රුපියල් ලක්ෂ 12 කට ආසන්න ගොඩනැගිලි ද්‍රව්‍ය ලබානොදීමට පළිගැනීමක් වශයෙන් පොලිසිය සිදුකළ අත්අඩංගුවට ගැනීම

රුපියල් ලක්ෂ 12 කට ආසන්න ගොඩනැගිලි ද්‍රව්‍ය ලබානොදීමට පළිගැනීමක් වශයෙන් පොලිසිය සිදුකළ අත්අඩංගුවට ගැනීම


රුපියල් ලක්ෂ 12 කට ආසන්න ගොඩනැගිලි ද්‍රව්‍ය ලබානොදීමට පළිගැනීමක් වශයෙන් පොලිසිය සිදුකළ අත්අඩංගුවට ගැනීම

(10.04.2024 – 23:58 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 12 කට ආසන්න ගොඩනැගිලි ද්‍රව්‍ය ලබානොදීමට පළිගැනීමක් වශයෙන් මාතර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් මත තම මව මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කළ බවට තිහගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු චෝදනා කරනවා.

ඔහු පවසන්නේ එම පොලිස් නිලධාරියාගේ උපදෙස් මත පසුගියදා තමන් සහ තම මව අත්අඩංගුවට ගැනීමට තිහගොඩ පොලිසිය පියවර ගත් බවයි.

මාතර තිහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හෝටලයට පසුගිය පළමුවැනිදා (01) තිහගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණා.

එම හෝටලයේ හිමිකරු පැවසුවේ එලෙස පැමිණි පොලිස් නිලධාරීන් ව්‍යාජ ලෙස මත්ද්‍රව්‍ය චෝදනා ගොනුකරමින් තමන් සහ තම මව අත්අඩංගුවට ගත් බවයි.

හෝටලයේ හිමිකරු පැවසුවේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 12 ක පමණ ගොඩනැගිලි ද්‍රව්‍ය ලබානොදීම සම්බන්ධයෙන් තමන්ට මෙම අසත්‍ය චෝදනා ගොනුකර ඇති බවයි.

නීති විරෝධි මත්පැන් චෝදනාව යටතේ තමන් සහ තම මව අත්අඩංගුවට ගත්තද පොලිසිය නඩු පවරා ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට බව ද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිසිය පැවසුවේ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් කාන්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් හෝටලේ හිමිකරු ඇප මත මුදා හැරි බව ද පොලිසිය සඳහන් කළා.

මේ අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කම්පනයට පත් හෝටල් හිමිකරුගේ මිත්තණිය (ආච්චි) ද එදින රාත්‍රියේම මියගොස් තිබෙනවා.

+


පොලිස් පහරදීමකින් තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි වෙලා ?

(10.04.2024 – 21:23 +0530 – sinhala.adaderana.lk)

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා සිය පුතුගේ ‘වෘෂණ කෝෂයක්’ සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව චෝදනා කරයි.

පොලීසිය පවසන්නේ තරුණයාට පහර නොදුන් අතර ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු කළහකාරී ලෙස හැසිරුණු බවය.

අනුරාධපුර, මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු සිය මිතුරෙකු සමග ලොරි රථයකින් මැදවච්චිය නගරය බලා ගොස් තිබුණේ පසුගිය 07 වනදාය.

එම අවස්ථාවේ ලොරිය පිටුපසින් හඹා ආ මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු (2) එම ලොරි රථය නවතා සිය පුතුට හා මිතුරාට පහරදුන් බව තරුණයාගේ මව පවසන්නීය.

ඇය චෝදනා කරන්නේ පහරකෑමෙන් සිදුවූ බරපතළ තුවාල නිසා සිය පුතුගේ ‘වෘෂණ කෝෂයක්’ ද සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවය.

පහරකෑ තරුණයා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔහු පවසන්නේ ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක්ද තමාට සහ මිතුරාට බරපතළ ලෙස පහරදුන් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අප විමසූ විට මැදවච්චිය පොලීසිය සඳහන් කළේ තරුණයින් දෙදෙනා (2) ගමන් ගත් ලොරි රථය නවත්වන ලෙසට අණ කළ ද ඔවුන් අඛණ්ඩව ඉදිරියට ධාවනය කිරීම නිසා හඹාගොස් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවය.

ඔවුන් සන්තකයේ නීතිවිරෝධී මත්පැන් වර්ගයක් තිබී ඒවා එම අවස්ථාවේ රථයෙන් ඉවතට විසිකර ඇති බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා බීමතින් සිට ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද පොලීසිය පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ අදාළ තරුණයාගේ ‘වම් වෘෂණ කෝෂය’ සැත්කමකින් ඉවත් කළ බවය.

++++++++

++++++++

+


රුපියල් කෝටි 6 ක හෙරොයින් සමග පුද්ගලයෙකු දැලේ

(11.04.2024 – 07:27 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාළිගාවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාළිගාවත්ත පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදි සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රැම් 105 ක තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 750,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු වන අතර ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කෙසෙල්වත්ත දිනුකගේ’ ගෝලයෙක් බවට අනාවරණය වී ඇත.

සැකකරු විසින් විදෙස්ගත අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් ලද උපදෙස් මත මත්ද්‍රව්‍ය ඒ ඒ ප්‍රදේශ වෙත ගෙන ගොස් අලෙවිකරන්නන් වෙත ලබා දීම හා මුදල් හුවමාරු කිරීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) මාළිගාකන්ද අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

++++++++++

+


හිදෝගම ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි

(10.04.2024 – 12:57 +0530 – sinhala.adaderana.lk)

රටම කම්පා කරමින් සිදුවූ හිදෝගම පුද්ගල ඝාතනයේ සුලමුල පොලීසියට අනාවරණය වී තිබේ.

පවුල් ආරවුලක් දුරදිගයෑම හේතුවෙන් අදාළ ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනුරාධපුර හිදෝගම දිවුල් වැවේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (09) සොයාගත් අතර එය රෙදි කිහිපයකින් සම්පූර්ණයෙන්ම ඔතා කළුගලක් ගැටගසා වැව දමා තිබියදී හමුවුණි.

ඒ අනුව පොලීසිය සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී තිබුණේ මියගිය පුද්ගලයා 45 හැවිරිදි දංගහකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවය.

තියුණු ආයුධයකින් පහරදී අදාළ ඝාතනය සිදුකර ඇති බවට දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ විය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ 39 හැවිරිදි බිරිඳ හා 24 හැවිරිදි පුත්‍රයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසේදී සිදුවූ ඝාතනයෙන් පසුව මෘත ශරීරය වැව දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථයද පොලීසිය සොයාගෙන තිබුණි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පසුගිය 08 වනදා උදෑසන 9 ට පමණ මව සහ පියා අතර ඇති වූ ගැටුමකට පුත්‍රයාද මැදිහත් වී සිදුකළ පහරදීමකින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවය.

අනතුරුව එදිනම සවස් කාලයේදී මෘත දේහය වැවට ගෙනැවිත් දැමූ බවද ඔවුන් පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් නොවෙයි – ඩලස් කියයි

(11.04.2024 – lankaleader.com)

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පැවැසීය.

අලහප්පෙරුම මහතා මෙසේ පැවැසූවේ අද (10) ‘නිදහස’ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා :

“නව වසර උදාවී දින 90 කින් නිශ්චිත වශයෙන් පනතට අනුව ජනාධිපතිවරණය නිවේදනය කළ යුතුයි. දින 114 කින් නාම යෝජනා කැදවීමට සිදුවෙනවා. නව අවුරුදු උදාවී දින 176 කින් පමණ 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි.

මා මෙරට පුරවැසියන්ගෙන් සහ පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට විකුණන න්‍යාය පත්‍ර ගැන දෙසැරයක් හිතන ලෙසයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඒකාධිපතිත්වයට අතවැනීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් දා ඔහුගේ නිවෙස ඉදිරිපිට බැනරයක් ප්‍රදර්ශනය කරමින් පවසා සිටියා.

මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. මත යැපෙන ආණ්ඩුවක්. එම න්‍යාය පත්‍රයට එරෙහිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලුම බල කදවුරුවලට අප හා එක්වන ලෙස මා ආරාධනා කරනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *