අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ හෝටල් කාමරයක අභිරහස් මරණයක්

අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ හෝටල් කාමරයක අභිරහස් මරණයක්


අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ හෝටල් කාමරයක අභිරහස් මරණයක්

(11.04.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඊයේ (10) සවස හෝටලයේ නවාතැන් ගෙන සිටි යුවළක් අතරින් කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මියගිය තරුණිය පිරිමියෙකු සමග ඊයේ (10) සවස අදාළ හෝටලයට පැමිණ එහි කාමරයක නවාතැන්ගෙන ඇති අතර, ඊට ටික වේලාවකට පසුව ඇය සමග සිටි පිරිමියා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙනවා.

පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

+++++++++

+


ඊශ්‍රායාලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට ගුවන් ටිකට් පත්

(11.04.2024 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායාලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු කණ්ඩායමට ගුවන් ටිකට් පත් පිරිනමා තිබෙනවා. ඒ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති උත්සවයක දීයි.

125 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස අනිද්දා (13) රැකියා සදහා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි. ඊශ්‍රායාලයේ ඉදිකිරීම් රැකියා 20,000 ක ප්‍රමාණයක් මෙරටට ලැබී තිබෙනවා ෴


සාගලට ඇමෙරිකාවේ ලොක්කෙක් call කරලා

(11.04.2024 – 09:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) පවසා තිබෙනවා.

ජේක් සලිවන් මේ බව සඳහන් කළේ ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ ඊයේ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමින්.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් තීරණාත්මක මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය ඇති අතර කඩිනම් ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය අගය කරන බවද ජේක් සලිවන් පවසා තිබෙනවා.

කලාපයේ සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙරට අතර පවතින අන්‍යොන්‍ය අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැපවන බවයි ඔහු සඳහන් කළේ ෴


ගුවන් හමුදාව දහඅටදාහට (18,000) බස්සයි

(11.04.2024 – 10:34 +0530 – hirunews.lk/sinhala)

ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කරන 35,000 ක ගුවන් භට පිරිස 2030 වන විට 18,000 කට පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පවසනවා.

අඩු කරනු ලබන ගුවන් භට පිරිස් වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බවයි ද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ.

ගුවන් හමුදාපතිවරයා මේ බව පැවැසූවේ ඊයේ (10) අකුරගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ෴


මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදාගත් ලාංකිකයින් අප්‍රේල් 18 වැනිදා යළි දිවයිනට

(11.04.2024 – 10:48 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති වෙත භාර දී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ ඔවුන් ශ්‍රී ලංකාවවෙත රැගෙන එන බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර සඳහන් කළේ.

එමෙන්ම මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසන්නේ.

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගෙන පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් 8 දෙනා අප්‍රේල් 18 වැනිදා යළි දිවයිනට පැමිණිමට නියමිතයි.

+


වෙළඳසැලක් තුළදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කෙරේ

(11.04.2024 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – ඌරගස්මංහන්දිය – මීගස්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

40 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව අදාළ වෙළඳසැලේ හිමිකාරිනියද වනවා ෴


ගම්බිම් බලා යන ජනතාවගෙන් කොළඹ පිරෙයි

(11.04.2024 – 12:17 +0530 – hirunews.lk/sinhala)

අලු‍ත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය යෙදී ඇති ලබන 15 වනදා සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සදහා විශේෂ ප්‍රවාහන සැලස්මක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා.

සාමාන්‍ය කාලසටහනට අතිරේකව අමතර බස් රථ ගමන් වාර 700 ක් සහ අමතර දුම්රිය ගමන් වාර 12 ක් එම සැලස්මට ඇතුළත්.

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ඊයේ (10) පස්වරුවේ සිට ආරම්භ කළ බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරි එම්.ජේ. ඉදිපොළගේ සදහන් කළේ. මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉල්ලුම් කරන පරිදි දුරගමන් සේවා සහ සාමාන්‍ය සේවා සදහා අවශ්‍ය බස් රථ ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

+


එළවළු තොග මිල ගණන් අඩු වෙයි

(11.04.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල ගණන් ශීඝ්‍රයෙන් අඩු වී තිබෙනවා.

ඒ අනුව එම මධ්‍යස්ථානවල එළවළු වර්ග රැසක කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ටත් අඩු බවයි වෙළෙඳුන් පවසන්නේ.

මේ දිනවල ගොවීන් එළවළු අස්වනු විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එමින් තිබෙනවා.

ඒ සමග එළවළු තොග මිල ශීඝ්‍ර ලෙස අඩු වී ඇති අතර වෙළෙඳුන් පවසන්නේ මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.

මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ මහා පරිමාණ වගාබිම් සඳහා ප්‍රථම වතාවට ‘ඩ්‍රෝන තාක්ෂණය’ හා ‘නැනෝ තාක්ෂණය’ භාවිතා කරමින් දියර පොහොර සහ කෘමිනාශක ඉසීම ඊයේ (10) ආරම්භ කෙරුණා.

අත්හදා බැලීමක් ලෙස ආරම්භ කළ මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක බවයි ගොවීන් පවසන්නේ ෴


පොලිසියේ උපාධිධාරීන්ට උසස්වීම් නොලැබීමේ අසාධාරණයක්

(11.04.2024 – 14:43 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොස්තාපල් සහ සැරයන් තනතුරුවල උපාධිධාරීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් සිටියද අනෙකුත් රාජ්‍ය ආයතනවල මෙන් උසස් වීම් නොලැබීම නිසා ඔවුන්ට අසාධාරණයක් සිදුව තිබෙනවා.

මෙම පිරිස් පොලිස්පතිවරයාගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් ඉල්ලා සිටින්නේ උපාධිධාරී පොලිස් නිලධාරියෙකු අවම වශයෙන් උප පොලිස් පරීක්ෂක තනතුරෙහි නිලයක සිටිය යුතු බවට ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් සකස් කර උපාධිය ලබා ගත් සියලු නිලධාරීන් එම තනතුරේ පිහිටුවන ලෙසයි.

මෙම උපාධිධාරී කණිෂ්ඨ පොලිස් නිලධාරීන් උපදේශනය, නීති කළමනාකරණය, අපරාධ විද්‍යාව, මානව සම්පත් හා මානව හිමිකම් වැනි විෂයන්ට අදාළව උපාධි සහ පශ්චාත් උපාධි හදාරා තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය තුළ උපදේශන වැනි කටයුතුවලදී පවා බාහිර දේශකයින්ගෙන් එම කටයුතු සිදු කර ගැනීමට විශාල මුදලක් වැය කරන බවයි වාර්තා වන්නේ.

මෑතක සිට උප පොලිස් පරීක්ෂකවරුන් බදවා ගැනීමේදී රජයේ මුදල් වැය කර අවුරුදු 4 ක කාලයක් සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිය හැදෑරීමට අවස්ථාව ද ලබා දී තිබෙනවා.

එමෙන්ම උපපොලිස් පරීක්ෂක තනතුරට ඉහළ ශ්‍රේණිවල නිලධාරීන්ට විශ්වවිද්‍යාල තුළ උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දී ඇත්තේ පාඨමාලා ගාස්තුවෙන් සියයට 60 ක් රජය මගින් ලබා දී රාජකාරියෙන් නිදහස් කර වැටුප්ද ලබා දෙමින්.

අනෙකුත් පෞද්ගලික ආයතන හා රාජ්‍ය ආයතනවල උපාධිධාරියාට නිසි සැලකිල්ලක් දක්වා ඇති අතර ත්‍රිවිධ හමුදාවල උපාධිධාරි භටයෙකු ද අනිවාර්යෙන්ම තනතුරෙහි ගැලපෙන පරිදි කොමිෂන් ලත් නිලධාරියෙකු බවට පත් කර ඇති බව උපාධිධාරී කණිෂ්ඨ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළා.

එසේම ඔවුන් කියා සිටින්නේ පොලිස් ආරක්ෂක සහායකයින් ලෙස බඳවා ගත් පිරිස සුදුසුකම් පරීක්ෂාවකින් තොරව පොලිස් කොස්තාපල් තනතුරට අන්තර් ග්‍රහණය කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් සාමාන්‍ය පෙළ අසමත් බවයි.

මෙවන් පසුබිමක බාධක මධ්‍යයේ උපාධියක් ලබා ගත් තමන්ට උගත්කම සරිලන ක්ෂේත්‍රවල රාජකාරියේ යෙදවීමකින් තොරව පළිගැනීමකට ලක් කර ඇති බවයි උපාධිධාරී කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පෙන්වා දෙන්නේ ෴


මෙරට වනෝද්‍යානවලට ඉහළ විදෙස් සංචාරක ආකර්ෂණයක්

(11.04.2024 – 15:03 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 686,321 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ හයදහස් හතරක් (1,06,004) බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම 2024 වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා ද පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ විදෙස් සංචාරකයින් ලක්ෂ දෙකකට (2) අධික පිරිසක් ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති බවයි.

එමගින් උපයා ඇති ආදායම රුපියල් කෝටි 200 කට අධික වනවා.

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සිදු කරන සමාගම වන ‘ශ්‍රී ලන්කන් ගුවන් සේවය’ නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා හා මගින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණයි.

මේ යටතේ පසුගිය දා මගී පර්යන්ත සහ ගුවන් යානා අතර මගීන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගී බස් රථ තුනක් (3) මිලදී ගැනීමට ‘ශ්‍රී ලන්කන් ගුවන් සේවය’ පියවර ගත්තා.

+


වතුකම්කරුවන් රවටා ATM කාඩ්පත් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(11.04.2024 – 15:51 +0530 – hirunews.lk/sinhala)

හැටන් ප්‍රදේශයේ ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමට පැමිණෙන වතුකම්කරුවන් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත් වංචනිකව ලබාගෙන ඒවායින් මුදල් ලබාගත් පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරු හැටන් ප්‍රදේශයේ වතුකම්කරුවන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලයක් මෙම ජාවාරම කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


අකුණුවලින් ආරක්ෂා වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක්

(11.04.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අකුණු මඟින් ආරක්ෂා වීම සදහා එළිමහනේ හෝ ගස් යට රැදී නොසිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එමෙන්ම කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවලරැදී සිටීමෙන් වැළකිය යුතු වනවා.

රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *