දකුණු මුහුදේ නාවික හමුදාව ඇල්ලූ ‘හෙරොයින්’ සහ ‘අයිස්’ තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798 යි

දකුණු මුහුදේ නාවික හමුදාව ඇල්ලූ ‘හෙරොයින්’ සහ ‘අයිස්’ තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798 යි


දකුණු මුහුදේ නාවික හමුදාව ඇල්ලූ ‘හෙරොයින්’ සහ ‘අයිස්’ තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798 යි

(14.04.2024 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට දකුණින් වූ මුහුදේදී තම භාරයටගත් ‘හෙරොයින්’ සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798 කට ආසන්න බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව ශ්‍රී ලංකාවට දකුණින් වූ මුහුදේ කිලෝමීටර් 130 ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රා 2 ක තිබී ‘හෙරොයින්’ සහ ‘අයිස්’ කිලෝ 200 ක් නාවික හමුදාව පසුගියදා සිය භාරයට ගෙන තිබුණා.

එහිදි ශ්‍රී ලංකිකයින් හයදෙනෙකු (6) සහ විදේශිකයන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ වනවිට අදාළ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර, ඔවුන් ඊයේ (13) රාත්‍රීයේ ගාල්ල වරායට රැගෙන විත් තිබුණා.

එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද එක්ව සිටි බව සඳහන්.

මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය ඉදිරි නීතිමය පියවර ගනු ඇති බවයි, නාවික හමුදාව ප්‍රකාශ කළේ ෴

+++++++

+++++++


මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට ඇතුළු වූ විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

(13.04.2024 – 22:12 +0530 – sinhala.adaderana.lk)

රුපියල් මිලියන 26 කට ආසන්න ‘කොකේන්’ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ගුලි 57 ක් සමග ‘මැඩගස්කර් ජාතික කාන්තාවක්’ අත්අඩංගුවට ගෙන ති‌බේ.

38 හැවිරිදි එම කාන්තාව ඊයේ (12) කටුනායක ගුවන්තොටුපොළ තුළදී අත්අඩංගුවට ගෙන තිබුණේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්ය.

මෙම සැකකාරිය ඉතියෝපියාවේ සිට ඉන්දියාවේ මුම්බායි හරහා මෙරටට පැමිණ තිබුණි.

එහිදී එම කාන්තවගේ ශරීරය තුළ සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය ඉවතට ගැනීම සඳහා මීගමුව රජය රෝහලට ඇතුළ කරන ලදී.

මේ වන විට මෙම කාන්තාව තම ශරීරයේ සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය ගුලි 57 එළියට ගෙන ඇති අතර එහි බර ග්‍රෑම් 620 කට ආසන්න බව වාර්තා වෙයි.

තවදුරටත් ඇයගේ ශරීරය තුළ මත්ද්‍රව්‍ය ගුලි ඇතැයි නිලධාරීන් සැකකරයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකාර කාන්තාව හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ ෴


නව මී මැස්සන් විශේෂ 03 ක් සොයාගනිමින් ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තැබූ තිළිණ හෙට්ට්ආරච්චි

(13.04.2024 – 20:13 +0530 – sinhala.adaderana.lk)

ලොවපුරා සිදුවන නව සොයාගැනීම් සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ඉතාමත්ම ඉහළය.

‘තිළිණ හෙට්ට්ආරච්චි’ ද එලෙස ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම තැබූ පර්යේෂකයෙකි.

ඒ වසර ගණනාවක් පුරා සිදුකරන ලද පර්යේෂණ ඔස්සේ නව මී මැස්සන් විශේෂ 03 ක් සොයාගනිමිනි.

ලොව පුරා මී මැසි විශේෂයන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන අතර ඉන් මී පැණි සාදන්නේ සියයට 10 ක් පමණි.

සෙසු මී මැසි වර්ග ‘එකසර පරාග මී මැස්සන්’ ලෙස හඳුන්වයි.

තිළිණ හෙට්ටිආරච්චි සිය පර්යේෂණ ඔස්සේ හඳුනාගෙන ඇත්තේ, මී පැණි නොසාදන මල් පරාග මත යැපෙන මී මැස්සන් වර්ග තුනකි (3).

කැනඩාවේ මැනිටොබා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි හදාරන තිළිණ මෙම සොයාගැනීම් සිදුකර ඇත්තේ, උතුරු අමෙරිකාවේ Lasioglossum (ලැසියෝග්ලොසම්) කුලයේ මී මැසි නිදර්ශක පරීක්ෂාවේදීය.

මේ මී මැසි වර්ගයේ ශරීරයේ ‘ලෝහමය වයනයක්’ දක්නට ලැබෙන නිසා එය Lasioglossum dilisena (ලැසියෝග්ලොසම් දිලිසෙන) යන නම තිළිණ විසින් යෝජනා කර තිබේ.

ඊට තිළිණගේ මහාචාර්යවරයා වන ජේසන් ගිබ්ස් ද කැමැත්ත පළ කර ඇත්තේ ‘දිලිසෙන’ යන නම උච්චාරණයට ඇති පහසුව හේතුවෙනි.

මැනිබොටා විශ්වවිද්‍යාලයේ තිළිණගේ මේ පර්යේෂණය අධීක්ෂණය කරනු ලබන මහාචාර්ය ජේසන් ගිබ්ස් පවසන්නේ, මේ මී මැස්සන් වෙනත් භාෂාවකින් නාමකරණය කිරීම ද සිත්ගන්නා සුළු බවය.

එමෙන්ම තමා සිදුකරන ලද පර්යේෂණ ඔස්සේ තම මවට උපහාර පිදීමට ද තිළිණ අමතක කර නැත.

ඒ, තමා විසින් සොයාගන්නා ලද මී මැසි උප ගණයක් සිය මව වන ‘පද්මිණි පතිරණ’ මහත්මියගේ නමින් නම් කරමිනි.

+


බීමත් රියදුරන් අල්ලන මෙහෙයුම අදත් (14)

(14.04.2024 – 09:25 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද (14) දිනයේදීත් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.

ක්‍ෂණික මාර්ග බාධක ද යොදාගෙන එම මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අලුත් අවුරුදු සමයේ, බීමත්ව රිය පැදවීම නිසා සිදුවන අනතුරු වළක්වා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියා.

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ උත්සව සමය වෙනුවෙන් පොලිසිය විශේෂ රථවාහන පරීක්ෂාවක් ද ඊයේ (13) සිදු කර තිබුණා.

පසුගිය 06 වැනිදා සිට ඊයේ (13) දක්වා සිදුකළ රථවාහන පරීක්ෂාවලදී බීමත්ව රිය ධාවනය කිරීම ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 4298 දෙනෙකුට නඩු පැවරීම් හා දඩ නියම කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ.

එමෙන්ම බීමත් රියදුරන් පරීක්ෂා කිරීම අඛන්ඩව සිදුකරන බව පොලිස් රථවාහන පාලන අංශයේ සහ ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළා ෴


2024 වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළට

(14.04.2024 – 10:53 +0530 – hirunews.lk/sinhala)

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7 කින් වැඩිවී තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 1,536.1 ක් ලැබී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,432.2 ක්.

මේ අතර ගතවූ 2023 වසරට සාපේක්ෂව සංචාරක පැමිණීම් සංඛ්‍යාව ද සියයට 89.4 කින් වැඩිවී තිබෙනවා.

එමගින් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,025.9 ක් බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ ෴


උමා ඔය ව්‍යාපෘතිය 24 වැනිදා විවෘත වෙයි

(14.04.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)

‘උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය’ එළැඹෙන අප්‍රේල් 24 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇළකන්ද පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙමගින් දෛනිකව රුපියල් මිලියන 80 ත් 100 ත් අතර වටිනාකමකින් යුත් ජල විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කළ හැකි බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 514 ක වියදමින් ඉරාන රජයේ ණය ආධාර යටතේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2011 වසරේදීයි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ මෙගාවොට් 120 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමයි.

මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය අධිබලැති විදුලි රැහැන් කුලු‍නු 65 ක් හරහා කිලෝමීටර 23 ක් බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරෙනවා.

එමෙන්ම ‘උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය’ යටතේ කෘෂිකර්මාන්තයට හා පානීය අවශ්‍යතා වෙනුවෙන් ජලය ලබාගැනීමත් අරමුණයි.

එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇළකන්ද ප්‍රකාශ කළේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර ඇති අතර ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

+


රියඅනතුරුවලින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට – 14 දෙනෙකු රෝහලේ

(14.04.2024 – 15:43 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රියැදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හා බීමත්කම මෙම අනතුරුවලට හේතු වී ඇති බවයි.

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගණදෙවි කෝවිල අසලදී අද (14) උදෑසන මෝටර් රථයක් ගසක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනෙකු (2) මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

අනතුරට මුහුණ පා ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක්.

+++++++++

+

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ සරෝද හංදිය ප්‍රදේශයේදී කැබ් රථයක් යතුරුපැදි දෙකක (2) ගැටී සිදු වූ අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර කැබ් රථයේ රියැදුරා බීමත්ව සිට ඇතැයි පොලිසිය පැවසුවා.

+

ගාල්ල සිට ඇල්ල හරහා හපුතලේ දෙසට යමින් සිටි වෑන් රථයක් ඔත්තකඩේ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රියැදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

+


බස්නාහිර සහ දකුණේ අපරාධ ක්‍රියාත්මක කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(14.04.2024 – 16:06 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් ක්‍රියාත්මක තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව සහ අංගොඩ යන ප්‍රදේශවලදී එම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම සිදුකරන ලද පරීක්ෂණවලදී එම අපරාධ කල්ලි සමාජිකයින් දෙදෙනා (2) සමග සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය දැක්වූ බවට සැකකෙරෙන තවත් සිව් දෙනෙකු (4) ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් ක්‍රියාත්මක පොලිස් විශේෂ මෙහෙයුම යටතේ පසුගිය මාර්තු මස 19 වනදා සිට අප්‍රේල් මස 13 වනදා දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් 412 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *