‘කොන්ඩම්’ නොමිලේම ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක්

‘කොන්ඩම්’ නොමිලේම ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක්


‘කොන්ඩම්’ නොමිලේම ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක්

(16.04.2024 – 18:05 +0530 – hirunews.lk/sinhala)

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා කොන්ඩම් ඔන්ලයින් හරහා නොමිලේම ගේනවා ගැනීමේ හැකියාවක් පවතින බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසනවා.

‘හිරු රතු මිනිත්තුව’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය සඳහන් කළේ 2023 අවුරුද්ද තුළ HIV ආසාදිතයන් 694 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 600 ක්ම පිරිමි පුද්ගලයින් බවයි.

+


‘ග්‍රීස් ගහ’ කඩා වැටී අවුරුදු උත්සවයක ලොකු කරදරයක්

(16.04.2024 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ‘ග්‍රීස් ගස’ කඩාවැටීමෙන් සිවු දෙනකු (4) තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

තරුණයන් පස් දෙනකු (5) ඉදිරිපත්ව ‘ග්‍රීස් ගස’ තරණය කරමින් සිටියදී මෙලස ‘ග්‍රීස් ගස’ කඩාවැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.


කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රිය ගැටීමේ සිදුවීමට රියැදු‍රාගේ වැඩ තහනම්

(16.04.2024 – 16:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී ඊයේ (15) පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියැදු‍රාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙසේ ඊයේ (15) දිනයේ දී අනතුරට ලක් වූයේ හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක්.

ඉන් දුම්රිය වේදිකාවට දැඩි ලෙස හානි සිදු වූ අතර මගීන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැහැ.

මෙම සිදුවීමත් සමඟ අදාළ දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් ධාවනයට පසුව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන බවයි වාර්තා වන්නේ ෴


අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන්ට විශේෂ නිවේදනයක්

(16.04.2024 – 17:29 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ග භාවිතයේදී වාහනවල යෝග්‍යතාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර සඳහන් කළේ පසුගිය දිනවලදී පමණක් අධිවේගී මාර්ග ආශ්‍රිතව අනතුරු 53 ක් වාර්තා වූ බවයි.

අලුත් අවුරුදු සමයත් සමග මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ට දැනුම් දෙනවා ෴


සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

(16.04.2024 – 18:41 +0530 – hirunews.lk/sinhala)

සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 92 වැනි වියේ පසු වූවා.

1931 දී දකුණු ලකෙහි උපත ලද ආචාර්ය ආරියරත්න ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලබා තිබෙනවා.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහි දී උසස් පෙළ පාසල් සිසුන් හතළිස් දෙනෙකු (40) සහ ගුරුවරුන් දොළොස් දෙනෙකු (12) අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලහීන යැයි සැලකෙන ගමකටය.

මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වුවේ පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කරමින්.

වසර හැටතුනකටත් (63) වැඩි කාලයක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයමින් පිරිනැමුනු ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා තිබෙනවා.

ඒ අතරින් ඔහු 2007 දී ඉහළම ජාතික සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් ද, 1969 දී ප්‍රජා නායකත්වය සඳහා ‘රැමන් මැග්සේසේ’ සම්මානය (පිලිපීනය), 1982 දී සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් ‘බෝඩොයින් රාජ්‍ය’ සම්මානයද (බෙල්ජියම), 1992 ‘නිවානෝ සාම ත්‍යාගය’ (ජපානය) සහ 1996 දී ‘මහත්මා ගාන්ධි සාම ත්‍යාගය’ (ඉන්දියාව) වැනි බොහෝ වූ සම්මාන ඔහු සතු කරගනු ලැබුවා ෴


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම මියයයි

(16.04.2024 – 18:58 +0530 – hirunews.lk/sinhala)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මියගොස් තිබෙනවා.

නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ

පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයෙක්.

මේ වනවිට ඔහුගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

+++++++++

+

++++++++++

+

+++++++++

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා

(17.04.2024 – 07:00 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි.

මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු සඳහන් කළේය.

1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයකි.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කළේය.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ක්‍රියා කළේය.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය සුසානය ජීවතුන් අතර සිටියදීම නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් වුණි ෴

+


ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව ලොකු ළූනු අපනයන තහනම ඉවත් කරයි

(16.04.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ලොකු ළූනු ගෙන්වීම සිදුකරන්නේ රාජ්‍ය අංශයෙන්ද නැත්නම් පෞද්ගලික අංශයෙන් ද යන්න හෙට (17) තීරණය කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකාව සඳහා ලොකු ළූනු අපනයන තහනම ඉවත් කිරීමටයි ඉන්දියාව මේ වනවිට පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ඉන්දියාවේ නව තීරණය අනුව ලොකු ළූනු මෙට්‍රික් ටොන් 10,000 ක් මෙරටට අපනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

පසුගිය කාලයේදී ලොකු ළූනු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව එළැඹි තීරණයත් සමග මෙරට ලොකු ළූනු මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

පසුගිය මාර්තු මුල් සතිය වනවිට රුපියල් 400 කට ආසන්නව පැවති ලොකු ළූනු කිලෝවක තොග මිල මාර්තු මස අවසන් වනවිට රුපියල් 600 ද ඉක්මවා තිබුණා.

එහි සිල්ලර මිල රුපියල් 800 කට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේ එම පසුබිම මතයි.

ඒ අනුව චීනය ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ළූනු ආනයනය කිරීමටද රජය පියවර ගත්තා.

කෙසේවෙතත්, ඉන්දියාව ලොකු ළූනු අපනයන තහනම ඉවත් කිරීම හේතුවෙන් මෙරට ලොකු ළූනු මිල ගණන් පහළ යනු ඇති බවයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඉන්දියාවෙන් ලොකු ළූනු ආනයනය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් හෙට (17) පැවැත්වීමට නියමිතයි.

එහිදී ලොකු ළූනු ආනයනය රාජ්‍ය අංශයෙන්ද, එසේත් නොමැතිනම් පෞද්ගලික අංශයෙන් සිදුකරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයට එළැඹෙන බවයි විෂයභාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

මේ අතර, ‘අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය’ පවසන්නේ ආනයනික ඉන්දීය ලොකු ළූනු මෙරටට පැමිණීම සඳහා දින 10 ත් 15 ත් අතර කාලයක් ගතවනු ඇති බවයි.

මේ අතර, උත්සව සමය අවසන් වීමත් සමග වෙළෙඳ පොළේ එළවළු මිල සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

වෙළෙඳුන් පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් උත්සව සමයෙන් පසු එළවළු මිල ඉහළ යන නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී ඇති බවයි.

තක්කාලි ග්‍රෑම් 250 රුපියල් 40 ක්,බෝංචි ග්‍රෑම් 250 රුපියල් 50 ක්, බණ්ඩක්කා ග්‍රෑම් 250 රුපියල් 50 ක්, කැරට් ග්‍රෑම් 250 රුපියල් 100 ක් වශයෙන් කොළඹ පිටකොටුවේ එළවළු සිල්ලර මිල දැක්වුණා.

බණ්ඩාරවෙල තොග වෙළෙඳ මධ්‍යස්ථානයද දින 4 කට පමණ පසුව යළි විවෘත කර තිබුණත්, එහි එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් ප්‍රකාශ කළේ.

මේ අතර මහනුවර, නුවරඑළිය, බදුල්ල, හපුතලේ ඇතුළු කඳුකර ප්‍රදේශවලට දේශීය සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීමත් සමග උඩරට එළවළු වෙළෙඳුන්ගේ අතමිට සරු වී තිබෙනවා.

නුවරඑළිය – වැලිමඩ – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ මෙන්ම හපුතලේ – බණ්ඩාරවෙල – ඇල්ල ප්‍රධාන මාර්ගය දෙපස ද සිල්ලර වෙළෙඳුන් විශාල සංඛ්‍යාවක් වෙළෙඳාමේ නිරත වනවා.

එළවළු කිලෝවක් මෙහි අලෙවි කෙරෙන්නේ රුපියල් 200 ට හෝ ඊට අඩුවෙන්.

මේ අතර, උත්සව සමයේ කේක් අලෙවිය සහ නිෂ්පාදනය 25% කින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *