රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුසියානු ආරක්ෂක බලධාරීන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුසියානු ආරක්ෂක බලධාරීන්ගෙන් කළ විශේෂ ඉල්ලීම


රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුසියානු ආරක්ෂක බලධාරීන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

(14.04.2024 – 18:24 +0530 – sinhala.adaderana.lk)

රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ රුසියානු හමුදාවට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් බඳවාගැනීම මේ දිනවල බහුලව සිදුවන බවය.

ඉන් බොහෝ පිරිසක් සංචාරක වීසා මත රුසියාවට පැමිණ හමුදා සේවයට එක්වන පුද්ගලයින් බව සඳහන් වෙයි.

ශ්‍රී ලාංකිකයින් ද එලෙස සංචාරක වීසා මත පැමිණ රුසියානු හමුදාවට එක්ව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේය.

එහෙත් ඒ පිළිබඳව නිසි තොරතුරු තානාපති කාර්යාලය සතුව නොමැති බැවින් ශ්‍රී ලාංකිකයින් එරට හමුදා සේවයේ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස තානාපති කාර්යාලය රුසියානු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

යම් ශ්‍රී ලාංකිකයෙකු රුසියානු හමුදා සමඟ එක්වන්නේ නම් තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය සදහන් කළේය.

පසුගිය දින කිහිපය තුළ රුසියානු හමුදාව සමග එක්ව සිටි ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

කෙසේවෙතත් තානාපති කාර්යාලය සතුව තොරතුරු නොමැති බැවින් මියයන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව හෝ තුවාල ලබන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේය ෴


වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු (2) මරුට

(14.04.2024 – 18:37 +0530 – sinhala.adaderana.lk)

පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් වයස අවුරුදු 2 ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි ෴


නිවසක ඇතිවූ ගින්නකින් කාන්තාවක් මරුට

(14.04.2024 – 17:53 +0530 – sinhala.adaderana.lk)

දිඹුලපතන කොටගල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එහි සිටි කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ නිවසේ කාමරයක් තුළ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් පිළිසුම් තුවාල ලැබූ කාන්තාව කොටගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන් වෙයි ෴


දිවි අහිමි කරවමින් තමන්ටම පත්තු වූ වෙඩිල්ල

(14.04.2024 – 11:56 +0530 – sinhala.adaderana.lk)

සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් මදුරාගොඩ ආඳාපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් මෙලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ මියගොස් ඇති පුද්ගලයා ප්‍රතිකාර සඳහා රිදීගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මියගිය පුද්ගලයා ‘කලක සිට ගිනිඅවි උපයෝගී කර ගනිමින් සතුන් දඩයමේ නිරතව සිටි අයෙකු’ වන අතර ඔහු විසින් අටවන ලද ගිනිඅවියක් මෙලෙස ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ ෴


අශ්වයෙකු පිට නැඟ වැඩ පෙන්නූ රාවණාගේ රටම නොදන්න පැටිකිරිය කස්සප හිමි හෙළිකරයි (14.04.2024)

+


වර්ෂාපතනයත් සමග ඩෙංගු හිස ඔසවන ලකුණු

(15.04.2024 – 10:03 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත්, ඩෙංගු පැතිර යාම අවම කිරීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙසත් එම අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර 2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා ෴


අවශ්‍යතා අනුපිළිවෙළක් අනුව ඉදිරියේදී වාහන ආනයනය කරනු ඇත

(15.04.2024 – 12:53 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍යතා අනුපිළිවෙළක් අනුව වාහන ආනයනය කිරීමට ඉදිරියේදී අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වැඩිදුරටත් සඳහන් කළේ මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බවයි.

+


අධිවේගී මාර්ගවලින් ඊයේ (14) රුපියල් මිලියන 40 ක ආදායමක්

(15.04.2024 – 16:51 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඊයේ (14) දිනයේ දී රුපියල් මිලියන 40 ක ආදායමක් උපයා තිබෙනවා.

ඒ අනුව පසුගිය 10 වනදා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඉපයූ අදායම රුපියල් මිලියන 191 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය කියා සිටියේ.

එසේම ඊයේ (14) දිනයේදී මෝටර් රථ 1,15,000 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර තිබෙනවා.

පසුගිය 10 වනදා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල ගමන් කර ඇති මෝටර් රථ සංඛ්‍යාව ලක්ෂ පහමාරක් (5,50,000) ෴


කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් අනතුරට ලක් වෙයි

(15.04.2024 – 17:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු (1) වේදිකාවට ඇතුලත් කිරීමේදී නියමිත ස්ථානයේදී දුම්රියක් නවතා ගැනීමට එහි කාර්ය මණ්ඩලය අපොහොසත් වීමත් සමග එම දුම්රිය වේදිකාව ද කඩාගෙන ඉදිරියට ගමන් කර තිබෙනවා.

අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 02:35 ට හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරෙන් දුම්රිය ගමනාගමනයට ගැටලුවක් වී නොමැති අතර දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

+


අනාරක්ෂිත ළිඳකට අවුරුදු 9 ක පුංචි දරුවෙකු බිලිවෙයි

(15.04.2024 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ නගරයේ අඹගමුව වීදියේ නිවසක අනාරක්ෂිත ළිඳකට ඇදවැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 9 ක කුඩා දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

රාමසාන් උත්සවය සැමරීම සඳහා ඔවුන්ගේ මහගෙදර වෙත පැමිණ සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

වෙළෙඳසැලකට ගොස් පැමිණි අවස්ථාවේ තම දරුවා නොමැති බව දැක කලබලයට පත් මව ප්‍රදේශවාසීන් සමග දරුවා සොයාබලා තිබේ. එහිදී ප්‍රදේශවාසීන් එම නිවස ආසන්නයේ ඇති ළිඳට බැස සෝදිසි කිරීමේදී එහි වැටී දියේ ගිලී සිටි දරුවා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා කඩිනමින් ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර තිබුණ ද ඒ වනවිටත් දරුවා මියගොස් ඇති බවයි ප්‍රදේශවාසින් සඳහන් කළේ ෴


ජීවිත 3 ක් බිලිගත් වික්ටෝරියා ඛේදවාචකය

(15.04.2024 – 22:28 +0530 – sinhala.adaderana.lk)

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු (1) ද අද (15) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය අඹුසැමි යුවළක් අද (15) පස්වරුවේ දියේ ගිලී තිබුණි.

එහිදී ඔවුන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ 30 හැවිරිදි වියේ පසුවූ ප්‍රදේශවාසියෙකු ද මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.

දියේ ගිලී මියගිය අඹුසැමි යුවළ තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී තිබේ.

මියගොස් ඇති සැමියාගේ වයස අවුරුදු 28 ක් සහ බිරිඳගේ වයස අවුරුදු 22 ක් ලෙසට වාර්තාවෙයි.

පළමුව කාන්තාව දියනෑම සඳහා ජලාශයට බැස ඇති අතර ඇය එක්වරම දියේ ගිලී තිබේ.

ඇගේ ස්වාමිපුරුෂයාත් සැණෙකින් ජලාශයට බැස ඇත්තේ ඇය බේරාගැනීමටය.

කෙසේවෙතත් එහිදී ජල පහරට හසුව එම දෙදෙනාම අතුරුදන්ව ඇති අතර ඔවුන් බේරාගැනීමට ප්‍රදේශවාසියෙක් ද ජලයට බැස ඇති බව වාර්තාවෙයි.

පළමුව බිරිඳගේ දේහය සොයාගෙන තිබුණු අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සැමියා සහ ඔවුන් බේරාගැනීමට ගිය ප්‍රදේශවාසියාගේ සිරුර ද සොයාගෙන තිබේ.

+


තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තරුණයකු ජීවිතක්ෂයට

(15.04.2024 – 15:56 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලැබූ තරුණයකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හක්මන පොලිස් වසමේ කෝංගල මධ්‍යම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක් වන තරුණයෙක්.

මියගිය තරුණයා සහ බාප්පා අතර කලක සිට පැවැති ආරවුලක් මුල් කරගෙන ඇති වූ ගැටුමක් හේතුවෙන් බාප්පා විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේදී බරපතල තුවාල ලැබූ තරුණයා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සිදුවීමත් සමඟ කළහකාරී වූ ප්‍රදේශවාසීන් විසින් බතලවත්ත වොලිබෝල් ක්‍රීඩංගණය අසල පිහිටි සැකකරුගේ නිවසට සහ දේපලවලට දැඩි ලෙස හානි සිදුකර ඇත බවයි.

කෙසේ වෙතත් අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා ෴


ජිරාෆ් සතෙකුගේ කොන්ක්‍රීට් පිලිරුවක් කඩාවැටීමෙන් අට (8) හැවිරිදි දරුවෙකු මරුට

(15.04.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

හෙට්ටිපොළ – මණ්ඩාපොළ ප්‍රදේශයේදී ජිරාෆ් සතෙකුගේ කොන්ක්‍රීට් පිලිරුවක් කඩා වැටී අට (8) හැවිරිදි දරුවෙකු ඊයේ (14) මියගොස් තිබෙනවා.

දරුවා සිය නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී ඉදිකර තිබූ එම කොන්ක්‍රීට් නිර්මාණය කඩාවැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව බරපතල තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දරුවා එහිදී මියගොස් තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *