ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ‘කොට උඩ’ නිසා ලංකාවේ ආර්ථිකය ‘වැට උඩ’

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ‘කොට උඩ’ නිසා ලංකාවේ ආර්ථිකය ‘වැට උඩ’


ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ‘කොට උඩ’ නිසා ලංකාවේ ආර්ථිකය ‘වැට උඩ’

(21.04.2024 – 11:24 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා එකඟතාවකට නොපැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතවතාවක් අවිනිශ්චිතතාවකට මුහුණ දෙන බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉදිරි සමාලෝචනයන් මත ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කරනු ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ කරනවා.

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ඉකුත් අඟහරුවා දා ශ්‍රී ලංකාව නිවේදනය කිරීමත් සමග එම නිගමනයට එළඹෙන ‘නිකී ඒෂියා පුවත් ඒජන්සිය’ පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සිය වැඩසටහන තුළ පනවා ඇති කොන්දේසියක් වන ඩොලර් බිලියන 12 කට වැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රශ්නයකට තුඩු දී ඇති බවයි.

මෙරට ආර්ථික විද්‍යාඥයකු වන ‘තලල් රෆි’ උපුටා දක්වමින් එම පුවත් වාර්තාව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව තවමත් ණය පැහැර හැරීම් තත්ත්වයක පවතින බැවින්, ණය ශ්‍රේණිගත කිරීම් සහ විදේශ ආයෝජන සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවකට මුහුණ දීමත් සමග, ආර්ථික‍ය කඩාවැටීම සම්බන්ධයෙන් සැලකිය යුතු අවදානමක් මතුව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක වැඩපිළිවෙලක් තුළ ඉකුත් (2023) වසරේ මාර්තු මාසයේ දී ඩොලර් බිලියන 2.9 ක පැකේජයක් අනුමත කිරීමට කටයුතු කෙරුණා.

ශ්‍රී ලංකාව මේ වන විට එහි දෙවන (2) සමාලෝචනයේ රැඳී සිටින අතර මෙම (2024) වසරේ මාර්තු මාසයේදී ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ අතර 1965 සිට 2016 දක්වා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්පූර්ණ වැඩසටහන් 16 කට සම්බන්ධ වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ ක්‍රියාත්මක වන්නේ 17 වැනි වැඩසටහනයි.

කෙසේ නමුත් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ගිවිසුමකට එළැඹීමේ දී මතුව ඇති ප්‍රමාදය, ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉදිරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයට ද බලපෑ හැකි බව ආර්ථික විශේෂඥ රාෆිව උපුටා දක්වමින් එම පුවත් වාර්තාව සඳහන් කරන්නේ, “ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ප්‍රධාන කොන්දේසියක් වන බැවින්, එය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා ගතවන කාලය කෙරෙහි බලපෑමක් ඇති කරයි.” යනුවෙන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම්ගත වී ඇති වැඩසටහන තුළ දී, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට විශේෂයෙන් සහාය ලැබෙනු ඇත.

ඉකුත් 2022 වසරේ අප්‍රේල් මාසයේ දී, ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් ප්‍රථම වතාවට සිය විදේශ ණය පැහැර හැරිය අතර ඉකුත් අප්‍රෙල් 12 වැනි දාට ඊට වසර 2 ක් සපිරුණා.

ශ්‍රී ලංකාවට අදාළ නිල දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ මුදල් සංචිතය ඉකුත් පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 4.5 දක්වා ඉහළ ගි‍ය අතර ආර්ථිකය සම්බන්ධයෙන් එය යම් සුබවාදී ඉඟියක් පහළ කිරීමට සමත් වුණා.

නමුත් අදාළ ප්‍රවෘත්ති වාර්තාව පෙන්වා දෙන්නේ, එළඹෙන එලඹෙන ජනාධිපතිවරණය හමුවේ මතු වී ඇති තත්ත්වය යටතේ කඩිමුඩියේ කරන ලද ඕනෑම ගනුදෙනුවක තිරසාරභාවය පිලිබඳ කනස්සල්ල මතු කරන බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ක්‍රියාවලිය වේගවත් කරන ලෙස රජයට බලපෑම් කර ඇති බවයි.

එහි ඇති අනිසි බලපෑම අදාළ පුවත් වාර්තාව වෙත සඳහන් කර ඇති ඇති ආර්ථික විද්‍යාඥ ‘රෆි’ සඳහන් කරන්නේ, “ඉක්මන් පරිසරයක් තුළ අවාසිදායක ගනුදෙනුවක් ඇති විය හැකි අවස්ථාවක් තිබේ, එහි දී එකඟ වූ ණය ආපසු ගෙවීම ශ්‍රී ලංකාවට ඉදිරි වසරවල දී ගෙවීමට දරාගත නොහැකි විය හැකි අතර එය දෙවන (2) පැහැර හැරීමකට තුඩු දිය හැකිය,” බවයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලය තුළ පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව බලපෑම් කරන අතර, 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත් වූ නමුත් වැරදි කළමනාකාරිත්වය හේතුවෙන් 2022 ජුනි මාසයේ දී ඔහුට ඉල්ලා අස්වීමට සිදු වුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරන්නේ, කිසිදු බාධාවක් නැතිව, සාකච්ඡා දිගට ම පවතිනු ඇති බවයි.

එසේ ම බැඳුම්කර හිමියන් විසින් රජයට ඉදිරිපත් කරන ලද ප්‍රති-යෝජනාවලින් විශේෂයෙන් ක්ෂේත්‍ර දෙකක් (2) සම්බන්ධයෙන් රජයට ‘සමථයකට’ පැමිණිය නොහැකි බව ද ඔහු පසුගිය දා පැහැදිලි කළා.

කෙසේ වෙතත්, අඛණ්ඩව සාකච්ඡා කිරීමට සහ බැඳුම්කර උපදේශකයින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නියෝජිතයින් ඇතුළු සියලු ම පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවත් ඔහු එහි දී අවධාරණය කළා.

මේ අතර මෙරට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඉකුත් බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ‘ඊළඟ පියවර සඳහා වැඩසටහන් පරාමිතීන් සමඟ නවතම යෝජනාවල ගැළපුම තක්සේරු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ වැඩිදුර උපදෙස් අවශ්‍ය වනු ඇති’ බවයි.

‘ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ දෙවැනි (2) සමාලෝචනය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය සලකා බැලීමට පෙර පොදු පදනමක් ඇති කර ගැනීමේ අරමුණින් බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා දිගට ම කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා’ යනුවෙන් ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත්, Oxford Economics හි ගෝලීය නැගී එන වෙළෙඳපොල උපාය මාර්ග පිළිබඳ අධ්‍යක්ෂ ‘සර්ජි ලැනාවු’ උපුටා දක්වමින් අදාළ පුවත් වාර්තාව සඳහන් කරන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සෑම තැනක ම සෙමින් ඉදිරියට යන බවයි.

ඊට නිදසුන් දෙමින් ඔහු සඳහන් කරන්නේ, ඝානාව 2022 දෙසැම්බර් මාසයේ දී ණය පැහැර හැර ඇති අතර ඒ සඳහා වන සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වන බවත්, ‘ශ්‍රී ලංකාව තුළ ඉක්මන් ගිවිසුමක් පිළිබඳ පුලුල්ව පැතිරුණු අපේක්ෂාවන් ඇතැයි මම සිතන්නේ නැහැ’ යනුවෙන්.

මේ අතර අදාළ පුවත් වාර්තාව, ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්ලිව්.ඒ. විජේවර්ධන උපුටා දක්වමින් සඳහන් කරන්නේ, ආරම්භයේ සිට ම සාකච්ජාවල ලක්ෂණයක් වී ඇත්තේ විශ්වාසයයේ හා විනිවිදභාවයේ ඌනතාවය බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, ‘දැන් පෙනෙන්නේ දෙපාර්ශ්වයම අනෙක් පාර්ශ්වයට ලබා දීමට නොහැකි මස් රාත්තල ම ඉල්ලා සිටින බවයි’ ෴


සැමියා මියගිය සොවින් බිරිඳ සියදිවි නසාගනී

(21.04.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

සිය සැමියා හදිසියේම හෘදයාබාධයකින් මියයාමේ ශෝක ජනක පුවත දරා ගැනීමට නොහැකි වූ ඔහුගේ බිරිද ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ වවුනියාව නෙඩුන්කේණී 6 කණුව ප්‍රදේශයෙන්.

නිවසේදී හෘදයාබාධයකට ලක් වූ 48 හැවිරිදි රාමචන්ද්‍රන් රවීන්ද්‍රන් නැමති සැමියා වහාම නෙඩුන්කේණී රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔහුව රෝහල් ගත කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නිසා වවුනියාව මහ රෝහල වෙත ඔහුව මාරු කිරීමට සූදානම් වෙද්දී බිරිද ඔහුට
අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට නිවසට ගොස් ඇති බවයි වාර්තාව් වෙන්නේ.

ඒ අතරවාරයේදී ස්වාමියා නෙඩුන්කේණී රෝහලේදීම මියගොස් ඇති අතර රෝහලේ සිට පැමිණි අයෙකු බිරිදට ඒ බව පවසා තිබෙනවා.

ඒ සමගම ඇය නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානි කරගෙන ඇති අතර එසේ මියගොස් ඇත්තේ රාමචන්ද්‍රන් ජෙගතීස්වරී (46) නැමති දරුවන් දෙදෙනෙකුගේ (2) මවක්.

මියගිය දෙදෙනාගේම (2) මළ සිරුරු පරීක්ෂණ කටයුතු සදහා රැගෙන යන තුරු නෙඩුන්කේණී රෝහලේ තැන්පත්කර තිබෙනවා.

නෙඩුන්කේණී පොලීසිය එම මරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා ෴


දඹුල්ලේ ශීතාගාරය වසර 06 ක් තිස්සේ කොට උඩ

(21.04.2024 – 13:53 +0530 – hirunews.lk/sinhala)

එළවළු අස්වනු අපතේ යාම වළක්වා ගැනීමේ අරමුණින් ඉදිකිරීම් ආරම්භ කළ දඹුල්ල ශීතාගාරය අදටත් ගොවි අයිතියට පත් කර නැහැ.

මෙම ශීතාගාරයේ අවශ්‍යතාව මේ වනවිට දැඩිව මතුව ඇත්තේ එළවළු අස්වනු අපතේ යාම විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන්.

පසුගිය සමයේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර වෙළෙඳපොළට එළවළු සැපයුම අඩුවීම හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඊට හේතු වුණා.

කෙසේවෙතත් ගෙවුණු අවුරුදු දිනයට දින දෙකකට (2) පෙර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු මෙලෙස ටොන් ගණනින් කසළ ලෙස අපතේ දැමීමට සිදුවුණේ ඉල්ලුමට වඩා වැඩි එළවළු තොග ගොවීන් විසින් සැපයීම හේතුවෙන්.

ආර්ථික බරින් පීඩිතව එළවළුවක් පවා ගැනීමට දෙවරක් සිතන වකවානුවක මෙලෙස එළවළු අපතේ යාම විමතියට කරුණක්.

සැපයුම වැඩි වන අවස්ථාවලදී එළවළු තොග ගබඩා කරගැනීම සඳහා විදෙස් රටවල් අනුගමනය කරන ආකාරයේ ශීතාගාරයක් මෙරට ඉදිකිරීමට පියවර ගැනුණේ මීට වසර 5 කට පෙරයි.

ඉන්දීය රජයේ ආධාර මත රුපියල් මිලියන 525 ක පිරිවැයක් සහිතව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදිකිරීම් ආරම්භ කළ ‘ප්‍රභාශ්වර’ නම් එම ශීතාගාරයේ කටයුතු මෙතෙක් අවසන් කර නැහැ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලිකත්වය ගත් එවකට රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ‘X ගිණුමේ’ සටහනක් තබමින් පෙන්වා දුන්නේ වත්මන් අවශ්‍යතාවය සලකා මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සියලු පාර්ශ්වයන් සහය දිය යුතු බවයි.

ශීතාගාරය විධිමත්ව ඇරඹීම අවම වශයෙන් මාස 06 ක් තුළ කළ යුතු බවත්, ළූනු ගොවීන්ට එහිදී ප්‍රමුඛතාවය දිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

+


නිදහස් පක්ෂ කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්

(21.04.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඒ ශ්‍රිලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කණ්ඩායමක් එම මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී යි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය විසින් අද (21) පෙරවරුවේ විධායක සභාව රැස් වූ අතර එහි දී එහි වැඩ බලන සභාපතිවරයා ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කර ගනු ලැබුවා.

රාජගිරිය ප්‍රදේශයේ හෝටලයක පැවති විධායක සභා රැස්වීමෙන් අනතුරුව ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි නව වැඩබලන සභාපතිවරයා එහි ඇති සහාපති පුටුවේ අසුන් ගෙන ඇති අතර, මෛත්‍රී පාර්ශ්වය නියෝජනය් කරමින් එහි පැමිණි ඇතැම් සාමාජිකයන් එම කාර්යාලයේ වූ ලාච්චු අවුස්සමින් ඉකුත් දා නැති වූ බව කියන ලිපිගොනු සෙවීමේ කටයුතුවල ද නිරත වූ බව ඒ බව ඇසින් දුටු නිර්ණාමිකව සිටීමට කැමති වූ අයෙක් හිරු නිවුස් සමඟ පැවසුවා.

+


අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල්

(21.04.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක (2) තුළ මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අද (21) ඌව පරණගම අඹගස්දෝව ක්‍රිඩාංගණයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික උත්සවයට එක් වෙමින් පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28 ක් සඳහා නොමිලේ සහල් බෙදාදීම මේවන විට ක්‍රියාත්මක බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් සඳහන් කළේ අප්‍රේල් මාසයේ ලබාදීමට නියමිත සහල් කිලෝග්‍රෑම් 10 මේවන විට දිවයින පුරා බෙදාදීම ආරම්භ කර ඇති බවයි ෴


දෙහිඅත්තකණ්ඩියේ වකුගඩු රෝග අවදානමක්

(21.04.2024 – 15:08 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ යන දිස්ත්‍රික්කවලින් වකුගඩු රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන අතර අම්පාර දිස්ත්‍රිකක්යේ දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි බල ප්‍රදේශයේද මෙම රෝගීන්ගේ වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව අම්පාර දිස්ත්‍රිකක්යේ දෙහි අත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ සෑම සායනයකදිම නව වකුගඩු රෝගීන් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් හමුවෙන බවයි එම කාර්යාලයේ වෛද්‍ය නිළධාරී සිතුමිණි හේරත් ප්‍රකාශ කළේ.

මෙම රෝගය පැතිරිම පාලනය කිරිම සදහා දෙහිඅත්තකණ්ඩිය වකුගඩු රෝග නිවාරණ ඒකකයේ නිළධාරීන් ගම්මානවලට පැමිණ වකුගඩු රෝග හදුනා ගැනිම සදහා විශේෂ පරික්ෂණ ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙම ප්‍ර‍දේශයේ රෝගීන් 3,000 ක් පමණ සිටින අතර හදුනා නොගත් රෝගින් 6,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින බව දෙහි අත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වකුගඩු රෝග නිවාරණ ඒකකය භාර වෛද්‍ය නිළධාරින් සිතුමිණි හේරත් වැඩිදුරටත් සදහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *