මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, ‘අනුලා චෛත්‍යයේ’ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති

මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, ‘අනුලා චෛත්‍යයේ’ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති


මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, ‘අනුලා චෛත්‍යයේ’ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති

(16.04.2024 – ada.lk)

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, ‘අනුලා චෛත්‍යයේ’ ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන, දස (10) වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා, මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ලක්දිව භික්‍ෂුණී ශාසනය ආරම්භක ස්ථානය ලෙස සැලකෙන ඓතිහාසික වටිනාකමකින් යුත් මිහින්තලේ අනුලා සෑය, මිහින්තලා රජමහා විහාරස්ථානය යටතේ පාලනය වන විහාරස්ථානයක් බවත්, එහි භාරකාරත්වය මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමිපාණන් යටතේ පවතින බවත් මෙම ලිපියෙන් දන්වා තිබේ.

එහෙත් මේ වන විට මහා නායක හිමිවරුන්ගේන් හා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ අනු දැනුමකින් තොරව එම අනුලා සෑය සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් දස (10) වසරක ගිවිසුම් ගතව ඇති බවත් මහානායක හිමිපාණන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සදහන් වේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එම ගිවිසුම අවලංගු කිරීමටත්, එහි සංවර්ධන කටයුතු මහනායක හිමිවරුන්ගේ සහ මිහින්තලා රජමහා විහාරාධිපති හිමිපාණන්ගේ නිසි අනුදැනුමක් මත විනිවිද භාවයකින්, මෙම ඓතිහාසික ස්ථානයේ උරුමය ආරක්ෂාවන පරිදි ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත්, මල්වතු මහා නා හිමිපාණන් ජනාධිපතිවරයා වෙත යොමු කල එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.


‘සූරිය මංගල්ලේ ගීතය’ විකෘති කළ සුරාබද්දා අප්‍රේල් 22 දක්වා රිමාන්ඩ්

(17.04.2024 – 14:27 +0530 – hirunews.lk/sinhala)

= ‘සූරිය මංගල්ලේ ගීතය’ විකෘති කළ සුරාබදු නිලධාරියා අප්‍රේල් 22 දක්වා රිමාන්ඩ් =

ප්‍රවීන ගායන ශිල්පී ආචාර්ය රෝහණ බැද්දගේ නිරිමාණය කළ අවුරුදු ගිතය විකෘති කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට සුරාබදු නිලධාරීයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඔ පළාත් ඒකකය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් අතර අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා ෴

++++++++++

+


අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා අදත් (17)

(17.04.2024 – 08:22 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද වෙනුවෙන් සැළසුම් කළ විශේෂ ප්‍රවාහන සේවා අදත් (17) ක්‍රියාත්මකයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද (17) දිනයේ නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි.

නිවාඩු ලබාගිය සේවකයින් යළි සේවයට වාර්තා නොකිරීම නිසා ඊයේ දුම්රිය ගමන් වාර 12ක් පමණ අවලංගු කිරීමට සිදුවුණා.

කෙසේවෙතත් ගම්බිම් බලා ගිය ජනතාවට බාධාවකින් තොරව යළි කොළඹ පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් යොදවා ඇති විශේෂ බස් රථ සේවා අදත් (17) ක්‍රියාත්මක වනවා.

එමෙන්ම අධිවේගී මාර්ගවල ද අතිරේක බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළේ.

මේ අතර ‘ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද (17) සිට පෞද්ගලික බස් ධාවනය සියයට 75 කින් ඉහළ නංවන බවයි.

+


හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (19)

(17.04.2024 – 09:36 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම විදුලිසැර වැදීමක් හේතුවන් කළුතර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූයේ ඊයේ (16) පස්වරුවේයි.

මිය යනවිට ඔහු 64 වැනි වියෙහි පසු වූණා ෴

+

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා.

කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් අද (17) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 03:30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි මල් ශාලාවක් වෙත ගෙන ගොස් තිබෙනවා ෴


ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සෙනසුරාදා (20)

(17.04.2024 – 09:51 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (20) නිදහස් චතුරඝ්‍රයේදී රාජ්‍ය ගෞරවය ඇතිව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වන විට ඔහු 92 වියේ පසු වුණා.

1931 දී දකුණු ලකෙහි උපත ලද ආචාර්ය ආරියරත්න ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලබා තිබෙනවා.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහි දී උසස් පෙළ පාසල් සිසුන් හතළිස් දෙනෙකු (40) සහ ගුරුවරුන් දොළොස් දෙනෙකු (12) අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලහීන යැයි සැලකෙන ගමකටය.

මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වුවේ ‘සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ’ පළමු ශ්‍රමදාන කඳවුරේ ආරම්භය සනිටුහන් කරමින්.

වසර හැට තුනකටත් (63) වැඩි කාලයක් ‘සර්වෝදය’ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා තිබෙනවා ෴


දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙනුත් වාර්තා ගත ආදායමක්

(17.04.2024 – 10:18 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ජාතික සත්වෝද්‍යානය වාර්තා ගත ආදායමක් ලබා තිබෙනවා.

මෙම වසරේ පළමු දින 40 තුළදී නරඹන්නන් 16,000 ක් පැමිණ ඇති අතර, ඉන් ලැබූ ආදායම රුපියල් මිලියන 52 ක් වන බවයි සඳහන් වන්නේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති බව වාර්තා වෙනවා.

සත්වෝද්‍යානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී පවසන්නේ දෙහිවල සත්වයෝද්‍යානයේ අධ්‍යාපනික දැනුවත් කිරීම් නරඹන්නන්ගේ සුව පහසුව වැඩි කිරීමත් සමඟ නරඹන්නන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි ෴


සුරතල් බළලා අතුරුදන් වුණාට ඇති වූ ආරවුල නිසා බිරිඳ මියයයි

(17.04.2024 – 10:42 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ අධිකරණයක දිසා විනිසුරුවරයකු හා උප පොලිස් පරීක්ෂකවරයෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඒ පිළිබඳව කම්පනයට පත් වූ දිසා විනිසුරුවරයාගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම දිසා විනිසුරුවරයා හා උප පොලිස් පරීක්ෂකවරයා දෙමස්සිනාලා වන අතර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් ගිය අවස්ථාවක මෙම ගැටුම ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ විනිසුරුවරයා විවාහ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහෝදරියක සමග වන බවයි.

දිසා විනිසුරුවරයා සිය බිරිඳ සමග සිංහල අලුත් අවුරුද්ද උදාවූ ඉකුත් දහතුන් වැනිදා (13) මස්සිනා වන උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙසට සුරතලයට ඇති කරන බළලා ද රැගෙන නෑගම් ගොස් තිබෙනවා.

විනිසුරුවරයා සහ බිරිඳ යළි නිවෙසට යාමට සූදානම් වූ අවස්ථාවේ දී ඔවුන් රැගෙන ආ සුරතල් බළලා නිවසේ නොසිටීම හේතුවෙන් විනිසුරුවරයා හා
උප පොලිස් පරීක්ෂකවරයා අතර ආරවුලක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයා පරුෂ වචනයෙන් බැණ වැදී සිය මස්සිනාට පහරක් ගසා තිබෙනවා.

එහිදී උරණ වූ විනිසුරුවරයා විසින් පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය පැමිණි විනිසුරුවරයාගෙන් ප්‍රකාශය සටහන් කර ගන්නා අවස්ථාවේ විනිසුරුවරයාගේ බිරිඳ කම්පන තත්ත්වයකට පත්ව රෝහල් ගත කර ඇති බවද සඳහන්.

තර්ජනය කිරීම සහ පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (16) ඔහුව ඇප මත මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ මෙම සිද්ධිය සඳහා හේතු වූ බව කියන බළලා පසුව විනිසුරුවරයාගේම මෝටර් රථයේ සිටියදී සොයා ගෙන ඇති බවයි ෴


මියන්මාරයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් විඳිමින් සිටි මෙරට ධීවරයන්ට නිදහස

(17.04.2024 – 10:50 +0530 – hirunews.lk/sinhala)

මියන්මාර මුහුදු සීමාවේ අනවසර මසුන් මැරීම සහ මියන්මාර ආගමන විගමන නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර හතක (7) බරපතල සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකිකයන් ධීවරයන් පහළොස් දෙනාට (15) සමාව හිමි වී තිබෙනවා.

මියන්මාර නව අවුරුදු උදාව වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහනට අනුව ඔවුන්ව නිදහස් කෙරුණු බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසන්නේ.

වසර හතක් (7) මුලුල්ලේ බරපතල වැඩ සහිතව සිර දඳුවම් ලබමින් සිටි මෙම ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාව වෙත පිටත් කිරීම සඳහා ද කටයුතු කරන බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකාව සහ මියන්මාර රජය අතර කලක පටන් කෙරුණු සාකච්ඡාවල ප්‍රතිපලයක් අනුව ඔවුන්ව නිදහස් කළ බව ද මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *