ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන්නේ තත්ත්වයෙන් බාල සහ පුස් බැඳුණු ආහාර

ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන්නේ තත්ත්වයෙන් බාල සහ පුස් බැඳුණු ආහාර


ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන්නේ තත්ත්වයෙන් බාල සහ පුස් බැඳුණු ආහාර

(16.04.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන වියළි ආහාර සැළකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල සහ නිසි ප්‍රමිතියෙන් තොර බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

රෝගීන්ට පමණක් නොව සේවක කාර්ය මණ්ඩලයටද ලබා දෙන ආහාරද මෙසේ ප්‍රමිතියෙන් තොර ඒවා බවයි ඔහු පවසන්නේ.

ලබා දෙන ආහාර බාල සහ පුස් බැඳුණු ඒවාවන අතර, ලබා දිය යුත්තේ ‘පරා මාළු’ වුවත් අදාළ සමාගම රෝහලට ලබා දෙන්නේ එයට සමාන මාළු වාර්ගයක් බවයි වෛද්‍යවරයා පවසා සිටියේ.

මෙම ආහාර සපයන කොන්ත්‍රාත් සමාගම, බන්ධනාගාරය, හමුදා කඳවුරු යන රාජ්‍ය ආයතනවලට වියළි ආහාර සපයන බවත් මේ සම්බන්ධව කිහිප විටකදී ම අදාළ අංශ දැනුවත් කළද එයින් ප්‍රතිඵල නොලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.

අදාළ සමාගමට වියළි සලාක සඳහා මසකට රුපියල් මිලියන 76 ක මුදලක්ද, මාළු සඳහා රුපියල් මිලියන 15 ක මුදලක්ද ලබා දෙන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ‘හිරු’ කළ විමසීමකදී පවසා සිටියේ ෴


යාපනය ශීක්ෂණ රෝහලේ කොරෝනා මරණයක්

(16.04.2024 – 07:25 +0530 – hirunews.lk/sinhala)

යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවගේ මරණයට හේතුව ‘කොරෝනා රෝගය’ වැළදීම බව ඊයේ (15) නිගමනය වී තිබෙනවා.

යාපනයේ වඩුක්කෝඩෙයි අරාලි ප්‍රදේශයේ සිට ප්‍රංශයට ගොස් සිටි 62 මෙම හැවිරිදි කාන්තාව නිවාඩුවකට යළි යාපනය පැමිණ සිටියදී ඇයට උණ රෝගය වැළදී ඇති බවයි වාර්තා වූයේ.

ප්‍රතිකාර සදහා ඇයව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබෙනවා.

ඇගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවති පශ්චත් මරණ පරීක්ෂණයේදී ඇයට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මියගිය කාන්තාවගේ ආදාහන කටයුතු යාපනයේ පොම්මාවේලී ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇති අතර ඇය ජීවත් වූ නිවසේ සාමාජිකයින් නිරෝධායනයට ලක්කොට තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ ‘කොරෝනා නව ප්‍රභේදයක්’ ප්‍රදේශ කිහිපයක පැතිරයාමේ අවධානමක් පවතින බවයි ෴


රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් රථය ගිනි ගනී

(16.04.2024 – 08:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය එක්වරම හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරන අතරතුරදීයි මෙම රථය ගිනිගැනීමකට ලක්ව ඇත්තේ.

අද (16) අලුයම 12:45 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී.

ඇමතිවරයා ඇල්ල ප්‍රදේශයේ අවුරුදු උත්සවයක පැවති සංගීත ප්‍රසංගයකට සහාභාගි වීමට පැමිනෙන අතරතුරදීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියැදුරට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වෙන්නේ.

රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවයි අප කළ විමසීමකදී ඇල්ල පොලීසිය සඳහන්කර සිටියේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසින් සහ ගිනි නිවීමේ නිලධාරීන් විසින් ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

+


කාර්යාල දුම්රිය 6 ක් අවලංගුයි

(16.04.2024 – 08:38 +0530 – hirunews.lk/sinhala)

කාර්යාල දුම්රිය 6 ක් අද (16) දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එන්ජින් රියදුරන් සහ ක්‍රියාකරුවන් නොමැතිකම හේතුවෙන් මෙලෙස දුම්රියන් අවලංගුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ගම්බිම් කරා ගිය පිරිසට නැවත සේවා ස්ථාන සඳහා පැමිණීමට අතිරේක දුම්රිය සේවා අද (16) දිනයේත් ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ කියා සිටියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට පැමිණීමට අතිරේක දුම්රිය සේවා, 14 වැනිදා සිට ආරම්භ කළ බවයි.

+

+


ඡන්දෙට ගමට යන්න වාහනයක් ගන්න මන්ත්‍රීලා ‘පර්මිට්’ ඉල්ලයි

(16.04.2024 – 09:49 +0530 – hirunews.lk/sinhala)

මැති ඇමතිවරුන්ට නිකුත් කෙරුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකි නම්, ඊට වඩා අඩු වටිනාකමකින් යුතු වාහනයක් හෝ මිල දී ගැනීමට වාහන බලපත්‍රයක්, එළඹෙන ජනාධිපතිවරණයට පෙර ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයා ගෙන් සහ රාජ්‍ය ප්‍රධානීන්ගෙන් පසුගිය දිනක නැවත වතාවක් ඉල්ලා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව නුදුරේදී ම මෙම කාරණාව සම්බන්ධයෙන් ‘පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ’ දී අවධානය යොමු කිරීමට මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි මැතිවරණවල දී දේශපාලන කටයුතු සිදුකිරීමට වාහනයක් නොමැතිවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව දේශපාලන පක්ෂ දෙකෙහි ම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ, දැනට එකදු වාහනයක් හෝ නොමැති නවක මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේ සිටින බවයි.

පසුගිය කාලය තුළ සෑම මන්ත්‍රීවරයෙකුට ම තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදී රුපියල් මිලියන 20 කට ආසන්න වටිනාකමකින් යුත් වාහනයක් මිලදී ගැනීමට හැකි වූ නමුත්, රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන්, මෙම බලපත්‍ර නිකුත් කිරීම නවතා දමා තිබෙනවා.

කෙසේ නමුත් තීරුබදු රහිත වාහන බලපත්‍ර‍යක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් දිගින් දිගට ම ඉල්ලීම් කළ ද රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමෙන් වැළකී තිබෙනවා ෴


තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(16.04.2024 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – බොරුපන ප්‍රදේශයේ දී අද (16) තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 52 ක් වූ බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු තම නිවසේ නිදන කාමරයේ නිදා සිටින අවස්ථාවේදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව‍යි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+


ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

(16.04.2024 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ‘ගනේමුල්ල සංජීව’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ගෝලයා වන, ‘දික්පිටිගොඩ ලහිරු’ගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, රාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

විශේෂ කාර්ය බළකාය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ, රාගම, ගල්වලවත්ත, කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේදියි.

එහිදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 526 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, මේ වනවිට අත්අඩංගුවේ සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගනේමුල්ලේ සංජීව’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන, විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ‘දික්පිටිගොඩ ලහිරු’ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා මොහු බවට අනාවරණ වුණා.

මොහු මීට පෙර 2018 වර්ෂයේ දෙසැම්බර් මස 06 වැනි දින ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ‘හෙරොයින්’ ග්‍රෑම් 500 ක් සමගයි.

+


ගම හරහා දිවීමේ තරගයකදී පුතුට, සහය පළ කළ පියෙකු හදිසියේ මරුට

(16.04.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයට එක් වූ පුත්‍රයා දිරිමත් කරමින් දිව ගිය පියෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තරගයට එක් වූ පුත්‍රයා 16 හැවිරිදි වියේ පසු වනවා.

පුත්‍රයා ගම හරහා දිව යන අවස්ථාවේ ඔහු දිරිමත් කරමින් දිව ගිය පියා මද දුරක් ගිය පසු ක්ලාන්ත වී ඇද වැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පසුව මොහු පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. මිය ගිය පියා 60 හැවිරිදි වියේ පසු වනවා ෴


ඩෙංගු අවදානම යළි ඉහළට

(16.04.2024 – 14:28 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ ගත වූ මාසය කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එම මාස කිහිපය තුළ බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 7,547 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 4,527 ක්.

2024 වසර තුළ ඩෙංගු මරණ 08 ක් පමණ වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඩෙංගු රෝගය වළක්වා ගැනීම සදහා අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

+


පණු රෝගයකින් පීඩා විදින මුං සහ කව්පි ගොවීන්

(16.04.2024 – 14:58 +0530 – hirunews.lk/sinhala)

හදුනානොගත් පණු විශේෂයක් හේතුවෙන් පදියතලාවේ මුං සහ කව්පි වගාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ගොවීන් පවසන්නේ කඩිනමින් ඊට පිළියම් නොකළහොත් අස්වැන්න නෙළාගත නොහැකි වනු ඇති බවයි.

අම්පාර දිස්ත්‍රික්කයට අයත් පදියතලාව, පල්ලේගම, වැලි කුඹුර, කිරවාන ගම්මානවල ගොවීන් මුං සහ කව්පි වගා කටයුතුවල නිරතව සිටිනවා.
ඔවුන් මේ වනවිට දැඩි දුෂ්කරතාවට පත්ව ඇත්තේ හඳුනා නොගත් පණු විශේෂයකින් වගාවට බලපෑම් එල්ලවීම හේතුවෙන්.

ගොවීන් පවසන්නේ කොතෙක් රසායනික ද්‍රව්‍ය යෙදුවද මෙම පණු උවදුර මර්දනය කිරීමට මේ දක්වා හැකියාව ලැබී නොමැති බවයි.

මේ අතර පදියතලාලාවේ ගම්මිරිස් වගාවටද හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ, මෙම රෝගය ආරම්භක අවදියේ සිටම ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කළද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *