වසර දෙකක් (2) තුළ වෛද්‍යවරු 1,800 ක් රට හැර යයි

වසර දෙකක් (2) තුළ වෛද්‍යවරු 1,800 ක් රට හැර යයි


වසර දෙකක් (2) තුළ වෛද්‍යවරු 1,800 ක් රට හැර යයි

(20.04.2024 – 14:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර 2 ක කාලය තුළදී වෛද්‍යවරු 1800 කට අධික සංඛ්‍යාවක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 300 කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ වෛද්‍යවරුන් මෙරට රදවා ගැනීම සදහා රජය අවශ්‍ය පියවර ගත යුතු බවයි.

එමෙන්ම, හම්බන්තොට මහ රෝහලේ තුන්වැනි (3) නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රෝහල් බලධාරීන්ට නොදන්වා විදෙස්ගත වී තිබෙන බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.

මීට පෙර ද හම්බන්තොට මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් (2) ද රෝහල් බලධාරීන්ට නොදන්වා විදෙස් ගත වී තිබෙනවා.

මේවන විට හම්බන්තොට මහ රෝහලේ සිටින්නේ එක් නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණයි ෴

හම්බන්තොට මහ රෝහලේ තෙවැනි (3) විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාත් නොදන්වා විදේශගත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම මීට පෙරද එම රෝහලට අනුයුක්ත කළ විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) රෝහල් බලධාරීන්ට නොදන්වා විදේශගත වී තිබුණා.

එහිදී එම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනා (2) තමන් විදේශගත වූ පසුව ඒ බව රෝහලේ වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දී තිබූ අතර, ඒ ආකාරයෙන්ම මෙම වෛද්‍යවරයාත් විදෙස් ගතවී කෙටි පණිවිඩයක් මගින් තමන්ගේ විදෙස්ගතවීම දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධව තමා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ අයන්ති ජයවර්ධන සඳහන් කළා.

මේ වනවිට රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 ක් රට හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකින් හෙළි කරගෙන තිබෙනවා.


මත්ද්‍රව්‍ය සමඟ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් නුවරඑළියේදී අත්අඩංගුවට

(20.04.2024 – 13:01 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි විදේශීය කාන්තාවක් සහ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔවුන් ගමන් ගත් වෑන් රථය පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19 ක් සහ හෑෂ් ග්‍රෑම් 03 ක් පමණ සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය තොගය සමඟ 35 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව සහ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වෑන් රථයේ රියදුරු බවයි පොලිසිය සඳහන් කළේ ෴


40,000 ක ගුරු හිඟයක්

(20.04.2024 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ගුරුවරු 40,000 කගේ පමණ හිඟයක් පවතින බව ‘ලංකා ගුරු සංගමය’ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

විශේෂයෙන්ම බස්නාහිර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල මෙලෙස ගුරු හිඟය වැඩි වශයෙන් ඇති බවයි ඔහු කියා සිටියේ.

ගුරු හිඟය පියවීමට රජය කටයුතු නොකළහොත් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස බාධා එල්ලවනු ඇති බවද ඔහු සඳහන් කළා.

+


ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වීමේ තීරණය ලබන අඟහරුවාදා (23)

(20.04.2024 – 14:21 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කරනු ලබන්නේ රජයේ ආයතනයක් හරහා ද නැතහොත් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා ද යන්න සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා (23) අවසන් තීරණයක් ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජා-ඇළ අද (20) පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, ඉදිරියේදී බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසනවා.

මහනුවර ඊයේ (19) පැවති වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ කුකුළු මස් සහ බිත්තර ප්‍රමාණවත් පරිදි මේ වනවිට වෙළඳපොලේ පවතින බවයි.

+


රුපියල් කෝටි දෙකක (2) මත්ද්‍රව්‍ය සමග ගිනියා ජාතික කාන්තාවන් දෙදෙනෙකු (2) හසුවේ

(20.04.2024 – 14:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (20) දිනයේදී සිදු කරන ලද මෙහෙයුමක් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කරන ලද කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් පරීක්ෂාවට ලක්කර නිලධාරීන් සිදුකරන ලද ශරීරය පරීක්ෂාවක් මගින් මෙම කාන්තාවන් දෙදෙනාම (2) මත්ද්‍රව්‍ය ගුලි තම ශරීරය අභ්‍යන්තරයේ සඟවාගෙන තිබෙන බව තහවුරු කරගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව කාන්තාවන් දෙදෙනාගේම (2) ශරීරය අභ්‍යන්තරයේ තිබූ මත්ද්‍රව්‍ය ගුලි පිළිවලින් විසිනමයක් (29) හා එකොළහක් (11) බැගින් ඉවතට ගෙන තිබෙනවා.

ඒ අනුව ඉවතට ගන්නා ලද මත්ද්‍රව්‍ය ගුලි 40 හි බර ග්‍රෑම් 500 කට ආසන්න බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම ඔවුන්ගේ සිරුරු තුළ තවමත් මත්කුඩු තිබෙන බවට නිලධාරීන් සැක කරන බවත් ඔහු සඳහන් කරනවා.

මෙම කාන්තා මගීන් දෙදෙනා (2) ‘ගිනි ජනරජයට’ අයත් ජාතිකයයින් වන අතර ‘සි‍යාරා ලියොන්’ සිට ‘තුර්කියේ ස්ථාන්බූල්’ හරහා Turkish air ගුවන් සමාගමට අයත් TK 730 නැමැති ගුවන් යානයෙන් උදෑසන 6 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි දෙකක් (2) පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴


‘අයිස්’ සමග ඇල්ලූ නාවික හමුදාවේ දෙදෙනා ඇතුලු 4 දෙනා දින 7 ක් රඳවා ගෙන ප්‍රශ්න කෙරේ

(20.04.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් සමග නාවික හමුදාවේ ලුතිනල් කමාන්ඩර්වරු දෙදෙනෙකු (2) ඇතුලු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 4 දෙනා දින 7 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

නාවික හමුදාවේ ලුතිනල් කමාන්ඩර්වරු දෙදෙනාට (2) අමතරව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ‘පෙතියාගොඩ සංඛ’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්.

+


ඊශ්‍රායලයේ තත්ත්වය සාමාන්‍ය බව එහි සිටින ශ්‍රී ලංකා තානාපති කියයි

(20.04.2024 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ තත්ත්වය සාමාන්‍ය බවත් එහි සිටින ශ්‍රී ලාංකිකයින් සමග සම්බන්ධ වෙමින් සමීපව කටයුතු කරන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරවයා වැඩිදුරටත් කියා සිටියේ ටෙල්අච්චි බෙන්ගුරියන් ගුවන්තොටුපලේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු වන බවයි.

ගුවන් ගමන් කිහිපයක් හැරුණු විට බහුතරයක් යානා පැමිණීම් හා පිටත් විම් සාමාන්‍ය පරිදි සිදු වන බව ද තානාපතිවරයා කියා සිටියා.

+


අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවමංගල්‍යය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී

(20.04.2024 – 17:23 +0530 – hirunews.lk/sinhala)

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී මේ වනවිට සිදු කෙරනවා.

පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු 92 වන වියේ පසු වුණා.

1931 වසරේ නොවැම්බර් 5 වනදා ගාල්ල උණවටුනේ උපත ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කරන ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් පළමු සර්වෝදය ශ්‍රමදාන කඳවුර පවත්වන්නේ නාලන්ද විද්‍යාලයේ සිසුන් 40ක් සහ ගුරුවරුන් 12 දෙනෙකු එකතු කරගනිමින්.

තිරසර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ අරමුණ වුණා.

එහෙත් එය සියලු ජාතීන්ට ප්‍රායෝගික වන අයුරින් බෙදා දීම මගින් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගන්වන්නට මෙන්ම ඔවුන්ට රැකවරණ සලසන්නට ඔහු සර්වෝදය ව්‍යාපාරය තුළින් මහා සේවයක් ඉටු කළා.

ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකාභිමාන්‍ය, මැග්සේසේ, බොඩෝයින්, නිවෝනෝ සාම ත්‍යාගය, මහත්මාගාන්ධි සාම ත්‍යාගය වැනි ජාතික සහ ජාත්‍යන්තර උපහාර සහ සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා.

+


ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට තරුණයෙක් පනී

(20.04.2024 – 18:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති වයස අවුරුදු 33 ක් වන තරුණයෙක්.

මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු (2) සමග ඊයේ (19) දින උදෑසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගත වී තිබෙනවා.

ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් අද (20) දින උදැසන සිට ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බවද සඳහන්.

ශ්‍රි පාද මළුවෙන් පහළට පැන ඇති තරුණයා මළුවෙන් පහළට පැනිමට ප්‍රථම සිහි විකල්වි සිටි බව එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා (2) නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වු තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක් කර තිබෙනවා.

++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *