දොලොස් (12) හැවිරිදි දැරියක් වැලිකන්දේදී දුම්රියෙන් එළියට විසිවෙයි

දොලොස් (12) හැවිරිදි දැරියක් වැලිකන්දේදී දුම්රියෙන් එළියට විසිවෙයි


දොලොස් (12) හැවිරිදි දැරියක් වැලිකන්දේදී දුම්රියෙන් එළියට විසිවෙයි

(12.04.2024 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියෙන් වැටී දොලොස් (12) හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

සිය ඥාතී නිවසකට ගොස් ආපසු එමින් සිටි මෙම දැරිය ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේදියි මෙලෙස දුම්රියෙන් ඇද වැටී තිබෙන්නේ.

බරපතල තුවාල ලැබූ දැරිය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිදුවීම පිළිබඳව වැලිකන්ද පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


ණය ගෙවීම පැහැර හැර අදට (12) අවුරුදු දෙකයි (2)

(12.04.2024 – 06:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට අද (12) ට වසර දෙකක් (2) සම්පූර්ණ වනවා.

ඉකුත් සමයේ මෙරට උද්ගත වූ විදේශ විනිමය හිඟය හමුවේ, 2022 වසරේ අප්‍රෙල් 12 වැනි දා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් මගින් ද්විපාර්ශවික සහ වාණිජ ණය හිමියන්ට දැනුම් දුන්නා.

ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවල්වලින් ලබා ගත් ඩොලර් බිලියන 10 ඉක්ම වූ ණය ප්‍රමාණයක් ද, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගින් මූල්‍ය වෙළෙඳපොළෙන් ලබා ගත් ණය ද ඇතුලුව ඩොලර් බිලියන 14 ඉක්ම වුණු වානිජ ණය ප්‍රමාණයක් ගෙවීම ද තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එම වසරේ (2022) දී සාකච්ඡා ආරම්භ වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර නීති හා මූල්‍ය ආයතන දෙකක (2) සහාය ලබා ගත්තා.

මේ අතර 2023 වසරේ දී දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් වූ අතර, බහුපාර්ශවීය ණය හැර සෙසු විදේශ ණය 2022 වසරේ අප්‍රේල් සිට මේ දක්වා ගෙවීමක් කර නැහැ.

කෙසේ නමුත් ඉකුත් දා මුදල් අමාත්‍ය ධුරය ද දරණ ජනාධිපතිවරයාට ඉතා සමීප අයෙකු වන ‘ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක’ විදෙස් පුවත් සේවයකට පවසා තිබුණේ, ගෙවීම් අත්හිටුවා ඇති විදේශ ණය ආපසු ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීම සඳහා වන ණය හිමියන් සමග කරන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවයි.

එහි දී ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, ණය ආපසු ගෙවීමේ කාලය 2028 සිට 2042 දක්වා වසර 15 ක කාලයක් පමා කර ගනු ඇති බවත්, ඒ සඳහා 2% ක පමණ නව පොලියක් එකතු වනු ඇති බවයි.

+


අදත් (12) විශේෂ ප්‍රවාහන සේවා

(12.04.2024 – 08:09 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (12) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

රජය විසින් ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම යටතේ අතිරේක බස් රථ ගමන් වාර 700 ක් සහ අමතර දුම්රිය ගමන්වාර 12 ක් ධාවනයට එක් කර තිබෙනවා.

මගී අවශ්‍යතාව අනුව තවත් අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ කියා සිටියේ.

පෞද්ගලික බස් රථ ද අද (12) ධාවනයට එක් කර ඇති බව ‘ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

එමෙන් සියලු අධිවේගී මාර්ගවල අතිරේක බස් රථ ගමන් වාර 150 ක් ක්‍රියාත්මක බව ‘ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ’ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන කියා සිටියා.

මීට අමතරව මගීන්ට ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි ‘ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ’ සභාපති ලලිත් අල්විස් සඳහන් කළේ.

+


කෘමියෙකු හේතුවෙන් ‘දේශීය එරබදු’ ගස අවදානමේ

(12.04.2024 – 08:27 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයත් සමග කථාබහට ලක්වන දේශීය එරබදු ශාකය මෙරටින් තුරන්වීමේ අවදානමක් මතුව තිබෙනවා.

එරබදු යනුවෙන් ශාක දෙකක් (2) පවතින අතර, ‘දේශීය එරබදු’ ගසට අමතරව අනෙක් ශාකය වන්නේ ‘යක් එරබදු’ යි.

කෙසේ වෙතත් ‘එරිත්‍රයිනා ගෝල්වෝස්’ නම් කෘමියෙකු නිසා ‘දේශීය එරබදු’ ශාකය මෙරටින් වඳවී යාමේ අවදානමක් හටගෙන ඇති බවයි ‘ජාතික උද්භිද උද්‍යානයේ’ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් විජේසුන්දර කියා සිටියේ.

මේ අතර, අලුත් අවුරුදු සමය ආරම්භ වීම සංකේතවත් කරමින් කොහාගේ නාද රටා ඇසීම අතීතයේ පටන් සිදුවන කාරණයක්.

කෙසේ වෙතත් පරිසරවේදී ජගත් ගුණවර්ධන කියා සිටියේ ‘කොහෝ නාදය’ මේ වනවිට අඩුවී ඇති බවයි ෴


ලංගමට වාර්තාගත ආදායමක්

(12.04.2024 – 11:06 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංගම බස් රථ සේවාව හරහා ඊයේ (11) දිනය තුල පමණක් රුපියල් මිලියන 210 ක අධික ආදායමක් උපයා තිබෙනවා.

එය 2024 වසරේ මෙතෙක් ඉපයූ වැඩිම ආදායම බවයි ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් පැවසුවේ.

අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස්රථ ගමන්වාර 4500 ක් ධාවනයට එක් කර ඇති අතර, දුර පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන්ද විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක බව සභාපතිවරයා සඳහන් කළා ෴


‘නාරහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ’ එළවලු මිල වැඩි වෙයි

(12.04.2024 – 11:17 +0530 – hirunews.lk/sinhala)

අද (12) දිනයේ ‘නාරහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ’ එළවලු මිල වැඩි වී තිබෙනවා. 1kg ක මිල : (රුපියල්)

කැරට් – 450 , ලූනු කොළ – 500 , ලීක්ස් – 350 , බෝංචි – 430 , තක්කාලි – 300 , වම්බටු – 400 ෴


මූල්‍ය වංචාවක් ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ගෙන් චෝදනාවක්

(12.04.2024 – 12:18 +0530 – hirunews.lk/sinhala)

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සම්මුඛ සාකඡාවක දී කළ ප්‍රකාශයක් සංස්කරණය කර, අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා යොදා ගැනීම පිළිබඳ ඔහු සිය නිල ‘X’ ගිණුමෙන් චෝදනා කරනවා.

ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කරන වීඩියෝවකට හඬ කවා යොදාගෙන ඇති එම වීඩියෝව සම්බන්ධයෙන් මැතිව්ස් පවසන්නේ, “මෙය මිනිසුන් රවටා මගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ ද්වේෂසහගත උත්සාහයක්. මෙම වංචාකරුවන් රූපවාහිනී නාලිකාවකින් සංස්කරණය කළ වීඩියෝවක් භාවිත කර තිබෙන්නේ ! කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරනවා” යනුවෙන් ෴


ප්‍රදේශ කිහිපයකින් උණසන්නිපාත රෝගීන් වාර්තා වෙයි

(12.04.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

උණසන්නිපාත රෝගීන් කිහිපදෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයකින් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙන්නේ අවුරුදු සමයේදී දරුවන්ට පාචනය හා උණසන්නිපාත රෝගය වැළඳීමේ අවදානමක්ද පවතින බවයි.

ඒ පිළිබඳව වැඩිහිටියන් සැලකිලිමත් විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

+


ආගමන විගමන නිලධාරීන් සංකේත වැඩවර්ජනයක

(12.04.2024 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ආගමන විගමන නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක නිරතවන බවට මාධ්‍ය නිවේදනයක් මඟින් දැනුම් දී සිටිනවා.

එම නිවේදනයේ සඳහන් වෙන්නේ අද (12) උදෑසන 09:00 සිට හෙට (13) උදෑසන 09:00 දක්වා රටේ සියලු ගුවන්තොටුපලවල් සහ වරායන් ආවරණය වන පරිදි සියලු නිලධාරීන් කළු පටි බැඳ අත් පත්‍රිකා බෙදාදීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි.

ආගමන විගමන සේවාව තුළ පවතින නිලධාරි හිඟය, නිසි කලට තනතුරු පුරප්පාඩු නොපිරවීම, ආදී ගැටලු රාශියක් මධ්‍යයේ වුවද තම සේවාව අඛණ්ඩව සැපයූවත්, ඇතැම් අවස්ථාවලදී දෙපාර්තමේන්තු පාලනාධිකාරිය ගන්නා තීරණ අභියස තම නිලධාරීන් අනවශ්‍යය පීඩනයට ලක්වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ ආදී කරුණු කාරණා රාශියක් මුල්කරගමින් සංකේත වැඩවර්ජනයක නිරතවන බවත් එම නිසා රටේ කිසිදු ගුවන්තොටුපළකින් හෝ වරායකින් ගමන් කරන මගීන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකරන බවත් එම නිලධාරීන් මාධ්‍ය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


පළාත් පහකට (5) ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

(12.04.2024 – 14:35 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල හා මොණරාගල දිස්ත්‍රික්කයට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර, කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි ස්ථානවල රැඳී සිටීමෙන් වැළකිය යුතුයි.

එසේම රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ මෙන්ම බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴


උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කෙරේ

(12.04.2024 – 15:31 +0530 – hirunews.lk/sinhala)

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරුවරයා පවසනවා.

එහිදී උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 1000 ක වටිනාකමින් යුත් විදුලි බලයක් උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා.

අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වීමෙන් පසු මීට මසකට (1) පමණ පෙර ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා.

මේ වනවිට සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති අතර, ලබන 24 වනදා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත බවයි වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙගාවොට් 120 ක විදුලි ධාරිතාවක් මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැළසුම් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *