අවුරුද්දට ගමට ගිය ජනතාවට කොළඹට එන්න විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් (15)

අවුරුද්දට ගමට ගිය ජනතාවට කොළඹට එන්න විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් (15)


අවුරුද්දට ගමට ගිය ජනතාවට කොළඹට එන්න විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් (15)

(15.04.2024 – 09:15 +0530 – hirunews.lk/sinhala)

අලු‍ත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක් අද (15) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ සහ දුම්රිය යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ කියා සිටියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට පැමිණීමට අතිරේක දුම්රිය සේවා ඊයේ (14) සිට ආරම්භ කළ බවයි.

ඊට අමතරව අද (15) සහ හෙට (16) යන දෙදින තුළ බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය ගමන් වාර 8 ක් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළා.

එමෙන්ම‍ මගී අවශ්‍යතාව අනුව අද (15) සිට විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක බවයි ‘ලංකා ගමනාගමන මණ්ඩලයේ’ සභාපති ලලිත් අල්විස් කියා සිටියේ.

පෞද්ගලික බස්රථ සියයට 50 ක් පමණ අද (15) ධාවනයට එක් කරන බව ‘ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය’ ද ප්‍රකාශ කළා ෴

++++++++


පැය 24 ක් තුළ රිය අනතුරුවලින් ජීවිත 10 ක් අහිමිවෙයි

(15.04.2024 – 10:06 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) දිනය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

පුස්සැල්ලාව – කටුකිතුල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අවුරුදු දෙකක (2) පිරිමි දරුවෙකු සහ අවුරුදු 65 ක පුද්ගලයෙකු මියගියා.

සිද්ධියෙන් තවත් පස්දෙනෙකු (5) තුවාල ලබා ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නුවරඑළිය දෙස සිට ගම්පොල දෙසට ධාවනය වූ වෑන් රථයක් මෙලෙස ප්‍රපාතයට පෙරළී තිබූ අතර, සිද්ධියෙන් තුවාල ලැබූවන් එකම පවුලේ අය වනවා.

මොවුන් රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. නුවරඑළියේ සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටියදියි මෙම අනතුරට මොවුන් මුහුණදී තිබුණේ.

+

හාලිඇළ – බණ්ඩාරවෙල මාර්ගයේදී මෝටර් රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු (2) මියගියා.

අවුරුදු 51 සහ 70 යන වයස්වල පසුවන මොවුන් දොම්පේ – පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් (1) සහ මෝටර් රථයේ රියදුරු (1) බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

+

මහියංගණය – ගිරාදුරු කෝට්ටේ මාර්ගයේ නිදහන්ගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී ඊයේ (14) අනතුරක් සිදුවුණා.

සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ රියදුරු (1) මියගොස් ඇති අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු (2) තුවාල ලබා මහියංගණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් මියගියේ අවුරුදු 29 ක් වයසැති උඩුනිරිඇල්ල – නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

+

+

දින 3 ට මාරක රිය අනතුරුවලින් 23 දෙනෙකු මරුට

(15.04.2024 – 20:20 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින තුනේ (3) සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ එම දින කිහිපයේ සිදුවු රිය අනතුරු 167 කින් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඊයේ (14) දිනයේ පමණක් රිය අනතුරු 76 ක් සිදුව ඇති අතර ඉන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

උත්සව සමයේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහල ගොස් ඇති බැවින් මාර්ග නීති පිලිපදිමින් රථ වාහන ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් කොළඹ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත කෙරුණු පුද්ගලයින්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩුවි ඇති බවයි.

++++++++++

+


දාහත් (17) හැවිරිදි තරුණියට වෙඩි ප්‍රහාරයක්

(15.04.2024 – 11:10 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි දාහත් (17) හැවිරිදි තරුණියකට වෙඩි තබා තුවාල සිදුකර තිබෙනවා.

මෙම වෙඩි තැබීම ඊයේ (14) රාත්‍රියේ 08:45 ට පමණ සිදූවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

තරුණියගේ ගෙල ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා ඇය පොලොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර, පසුව අනුරාධපුරයේ රොහලට මාරු කර, තත්වය අසධ්‍ය නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙනිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙඩි තැබීම සිදු කළ සැකකරු හා වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මෙම තරුණිය දැනට වසර දෙකකට (2) පමණ ඉහතදී ප්‍රදේශයේ හතළිස් (40) හැවිරිදි පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

පසුව වසර දෙකකට (2) ආසන්න කාලයක් මෙම තරුණිය ඔහු සමග එකම නිවසක වාසය කර තිබෙන අතර ඔහුගෙන් වෙන හිරිහැර කම්කටලු
උහුලා ගැනීමට නොහැකි වීම නිසා ඇය මවගේ නිවසට පැමිණ තිබෙන්නේ මීට සති කිහිපයකට පෙරයි.

ඉන් අනතුරුව ඔහු ඇයට නොයෙකුත් අවස්ථාවල දී මග රැක සිට තර්ජන එල්ල කර තිබේ. කිහිප වතාවක්ම නැවතත් තමන් සමග යාමට ඔහු ඇයට කතා කළත් ඇය එයට කැමති නොවීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය උත්සන්න වී තිබෙනවා.

සිද්ධිය වූ දින එනම් ඊයේ (14) රාත්‍රී අවුරුදු සාදයක් සඳහා තරුණිය සහ මව ඇගේ පවුලේ උදවිය සමඟ ඥාති නිවසකට ගොස් තිබෙනවා.

එම ඥාති නිවසේ ඉදිරිපස දොරකඩ අසල ඇය පුටුවක වාඩි වී සිටින විටදී එහි පැමිණි ඔහු තරුණියට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තරුණියගේ උදර ප්‍රදේශයට බරපතල හානි සිදුවී ඇති අතර ඇය කඩිනමින් පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ගිය අතර ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එහිදී තරුණිගෙ තත්වය බරපතළ නිසා පේරාදෙණිය මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙන අතර අද (15) උදෑසන ඇයට ශල්‍යකර්ම කිහිපයක් කිරීමටද ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම පිළිබඳව මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

+


ත්‍රස්ත චෝදනාවකට අත්අඩංගුවට ගත් අයෙකුගෙන් නිවසින් දඹරන් පිළිමයක් මතුවෙයි

(15.04.2024 – 12:27 +0530 – hirunews.lk/sinhala)

දඹරන් පිළිමයක් අලෙවි කිරීමට සුදානම් කර ඇති බවට මුල්ලේරියාව පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) උදෑසන කැළණිමුල්ලේ දී මෙම සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මහනුවර ව්‍යාපාරිකයෙකුට මෙම පිළිමය අලෙවි කිරීමට සුදානම්ව සිට ඇති බවයි විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් එක් අයෙකු එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මිට පෙර අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපානය වූ අයෙක් බවට අනාවරණය කරගෙන ඇති බවයි ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී මුල්ලේරියාව පොලිසිය සඳහන් කළේ.

අදාළ සැකකරුවන් අද (15) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


ගම්මාන 9 කට පිවිසෙන මාර්ගයක් තවමත් අබලං – “මේ පාරේ ලෙඩෙක් අරන් යන්නවත් පුළුවන්ද?” (15.04.2024)

+


ඉන්දීයාවෙන් ලොකු ලූණු ආනයනයට අවසර

(15.04.2024 – 22:02 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය පනවා ඇති ලූණු අපනයන තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ලූණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ආනයනයට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *