පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හෙටට (21) වසර 5 යි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හෙටට (21) වසර 5 යි


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හෙටට (21) වසර 5 යි

(20.04.2024 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ජීවිත 250 කට වැඩි ප්‍රමාණයක් බිලිගත් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර පහක් (5).

ඒ වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ දේවස්ථායේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ‘යැදුම් පා ගමනක්’ අද (20) පස්වරුවේ ආරම්භ කෙරුණා.

2019 වසරේ අප්‍රෙල් 21 වැනිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඇතුළු දිවයිනේ ස්ථාන 08 කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයින් 250 කට වැඩි පිරිසකට දිවි අහිමි වූ අතර 407 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

ප්‍රහාරය සිදුවී පස් වසරක් (5) සපිරුණත් තවමත් එම ප්‍රහාරයට වගකිවයුත්තන් නීතියේ රැහැනට හසුකරගෙන නොමැති අතර වින්දිත ජනතාවටද සාධාරණයක් ඉටුවී නැහැ.

එවන් පසුබිමක පාස්කු ප්‍රහාරයට වසර 5 ක් ගත වීම වෙනුවෙන් කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ විශේෂ දිව්‍ය පූජාවක් අද (20) පස්වරුවේ පැවැත්වුණා.

එම දේව මෙහෙයෙන් අනතුරුව එම දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා යැදුම් පා ගමනක් ආරම්භ කෙරුණේ ආගමික පියතුමන්, ප්‍රහාරයෙන් වින්දිත පවුල්වල සාමාජිකයින් සහ කතෝලික ප්‍රජාවගේ සහභාගිත්වයෙන්.

මෙම පාගමන හෙට (21) උදෑසන 07:30 පමණ වන විට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ලඟා වීමට නියමිත අතර ඉන් පසුව සර්ව ආගමික නායකයින්ගේ සහ තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්වෙනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහිකරමින් හෙට (21) උදෑසන 08:45 ට මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවයක් ද පැවැත්වෙන අතර ඉන් අනතුරුව විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙනු ඇති.

හෙට (21) සවස 03:30 ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය භූමියේ සිට රදගුරුතුමන් සහ සර්ව ආගමික නායකයින් මෙන්ම ජනතාවගේ සහභාගීත්වයෙන් යාඥාවේ පාගමනක්ද සූදානම් කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස විශ්වාසයේ වීරයින් ලෙස නම් කරන්නැයි එහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත අත්සන් පිටපත් භාරදීමටද නියමිතයි.

මේ අතර දිවයින පුරා කිතුනු දේවස්ථාන වලද හෙට (21) දින පාස්කු ප්‍රහාරයට වසර 5 ක් ගත වීම නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු 8 ක් මූලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (19) දිනයේ එම දෙපාර්තමේන්තුව හමුවේ ලබාදුන් ප්‍රකාශය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ අද (20) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී.

+++++++++

+


දින 4 කින් විවෘත වන උමාඔය ව්‍යාපෘතිය

(20.04.2024 – 20:45 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ව්‍යාපාරයට පමණක් දෙවැනි මෙරට දැවැන්ත බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන උමාඔය ව්‍යාපෘතිය අප්‍රෙල් 24 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසිගේ ප්‍රධානත්වයෙන් අදාළ ව්‍යාපෘතිය විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර 2010 වසරේදී නිල වශයෙන් ඇරඹූ ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක්.

මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමේ ප්‍රධාන අරමුණ සහිතව කෘෂිකර්මාන්තය සහ පානීය ජලය සැපයීම ඇතුළු තවත් කාර්යයන් බොහොමයක් එමගින් සිදු වනවා.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය කොටස් දෙකකින් (2) යුක්ත අතර ජල විදුලිය නිපදවීම මෙහි පළමු (1) කොටසයි.

ඌව වෙල්ලස්සට වාරි ජලය සැපැයීම එහි දෙවන (2) කොටස වනවා.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළමුව පුහුල්පොල ප්‍රදේශයේ වේල්ලක් ඉදිකර එහි රැස්වන ජලය කිලෝමීටර් 04 ක උමං මාර්ගයක් ඔස්සේ ඩයරබා ජලාශයට ගෙන එනු ලබනවා.

එහි ජලය ගබඩා කර කිලෝමීටර් 15.5 ක් දිග උමං මාර්ගය ක් ඔස්සේ, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ටර්බයින් යන්ත්‍ර දෙකක් (2) වෙත ඒවා රැගෙන යන අතර එමගින් මෙගාවොට් 120 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.

පසුව එම ජලය තවත් කිලෝමීටර් 04 ක උමං මාර්ගයක් ඔස්සේ අලිකොට ආර ජලාශය වෙත ගෙන අතර අනතුරුව හඳපානාගල හා කුඩාඔය ජලාශ දක්වා ඒවා රැගෙන යනු ඇති.

දළ වශයෙන් කුඹුරු අක්කර 15,000 කට පමණ යල සහ මහ කන්න දෙකේම (2) ජලය සැපයීම එහි අරමුණයි.

ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටද උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් හැකියාව සැලසෙනවා.

මේ අතර වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය සඳහා අද (20) එහි සංචාරයක නිරත වුණා.

මේ අතර මෙම විවෘත කිරීම වෙනුවෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මෙරටට පැමිණෙන දිනය සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

+


පුංචි පවුල් රකින නිල් කටරොළු… ලෝකයෙන් ලොකු ඉල්ලුමක්… (20.04.2024)

+


කල්පිටියේ දූපත් පහක් (5) රජයට බදු පොලු තියලා

(21.04.2024 – 07:15 +0530 – hirunews.lk/sinhala)

කල්පිටියේ දූපත් පහක් (5) බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු (5) රුපියල් කෝටි 06 කට ආසන්න බදු මුදලක් ‘සංචාරක සංවර්ධන අධිකාරිය’ට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්.

ඒ ඉප්පන්තිව් වෙල්ලයි, සින්න ඉරමතිව්, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ ඉරමතිව් යන දූපත් බද්දට ගනු ලැබූ ආයෝජකයින්ගෙන්.

එමෙන්ම කල්පිටියේ තවත් දූපත් හයකට (6) අයත් ඉඩම් අක්කර 457 ක් ‘ජනපති නිදහස් දීමනා’ ලෙස ‘සංචාරක සංවර්ධන අධිකාරිය’ට පවරා තිබුණද, එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර 10 කට වැඩි කාලයක් ගත වී තිබූ බවද එම වාර්තාවේ සඳහන්.

මේ තොරතුරු සඳහන් වන්නේ සංචාරක සංවර්ධන ප්‍රදේශ සහ සංචාරක ව්‍යාපෘති සංවර්ධන කර්මාන්තයට දායක කරගැනීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ වන අතර, යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයිද එම වාර්තාවේ දැක්වෙනවා.

එහිදී යාල, පලටුපාන සංචාරක කලාපයේ විවිධාංගිකරණය වූ පාරිසරික අත්දැකීමක් සංචාරකයන්ට ලබාදීමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බවයි එහි සඳහන්.

එමෙන්ම, දුන්හිඳ ඇල්ල ආශ්‍රිතව පරිසර හිතකාමී කඩ විස්සක් (20) ඉදිකිරීමේ ව්‍යාපෘතියද කඩ කාමර කොටසක් නිම කිරීමෙන් පසු නතර කර ඇති බවත්, ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරවීම හා අධිකාරියේ සමීප අධීක්ෂණයක් නොමැතිවීම ඊට හේතු වී තිබූ බවත් එම විගණන වාර්තාවේ සඳහන් ෴


සිංහරාජයේ හදිසි මෙහෙයුමක්

(21.04.2024 – 07:54 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ වනාන්තරය තුළ තෙදින (3) විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට ‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් තීරණය කර තිබෙනවා.

ඒ වන විනාශය සහ ජාවාරම් කටයුතු සිදුකරන බවට එම දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරක් මතයි.

වන සංරක්‍ෂණ ජනරාල්වරයාගෙ අධීක්ෂණය යටතේ වන සංරක්‍ෂණ නිලධාරීන් 100 කට අධික පිරිසක් මෙම මෙහෙයුමට සහභාගිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴


සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප සංවර්ධනය 2024 වසර අවසානයට පෙර

(21.04.2024 – 09:37 +0530 – hirunews.lk/sinhala)

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ (2024) තුන්වැනි (3) කාර්තුව අවසානයට පෙර නිම කිරීමට ‘නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය’ සැලසුම්කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ පහසුකම් සැපයීම වෙනුවෙන් ‘මුදල් අමාත්‍යංශය’ විසින් කමිටුවක්ද පත්කර ඇති අතර, 2019 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය අතරමග නතර කෙරුණේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන්.

‘ආසියානු සංවර්ධන බැංකුවේ’ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 30 ක්.

සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරෙනවා ෴


තක්කාලි ගොවීන්ගෙන් මැසිවිල්ලක්

(21.04.2024 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ගැණුම්කරුවන් නොමැති වීම නිසා බණ්ඩාරවෙල සහ හපුතලේ තක්කාලි ගොවීන් සිය අස්වැන්න තොග වෙළඳපොළවල දමා ගොස් තිබෙනවා.

ගොවීන් පවසන්නේ තමන් මුදල් වැයකර වගා කළ අස්වැන්නට නිසි මිලක් නොලැබීම හේතුවෙන් දැඩි අසරණ භාවයකට පත්ව ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ, 2019 දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලද කෘෂි ශීතාගාරයේ වැඩ කටයුතු තව මාසයක පමණ කාලයකින් අවසන් කිරීමට නියමිතව ඇති බවයි.

එමගින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ තිබෙන එළවළු කල්තබා ගනිමින් එළවළු නාස්තිය වළක්වාගැනීම හැකි බව ‘එක්ස් ගිණුමේ’ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴

+

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (21) එළවළු මිල ගණන්

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *