ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මත කඩා වැටීමෙන් අවුරුදු තුනක් (3) වයසැති දැරියකට දිවි අහිමි වෙයි

ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මත කඩා වැටීමෙන් අවුරුදු තුනක් (3) වයසැති දැරියකට දිවි අහිමි වෙයි


ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මත කඩා වැටීමෙන් අවුරුදු තුනක් (3) වයසැති දැරියකට දිවි අහිමි වෙයි

(14.04.2024 – 16:17 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මත කඩා වැටීමෙන් අවුරුදු තුනක් (3) වයසැති දැරියක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

එම නිවසේ වැසිකිළියක් මත තබා තිබූ ලීටර 500 ක ප්ලාස්ටික් ජලටැංකියට සවිකර තිබු කරාමයකින් දිය නාමින් සිටි ඇය මෙම අනතුරට මුහුණ පා තිබුණා.

පොලිසිය පැවසුවේ දැරිය අරලගංවිල රෝහලට ඇතුළත් කළ ද එහිදි ඇය මියගිය බවයි.

+


අවුරුද්දෙන් පසු යුක්තියේ දැවැන්ත වෙනසක්

(14.04.2024 – 16:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනයට යොදවා ඇති පොලිස් මෙහෙයුම් අවුරුදු සමයෙන් පසුව දෙගුණ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රථවාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරින් හමුවීමට අද (14) පෙරවරුවේ පැමිණි අවස්ථාවේයි.

එහිදී පොලිස්පතිවරයා :

“අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීමේ කාර්‍ය අතිශය සාර්ථක වෙලා තිබෙනවා. සිංහල අවුරුද්දෙන් පස්සේ පාතාල මර්දනය සම්බන්ධයෙන් මෙහෙයුම්වල ස්වභාවය තවත් තීව්‍ර කරනවා. පොලිසිය සතුව ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් තිබෙනවා. එයින් මුදා හැරලා තියෙන්නේ සුළු ප්‍රමාණයයි අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. මම අවශ්‍ය වුණොත් ඒක දෙගුණ – තෙගුණ කරලා පොලිසියේ කාර්‍යක්ෂමතාවය අඩු සහ ඵ්ලදායිතාවය අඩු සමහර අංශ නවත්තලා ඒ නිලධාරීන්වත් මේ මෙහෙයුම් සඳහා යොමු කරනවා.”

+


ඊශ්‍රායලය වෙත ගිය ලාංකිකයන් පිරිසක් යුද ගැටුම් නිසා ඩුබායිවල කොටු වෙයි

(14.04.2024 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ඉරානය සහ ඊශ්‍රායලය අතර උද්ගත වී ඇති උණුසුම්කාරී තත්ත්වය හේතු කරගෙන ගුවන් ගමන් ඇණහිටීමෙන්, මෙරට සිට ඊශ්‍රායල‍ය බලා පියාසර කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඩුබායි හි සිර වී සිටින බව වාර්තා වනවා.

ඒ ඔවුන් ඊයේ (13) රාත්‍රී 08:10 ට ඩුබායි සිට ඊශ්‍රායල‍ය බලා පියාසර කළ ‘ෆ්ලයි ඩුබායි ගුවන්සේවය’ට අයත් FZ 1625 දරන යානය උක්ත තත්ත්වය හේතුවෙන් නැවත් ආපසු හරවා පැමිණීම හේතුවෙන්.

ඊශ්‍රායල වේලාවෙන් රාත්‍රී 10:25 ට ටෙල් අවිව් බලා ළඟා වීමට නියමිතව තිබූ එම යානයෙන් පියාසර කිරීමට බලාපොරොත්තුව ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සිට තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ ජෝර්දානය, ලෙබනනය, ඉරාකය, ඊශ්‍රායලය ආදී රටවල් හරහා ගමන් ගන්නා ගුවන් ගමන්, එම කලාපය මග හැර නැවත වෙනත් මාර්ග ඔස්සේ යුරෝපයේ බොහෝ රටවල් වෙත ගමන් කිරීම හේතුවෙන් අදාළ ගමන් සඳහා ගතවන කාලය මෙන් ම ප්‍රවේශපත්‍ර ගාස්තු ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලයට පැමිණෙන හා ඊශ්‍රායලයෙන් පිටත්ව යන ගුවන් යානාවල ප්‍රමාදයන් පවතින බව වාර්තා වනවා.

කෙසේ නමුත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් මෙරට සිටින ජනතාවට දන්වා සිටිනවා.

+


ගමේ ඉඳන් කොළඹ එන්න අද (14) සිට කෝච්චි

(14.04.2024 – 17:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹින් පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද (14) පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ පවසනවා.

ඔහු පවසන්නේ, ඒ අනුව අද (14) සහ හෙට (15) දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8 ක් ධාවනයට එක්කර ඇති බවයි.

ඒ අනුව,

  • අප්‍රේල් 14 – ප.ව. 03:30 – බෙලිඅත්ත සිට කොටුව
  • අප්‍රේල් 14 – ප.ව. 05:20 – බදුල්ල සිට කොටුව
  • අප්‍රේල් 15 – පෙ.ව. 07:45 – බදුල්ල සිට කොටුව
  • අප්‍රේල් 15 – ප.ව. 05:20 – බදුල්ල සිට කොටුව
  • අප්‍රේල් 15 – පෙ.ව. 06:00 – ගාල්ල සිට කොටුව
  • අප්‍රේල් 15 – පෙ.ව. 08:10 – බෙලිඅත්ත සිට කොටුව
  • අප්‍රේල් 15 – ප.ව. 01:50 – ගාල්ල සිට කොටුව
  • අප්‍රේල් 16 – පෙ.ව. 06:15 – ගාල්ල සිට කොටුව
  • අප්‍රේල් 16 – පෙ.ව. 07:45 – බදුල්ල සිට කොටුව
  • අප්‍රේල් 16 – ප.ව. 05:20 – බදුල්ල සිට කොටුව

ආදී වශයෙන් දුම්රිය ධාවනය වනු ඇති.

මේ අතර අනිද්දා (16) සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන් ද ආරම්භ කරන බව ද ඔහු පවසනවා ෴


උත්සව සමයේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 150 ක ආදායමක්

(14.04.2024 – 19:29 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයත් සමග අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීම 10% කින් පමණ ඉහළගොස් ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා.

ඉකුත් දස වෙනිදා (10) සිට ඊයේ (13) දින දක්වා අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් මිලියන 150 කට අධික බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අදාල කාලය තුළ අධිවේගී මාර්ගවල රථ වාහන 435,051 ධාවනය කර තිබෙනවා.

එමෙන්ම අද (14) සහ හෙට (15) යන දෙදින තුළ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසළ යම් රථ වාහන තද බදයක් ඇතිවීමේ අවදානමක් පවතින හෙයින් ඊටද ගත හැකි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

+


අලුත් අවුරුද්දේ පරණ කෝන්තර නිසා 04 ක් මරුට

(14.04.2024 – 22:06 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ අවුරුදු සාදයකට සහභාගි වී යළි පැමිණෙමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකුට (1) දිවි අහිමි වුණා.

පොලිසිය පැවසුවේ තියුණු ආයුධයකින් කළ පහරදී එම තරුණයා ඝාතනය කර ඇති බවයි.

එම පිරිස එක්ව ඊයේ (13) රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා තිබු අතර, එහිදි ඇති වූ බහින්බස්වීමක් දුරදිගයෑමෙන් මෙම පහරදීම සිදුව තිබුණා.

පොලිසිය පැවසුවේ කලක් පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

ගැටුමෙන් තුවාල ලැබු තවත් දෙදෙනෙක් (2) රෝහල්ගත කර තිබෙනවා.

සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බලංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

+

එමෙන්ම, රන්න වාඩිගල ප්‍රදේශයේ තරුණයෙකු (1) තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබෙනවා.

එම තරුණයා තියුණු ආයුධයක් ද ගෙන ඔහුත් සමඟ කලක සිට ආරවුල පැවති පුද්ගලයෙකු නිවසට ගොස් තර්ජනය කර ඇති අතර, එහිදි එම පුද්ගලයා තරුණයා අත තිබූ ආයුධය පැහැරගෙන ඔහුට පහරදී තිබෙනවා.

එම පහරකෑමෙන් ඔහු මියගිය අතර, පහරදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ අවුරුදු 26 ක් වයසැති සජිත් දිල්ෂාන් නමැති තරුණයෙක්.

++++++++

+


අවුරුදු අනතුරුවල අඩුවක්

(14.04.2024 – 21:37 +0530 – sinhala.adaderana.lk)

අද (14) උදෑසන 7 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162 ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ඊයේ (13) දිනය තුළ ගිණිකෙළි අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවට වාර්තා වෙයි.

ඒ අනුව පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴


මොරගහහේන ඝාතනයට ආ මෝටර් රථයේ පාට වෙනස් වූ හැටි

(14.04.2024 – 19:40 +0530 – sinhala.adaderana.lk)

මොරගහහේන ප්‍රදේශයේදී අප්‍රේල් 07 වනදා සිදුකළ ද්විත්ව ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන තිබේ.

එම ගරාජය පවත්වාගෙන යමින් මෝටර් රථය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය සඳහන් කළේය.

ඔහු සපුගස්කන්ද හෙයියන්තුඩුව කොට්ටුන්න පාරේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු වාහන විකිණීම, හුවමාරු කිරීම සහ පිංතාරු කිරීම් සිදුකරන ගරාජයක් පවත්වාගෙන යන අයෙකි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු පවසා ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මත අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ‘හෝමාගම හඳයා’ නැමැත්තාගේ සමීපතමයෙකු වන දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ‘සංජය’ නැමැත්තෙක් අප්‍රේල් 07 වනදා තමන්ට දුරකථන ඇමතුමක් දුන් බවය.

එහිදී සියඹලාපේ මාර්ග සංඥා පුවරුව අසල ඇවිදින මංතීරුවට යාබදව නවතා තිබෙන සිල්වර් පැහැති මෝටර් රථය රැගෙන විත් එය සුදු පැහැ වර්ණය ගන්වා අංක තහඩු මාරු කරන්නැයි ඔහු උපදෙස් දුන් බව සැකකරු පවසා තිබේ.

ඊට ගෙවීම ලෙස ‘හෝමාගම හඳයා’ නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට රුපියල් ලක්ෂයක (100,000) මුදලක්ද, තවත් රුපියල් 40,000 ක් කඩුවෙල ප්‍රදේශයේ බැංකුවකින් ද තමන්ගේ ගිණුමට බැරකළ බව සැකකරු ප්‍රකාශ කර තිබුණි.

පසුව තමන් මෝටර් රථය සුදු පැහැයෙන් වර්ණ ගන්වා අංක තහඩු වෙනස් කර එය එම ස්ථානයටම ගෙන ගොස් නවතා පැමිණි බවත් අත්අඩංගුවට ගත් තැනැත්තා පොලීසියට පවසා තිබේ.

රථය එලෙස රැගෙන එන සහ යළි රැගෙන ගොස් නවත්වන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබුණි.

සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විදේශගතව සිටින ‘හෝමාගම හඳයා’ නැමැත්තාගේ සහ ඔහුගේ සමීපතමයෙකු වූ ‘සංජය’ නැමැත්තාගේ උපදෙස් මත ඔවුන්ගේ සමීපතමයින් විවිධ අවස්ථාවල අත්අඩංගුවට පත්වූ විට නීතිඥ සහාය ලබාදීමට ද මැදිහත් වී ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *