් (නරියා කන්ද) හි පැවති ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ තරගාවලියේ එක් තරගයක් අතරතුර සිදුවූ අනතුරකින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.

මෙම තරගය අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබෙන අතර, දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

තරගයේ පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ තිබුණේ එම අවස්ථාවේදී යි.

එහිදී ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් කලබලයට පත්ව තිබූ අතර, ඔවුන්ව මගහැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ 160 km/h ක අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරලීයාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු (5) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් තුවාල ලැබූවන් 25 දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ අතර, ඉන් දෙදෙනෙකු (2) එම රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙ‍නකු (3) බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් පොලිසිය සඳහන් කළා.

‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරගාවලියේ 17 වැනි ඉසව්ව ලෙසින් ක්‍රියාත්මක වූ SLH 2000cc ධාවන ඉසව්වේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අනතුරට පත් ව ඇත්තේ ‘සුබාරු ලෙගසි’ වර්ගයේ මෝටර් රථයක් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත් වුණේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළ ආර්. අබේනායක, මාතර පදිංචි ගනේෂ් ජයවර්ධන, අරුණ ශාන්ත උපාලි ගමගේ සහ අශේන් හීනටිගල යන අයද, ඩයරබා හංදිය මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි උදයකුමාරි සහ 08 හැවිරිදි ධනුශිකා යන අය මෙන්ම, සීදූව ප්‍රදේශයේ පදිංචි චමින්ද නිරෝශන් යන පිරිසයි.

මියගිය අය අතර සිටින වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි උදයකුමාරි සහ 08 හැවිරිදි ධනුෂිකා යන අය මිත්තණිය හා මිණිබිරිය බව හඳුනාගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ අය අතර යුද හමුදා සේවකයන් දෙදෙනකු (2) සිටින බවත් ඒ අය දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අනතුරින් ‘ෆොක්ස්හිල්’ ධාවන තරගයේ සංවිධායකයින් සිව්දෙනෙකු (4) ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර සිටින බවයි.

තුවාලකරුවන් අතරින් 18 දෙනෙකු පිරිමින් වන අතර සෙසු 5 දෙනා කාන්තාවන්.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවුණා.

ඒ අනුව වසර 5 ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර, මෙවර එම තරගාවලිය සඳහා මෙවර විශාල ජනසහභාගීත්වයක් ද පැවැති බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් අනතුරුව මෙම තරගාවලියේ ඉදිරියට පැවැත්වීමට නියමිත සියලු තරග අවලංගු කිරීමට සංවිධායකවරු විසින් පියවර ගෙන තිබෙනවා ෴

++++++++

+++++++++

‘ෆොක්ස් හිල්’ අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(22.04.2024 – 08:55 +0530 – hirunews.lk/sinhala)

07 දෙනෙකුට මරු කැඳවමින් සහ 23 දෙනෙකු රෝහල්ගත කරමින් ඊයේ (21) ‘දියතලාව නරියා කන්දේ’දී ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ‘මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරන් 2 අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම තරගය අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබෙන අතර, දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

තරගයේ පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ තිබුණේ එම අවස්ථාවේදී යි.

එහිදී ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් කලබලයට පත්ව තිබූ අතර, ඔවුන්ව මගහැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ 160km/h ක අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරලීයාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු (5) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරුව අනතුරින් තුවාල ලැබූවන් 25 දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ අතර, ඉන් දෙදෙනෙකු (2) එම රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙ‍නකු (3) බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් පොලිසිය සඳහන් කළා ෴

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරට සම්බන්ධව අත්අඩංගුවට ගත් රියදුරන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රියෙල් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ක‍රනු ලැබුවා ෴


පොලිස් පෙම්වතා සමග උරණ වූ කොස්තාපලිය රෝහලේ

(22.04.2024 – 08:00 +0530 – hirunews.lk/sinhala)

කොස්තාපලියක් සිය පෙම්වතා සමඟ ඇති වූ අමානපයක් හේතුවෙන් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර තිබෙනවා.

ඇය මේවන විට නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබනවා.

කොස්තාපලියක් සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වා ගෙන ගිය පෙම්වතා ද කොස්තාපලයෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය සඳහන් කරන්නේ කොස්තාපලිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴


පාසල් දරුවන්ට බෙදාදීමට තිබූ සහල් ප්‍රමිතියෙන් තොර බවට චෝදනාවක්

(22.04.2024 – 08:17 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන් සඳහා බෙදාදීමට සැළසුම් කර තිබූ වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ තිබූ සහල් තොග ප්‍රමිතියේ තොර බවට ‘ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය’ චෝදනා කරනවා.

මෙම සහල් තොග ලෝක ආහාර සංවිධාන මගින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩසටහනට අදාළව රැගෙන විත් තිබූ බවට සහල් තොග බව සඳහන්.

අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා ෴


පන්නිපිටියේ ලී මෝලක ගින්නක්

(22.04.2024 – 08:12 +0530 – sinhala.adaderana.lk)

පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අද (22) අලුයම 02:30 පමණ ගින්න හට ගෙන ඇති අතර ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනිනිවන රථ තුනක් (3) සහ දෙහිවල මහ නගර සභාවේ ජල බහුසර යොදාගෙන මේ වනවිට ගින්න පාලනය කර ඇත.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට සැක කෙරේ.

ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර දේපළවලට දැඩි හානි සිදුව තිබේ.

++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *