බීමත් රියදුරෙක් ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට රු. 5000 ක් තෑගි

බීමත් රියදුරෙක් ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට රු. 5000 ක් තෑගි


බීමත් රියදුරෙක් ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට රු. 5000 ක් තෑගි

(12.04.2024 – 22:42 +0530 – hirunews.lk/sinhala)

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000 ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අද (12) පැවසුවා.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වාහන රාශියක් පරීක්ෂා කිරීමට සිදුවන බවත්, ඒ සඳහා රාජකාරියේ නියැලෙන නිලධාරියා උනන්දු කරවීම සඳහා එම ත්‍යාගය ලබාදෙන බවයි.

එමෙන්ම අවුරුදු සමයේ බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පැය විසි හතර පුරා යොදවා ඇති බවත් විශේෂ යතුරුපැදි කණ්ඩායම් ද යොදවා ඇති බවත් ඔහු පැවසුවා.

අධික වේගයෙන් රිය පැදවීම, මංතීරු නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම හා මාර්ග තදබද ඇති අවස්ථාවල අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව එහිදී සඳහන් කළා ෴


ඉහළ ගිය එළවළු මිල පහලට – විශාල එළවළු තොගයක් කසළ ගොඩට

(12.04.2024 – 22:43 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පසුගිය දින කිහිපය තුළ ගෙනා විශාල එළවළු තොගයක් භාවිතයෙන් තොරව කසළ ලෙස ඉවත් කළ බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස විනාශකර ඇත්තේ, එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ගේ ඉල්ලුමට වඩා වැඩියෙන් ගෙනැවිත් අපතේ ගිය එළවළු බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම එළවළු තොගය මෙට්‍රික් ටොන් 40 ක් පමණ වූ බවයි.

මෙම සිදුවීම වාර්තා වෙන්නේ ඉකුත් සමයේදී එළවළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් මේ දිනවල ඉතා පහත මිලක් දක්වා පසුබැස ඇති තත්ත්වයක් තුළයි.

+


‘හබරණ හුරුළු රක්ෂිතයේ’ වන විනාශයක්

(12.04.2024 – 14:21 +0530 – sinhala.adaderana.lk)

මෙරටට ආවේණික ශාක විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙන සහ සතුන් විශාල ප්‍රමාණයක් වාසය කරන ‘හබරණ හුරුළු රක්ෂිතයේ’ සිදුකෙරෙන අනවසර කැණීමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තා වුණි.

‘උකුස්සා’ගේ අද (12) අනාවරණය ඒ පිළිබඳවය.

‘හබරණ හුරුළු රක්ෂිතය’ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල හෙක්ටයාර 25,000 ක් පුරා පැතිරී තිබෙන ස්වභාව සෞන්දර්යෙන් අනූන වූ රක්ෂිතයකි.

1977 වර්ෂයේදී මෙම රක්ෂිතය අන්තර්ජාතික ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කළ අතර 2007 වර්ෂයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම රක්ෂිතයෙන් හෙක්ටයාර 1000 ක භූමි ප්‍රමාණයක් පාරිසරික උද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබේ.

කෙසේවෙතත් මෙම රක්ෂිතයේ එම භූමි ප්‍රදේශයේ කලක පටන් අවිධිමත් අයුරින් භූමියේ කැණීම් සිදුකරන බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණි.

ඒ අනුව ‘අද දෙරණ උකුස්සා’ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ද සමග අදාළ රක්ෂිතයට ගියේ මේ සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහාය.

අප එම ස්ථානයට ළඟාවන විටත් පිරිසක් අදාළ රක්ෂිත භුමියේ කැණීම් සිදුකරමින් තිබුණි.

අනතුරුව කැණීම් බලපත්‍රය පිළිබඳව අප විමසූ විට ඔවුන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් දිසා වනජීවි නිලධාරියාගෙන් විමසිය යුතු බවය.

ඒ අනුව, ජංගම දුරකථනය ඔස්සේ අදාළ නිලධාරියා සම්බන්ධ කරගැනුණා.

එහිදී කැණීම් සඳහා අවසර ලබාදුන් ලේඛන ගැන විමසීමේදී ඊට ප්‍රතිචාර ලෙස අදාළ නිලධාරියා වට්ස්ඇප් ඔස්සේ අප වෙත ලිපියක් යොමුකළේය.

එහෙත්, කැණීම් බලපත්‍රය වෙනුවට ඔහු එලෙස යොමුකර තිබුණේ කැණීම් සඳහා අවසර ඉල්ලූ ලිපිය පමණි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදෙනු ලැබූ ලිපිය පසුව යොමුකරන බව දිසා වනජීවි නිලධාරියා අපට පැවසුවද එවන් ලිපියක් අප වෙත යොමුකිරීමට ඔවුන් සමත් වූයේ නැත.

ඉකුත් 2020 වසරේදී ලිපියක් මගින් ඔවුන් අවසර ඉල්ලා තිබුණේ රක්ෂිතයේ සතුන්ට ජලය පානය කිරීම සඳහා පොකුණු කිහිපයක් ඉදිකිරීමටත්, එහිදී ඉවත්වන පස් රක්ෂිතයේ මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා යොදාගැනීමටත් මිස පස් අලෙවිය සඳහා නොවේ.

රක්ෂිතය අවට සතුන්ට ජලය පානය කිරීමට ස්වභාවික ජලාශ කිහිපයක්ම පවතින පසුබිමක, නිසි අවසරයකින් තොරව කැණීම් අරඹා වසර 4 ක් ඉක්මගොස් ඇතත් මේ දක්වා භූමියේ කිසිදු පොකුණක් අලුතින් ඉදිකර නොමැති බව ‘උකුස්සා’ට නිරීක්ෂණය වුණි.

ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙන සහ සතුන් විශාල ප්‍රමාණයක් වාසය කරන මෙම රක්ෂිතය, සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසට හෝ මෙසේ කැණීම් සිදුකළ හැකිද?

බලධාරින් ක්‍රියාත්මක වනතෙක් ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙන්.

+


හම්බේගමුවේ වෙඩි තැබීමක්

(13.04.2024 – 07:38 +0530 – sinhala.adaderana.lk)

හම්බේගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබේ.

ඊයේ (12) රාත්‍රී හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ නිවසක සිටි දෙදෙනෙකුට (2) යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

එම නිවසේ හිමිකරු සහ ඔහුගේ ඥාතී සොහොයුරන් ඇතුළු පිරිසක් සාදයක් පවත්මින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් හම්බේගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී ෴


ජීවිතයක් බිලිගත් අනියම් පෙම

(12.04.2024 – 22:29 +0530 – sinhala.adaderana.lk)

මොරටුව පොලිස් වසමේ කටුබැද්ද දන්දෙණිය වත්ත ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අනියම් ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් එම ආරවුල හට ගෙන ඇතැයි වාර්තා වේ.

එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු විසින් අදාළ ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි හර්ෂණ කුමාර නැමැති අයෙකි.

අදාළ ගැටුමෙන් තවත් පුද්ගලයෙකු (1) තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

ඝාතනය සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ පුංචි අම්මා සමග මිය ගිය තරුණයා අනියම් සබඳතාවයක් පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් ඇති වූ ප්‍රශ්නයක් මත අදාළ ඝාතනය සිදුව ඇත.

සැකකරුව හෙට (13) මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ ෴


හෙළ ජෝතිෂයට අනුව නැකතෙන් පස්සේ රටට වෙන්න යන දේ | නැකත් වලිය බොරුවක්! මෙහෙම දෙයක් 13, 14 වෙන්නේ නෑ! (12.04.2024)

+


උත්සව සම‍යේ රිය අනතුරුවල වර්ධනයක්

(13.04.2024 – 07:28 +0530 – hirunews.lk/sinhala)

උත්සව සම‍යේ රිය අනතුරුවල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිසිය පවසනවා.

අපරික්ෂාකාරී රිය ධාවනය සහ බීමතින් රිය ධාවනය කිරීම ආදී හේතු මුල්කරගෙන අනතුරු බහුල වී ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මේ අතර අධික වේගයෙන් රිය පැදවීම, මංතීරු නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම හා මාර්ග තදබද ඇති අවස්ථාවල අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශකර සිටියා.

බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පැය විසි හතර පුරා යොදවා ඇති බවත් විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බවයි ඔහු ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ ෴


ගිනිකෙළි භාවිතයේ දී විමසිලිමත්වන ලෙස ජනතාවට උපදෙස්

(13.04.2024 – 11:11 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ දී රතිඤ්ඤා හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජනතාවට දැනුම් දෙනවා.

උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36% ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17% ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බවට සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.

අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩිහිටියන්ට අධීක්ෂණයෙන් තොරව දරුවන්ට ගිනිකෙළි භාවිතා කිරීමට ලබා නොදෙන බවයි ෴


මාර්තුවේ දී ඉන්ධන භාවිතයේ කැපී පෙනෙන වැඩි වීමක්

(13.04.2024 – 11:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‘X (ටිව්ටර්) පණිවිඩයක්’ මඟින් දැනුම් දෙනවා.

ඒ මෙරට ඉන්ධන භාවිතය 50% කින් අඩු වී ඇති බවට ඉකුත් දිනකදී ‘ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය’ ප්‍රකාශකර ඇති පසුබිමකයි.

සිපෙට්කෝ, ලංකා අයිඕසී සහ සයිනොපෙක් යන මෙරට තුළ ඉන්ධන බෙදා හරින ආයතන විසින් ඉකුත් සමය තුළ අලෙවි කරන ලද ඉන්ධන ප්‍රමාණයන්ට අදාළ දත්ත වාර්තා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉකුත් මාර්තු මාසයේ දී ඉන්ධන අලෙවියේ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති බවයි.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා සීමා කරන ලද ඉන්ධන පරිභෝජනය ඉකුත් මාර්තු මාසයේ දී වැඩි වී ඇති අතර එය නිරූපණය කරන ඔටෝ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 137,927 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මේ අතර මෙරට තුළ බහුලවම භාවිතාවන ඉන්ධන වර්ගය වන ඔක්ටේන් 92 වර්ගයේ ඩීසල් භාවිතය ද මාර්තු මාසයේ දී මෙට්‍රික් ටොන් 112,545 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දෙසැම්බර් මාසයේ දී එම වර්ගයේ ඉන්ධන පරිභෝජනය සඳහන් වී තිබුණේ මෙට්‍රික් ටොන් 113,078 ක් ලෙස‍‍යි.

ඒ අනුව අමාත්‍යවරයා මෙම දත්ත වාර්තා ප්‍රසිද්ධ කරමින් ‘ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය’ විසින් ඉකුත් දා කළ ප්‍රකාශය බැහැර කර තිබෙනවා ෴


අලුත් අවුරුද්දේ නීති උල්ලංඝනය කරන බස් රියදුරන් පිළිබඳ දැනුම්දීමට 1955 පැය 24 පුරා ක්‍රියාත්මකයි

(13.04.2024 – 11:48 +0530 – hirunews.lk/sinhala)

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

මෙම ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන පැමිණිලි සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට නිලධාරීන් යොදවා ඇති බවද ඇය සඳහන් කළා ෴


නැගී එන මුදල් ඒකක අතරට රුපියලත්

(13.04.2024 – 12:07 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල (LKR) ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී තිබෙනවා.

එය 2024 වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7% කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වා දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *