නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා යළි රිමාන්ඩ්

නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා යළි රිමාන්ඩ්


නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා යළි රිමාන්ඩ්

(17.04.2024 – 12:14 +0530 – sinhala.adaderana.lk)

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

+

+


යාපනය, පණිප්පුලම් ප්‍රදේශයේ දී පෙම්වතියට සහ පෙම්වතියගේ මවට බරපතල තුවාල සිදුකර පෙම්වතා සියදිවි හානිකර ගනී

(17.04.2024 – 13:09 +0530 – hirunews.lk/sinhala)

යාපනය, පණිප්පුලම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තම පෙම්වතියට හා පෙම්වතියගේ මවට තියුණු ආයුධයකින් බරපතල තුවාල සිදුකර ගෙල වැලලාගෙන ඊයේ (16) මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ පසුගිය දිනක දී ඇති වූ අරවුලක් හේතුවෙන් පෙම්වතිය විසින් පෙම්වතා ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ආරවුල සිදු වී ඇති බව අනාවරණය ඇති බවයි.

එහිදී අදාළ පෙමවතා විසින් පෙම්වතියගේ නිවසට රහසිගතව ඇතුලු වී නිවසේ සිටි පෙම්වතියට සහ පෙම්වතියගේ මවට තියුණු ආයුධයකින් පහරදී බරපතල කැපුම් තුවාල සිදුකොට පලා ගොස් තිබෙනවා.

එහිදී බරපතල තත්ත්වයේ සිටි තරුණිය සහ ඇගේ මව අසල්වාසින් විසින් ඒම අවස්ථාවේදීම රෝහලගත කිරීමට පියවර ගෙන ඇති අතර, මේවන විට ඔවුන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ඉලවාලෙයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පහරදීම සිදුකළ තරුණයා සිය පෙම්වතිය මියගිය බවට සැකකොට පෙම්වතියගේ නිවසට ආසන්නයේ කුඹුරක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී ඔහුගේ සිරුර සොයාගත් බවයි ෴


සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

(17.04.2024 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ලබන මස 06 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (17) ආරම්භ කෙරුණා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා වූ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ පෙර සූදානම් කටයුතු මේවන විට සිදු කරමින් පවතින බවයි ෴


ඡන්ද ඇප මුදල් වැඩි කළාට එරෙහිව පැමිණිල්ලක්

(17.04.2024 – 11:32 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණය සඳහා තැන්පතු මුදල් ඉහළ දැමීමට එරෙහිව අල්ලස හා දුෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉකුත් 09 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන දැනුම් දුන්නේ ජනපතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.

ඒ අනුව, ජනපතිවරණ අපේක්ෂකයෙකු වෙනුවෙන් පැවති ලියාපදිංචි පක්ෂයට රුපි‍යල් 50,000 ක් වූ ඇප මුදල රුපියල් ලක්ෂ 26 ක් දක්වා වැඩිකර ඇති අතර, ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා නියමිතව තිබු රුපියල් 75,000 ක ඇප මුදල රුපියල් ලක්ෂ 31 දක්වා ඉහළ දැමීමට කටයුතු කෙරුණා.

තවද, මහ මැතිවරණ අපේක්ෂකයෙකු සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකට රුපියල් 11,000 ක් හා ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා රුපියල් 16,000 ක් ද, පළාත් පාලන මැතිවරණයේ දී පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුට රුපියල් 6,000 ක් හා ස්වාධීන අපේක්ෂකයෙකුට රුපියල් 11,000 ක මුදලක් වශයෙන් ඇප තැන්පතු මුදල් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලට තීරණය කර තිබුණා.

මේ අයුරින් ඇප මුදල් ඉහළ දැමීමෙන් මුදල් ඇති පිරිස්වලට පමණක් මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවකාශය ලැබෙන බවත්, සාමන්‍ය පුරවැසියන්ට එය එසේ සිදුනොවන බවත් අදාළ පැමිණිල්ල මගින් පැමිණිකරුවන් සඳහන් කර තිබෙනවා ෴


විදේශිකයෙකුට තර්ජනය කළ කොත්තු මුදලාලිට ඇප

(17.04.2024 – 12:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900 කට කොත්තු රොටියක් අලෙවි කිරීමත් සමඟ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ඊයේ (16) කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇති බවද සඳහන්.

+


කුඹුරු අක්කර 3,500 කට එකවර දියවර ගෙන යන අමුණක්

(17.04.2024 – 14:39 +0530 – hirunews.lk/sinhala)

මීට මාස තුනකට (3) පමණ ඉහතදී ඇඳහැලුණු අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය මත පොළොන්නරුව – මැදිරිගිරිය පිහිටි අක්බාර්පුර කවුඩුළු ඔය හරහා ඉදිකර තිබුණු අමුණ කැඩී යාමත් සමග පවුල් 1200 ක් පමණ දැඩි ලෙස අසරණ වුණා.

ඒ, ගම්මාන හතරක (4) ගොවි ජනතාවට සිය වී වගා කටයුතු කරගෙන යාම සඳහා ජලය නොමැති වීමෙන්.

රජය විසින් එම අමුණ ඉදිකිරීම ප්‍රමාද කරන පසුබිම යටතේ ගොවීන් එක්රැස් වී අඩි එකසිය පනහක් (150) පමණ දුරට කවුඩුළු ඔය හරහා වැලි කොට්ට යොදා විශාල අමුණක් ඉදිකිරීමට පටන් ගෙන තිබෙනවා.

මෙමගින් අහමඩ්පුර, අක්බාර්පුර, පල්ලියගොඩල්ල, පඹුරාන, යන ගම්මානවල පවුල් 1100 ක් පමණ වගා කරන කුඹුරුඅක්කර 3500 කන්න තුනකට (3) ජලය සපයා ගත හැකි බව ගොවියන් ප්‍රකාශ කරනවා.

ඒ හේතුවෙන් මෙම අමුණ ස්ථිරව ඉදිකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකසා දෙන ලෙසයි ගොවීන් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

+


සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි

(17.04.2024 – 14:44 +0530 – hirunews.lk/sinhala)

සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200 ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණයක් ඊයේ (16) ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ අද (17) දිනයේ ද නාවල පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන කාර්යාලයේදී පැවැත්වෙනු ලැබෙනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ https://forms.gle/8DzuH5LUooxg4czE6
හරහා අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙසත් සම්මුඛ පරීක්ෂණය සඳහා උසස් පෙළ හෝ IELTS සහතිකය සමඟ විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙසත් අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

IELTS පරීක්ෂණයෙන් 4.5 ක ප්‍රතිශතයක් ලබා තිබිය යුතු වන අතර අයදුම්කරුවන් අවුරුදු 25 ත් – 35 ත් අතර වයසේ පසුවිය යුතුය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 011 280 0407 ඔස්සේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය ෴


දඹුල්ල රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

(17.04.2024 – 14:53 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් අද (17) වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.

ඒ, රෝහලේ සිමා වාසික වෛද්‍යවරුන් 45 දෙනෙකු හට මාසිකව ලබා දෙන වැටුප් දීමනාව නිසි පරිදි ලබා නොදීම හේතුවෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වූ බවයි ෴


සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි

(17.04.2024 – 18:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10 යට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසටයි ෴


නිවසක් තුළ පිළිස්සුණු මළසිරුරක්

(17.04.2024 – 16:49 +0530 – sinhala.adaderana.lk)

නිවසක් තුළ ඇඳක් මත ගින්නකට හසුවී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (17) පෙරවරුවේ සොයාගෙන තිබේ.

ඒ, උඩවලව කොළඹගේ ආර ප්‍රදේශයේ නිවසක් තුළදීය.

මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

අදාළ නිවස ආසන්නේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන ඔහුගේ බිරිඳ සමග අද (17) අලුයම් කාලයේදී ආරවුලක් ඇති කරගැනීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ සිරුරට ගිනි තබාගෙන ඇති බවට බිරිඳ පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


පවුල් ආරවුල ජීවිතයක් බිලිගනී

(17.04.2024 – 10:04 +0530 – sinhala.adaderana.lk)

කන්දේනුවර හුනුගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳ මෙලෙස ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

මියගොස් ඇත්තේ 35 හැවිදිරි හුනුගල ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කන්දේනුවර පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *