කෙහෙළියට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක්

කෙහෙළියට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක්


කෙහෙළියට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක්

(10.04.2024 – 16:21 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ලබා දී ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනු කළ මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් ඉදිරියේ ඊයේ (09) සලකා බැලුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

තමා අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නා.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ සිදු කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළා.

තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මගහැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කියා සිටියා.

එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු ඩී.එන්. සමරකෝන්, “ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසුවා.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා : “ස්වාමීනි… මා කිසිම අවස්ථාවක ඔබතුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඬපැවැත්විය යුතුයි.”

බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරියෙකු ඉදිරිපිට වුවත් මෙම නඩුවට අදාළ දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එතුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක් සිදු කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවට ද චෝදනා කළා.

ඒ අනුව නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලීසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් ඔහු කියා සිටියා.

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල්වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ මෙම රිට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය මේ මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

++++++++++

සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(10.04.2024 – 16:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහු විසින් ගොනු කර තිබූ පෙත්සම අද (10) සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම 11 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගයිම් කමිටු සාමාජික වෛද්‍ය තුසිත සුදර්ශන ද අධිකරණය හමුවට ඉරිපත් කළ අතර ඔවුන් දෙදෙනාම ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴


ගමට යන ජනතාවගෙන් කොළඹ පිරෙයි

(10.04.2024 – 20:46 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලු‍ත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යාමට පැමිණි ජනතාව හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක බස් නැවතුම්පොළ හා දුම්රිය ස්ථාන මේ වන විට කාර්ය බහුලවී තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සදහා විශේෂ ප්‍රවාහන සැලසුමක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

සාමාන්‍ය කාලසටහනට අතිරේකව අමතර බස් රථ ගමන් වාර 700 ක් සහ අමතර දුම්රිය ගමන් වාර 12 ක් එම ප්‍රවාහන සැලසුමට ඇතුළත්.

ඒ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබූණා.

සියලු අධිවේගී මර්ගවල අතිරේක බස් රථ ගමන් වාර 150 ක් ක්‍රියාත්මක කරන බවයි ඊට එක් වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන කියා සිටියේ.

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (10) පස්වරුවේ සිට ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමන්‍යාධිකාරි එම්.ජේ. ඉදිපොළගේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සදහන් කළා.

මේ එහිදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අලුත් අවුරුදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් පැහැදිලි කළ එහි සභාපති ලලිත් අල්විස් කියා සිටියේ ප්‍රමාණවත් පරිදි බස් රථ යොදා ඇති බවයි.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉල්ලම් කරන පරිදි දුරගමන් සේවා සහ සාමාන්‍ය සේවා සදහා අවශ්‍ය බස් රථ ලබා දීමට සූදානම් බව ‘ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළා.

කෙසේ වෙතත් ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවන බව කොළඹ නගරයෙන් අද (10) පස්වරුවේ ගම්බිම් බලා පිටත් වීමට සිටි ජනතාව සදහන් කළා.

මේ අතර මෙවර උත්සව සමයේ රතිඤ්ඤා අලෙවිය ද පහළ වැටී ඇති අතර ඒවායේ මිල ගණන් ද පහල ගොස් ඇති බව රතිඤ්ඤා අලෙවිකරුවන් පවසනවා.

වළං අලෙවිකරුවන් ද පවසන්නේ මෙවර වෙළෙඳාමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ෴


මහනුවර කුණු කෑම අල්ලපු හැටි|උත්සව කාලෙට ලාබෙට එන කෑම ජාති පිරිලා (10.04.2024)

+


ඩොලර් එක ඇයි මෙච්චර පහළ යන්නේ? | ඩොලර් එක අඩුවීමත් ආණ්ඩුවේ ගේමක් | ඇඟහිරිවැටෙන හෙළිදරව්වක් මංජුගෙන් (10.04.2024)

+


නුවරඑළියේ ගොවියෝ පිම්මක් පනී | අකුල් හෙලලා ලොක්කෝ මග හැරියා | කොල්ලෝ එකතුවෙලා වැඩේ ගොඩ දාලා පෙන්නුවා (10.04.2024)

+


හෙරොයින් එක්ක මාට්ටු වුණු ස්කෝලේ ටීචර් ; මවත් වැඩේට හවුල් වෙලා

+


මන්ත්‍රීලා‍ පවුල්වලටත් ඉල්ලන දේ

(11.04.2024 – 06:43 +0530 – hirunews.lk/sinhala)

මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රක්ෂණ රැකවරණ මෙතෙක් ලැබෙනුයේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව හිමි වන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි (10,00,000). යම් කිසි මුදලක් තමන්ගේ වැටුප්වලින් හෝ කපාගෙන පවුලේ සාමාජිකයන්ට ද රක්ෂණ ආවරණය දෙන්නැයි ඔවුන් මෙසේ ඉල්ලා ඇති බවයි වාර්තා වනවා.

‘පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ’ රැස්වීමක් ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පවසා ඇති

‘පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ’ රැස්වීමක් මාස ගණනාවකින් පවත්වා නැතැයි ද වාර්තාවේ ෴


උඩරටින් වාර්තා වෙන ‘කෝටිපති පොල් කඩන්නා’ මේක නම් පුදුම වාසනාවක්

(11.04.2024 – 07:22 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි හයක (6,00,00,000) ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක (20,00,000) ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මීට වසර එක හමාරකට (1½) පමණ ඉහතදී රුපියල් කෝටි හයක (6) ලොතරැයි ජයග්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුලියට පොල් කැඩීම දිගටම කරගෙන ගිය බවයි ප්‍රදේශවාසින් සඳහන් කළේ.

මෙම ජයග්‍රාහී ලොතරැයි පත් දෙකම (2) කුලියට පොල් කඩන පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙන්.

ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටය.

වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයකු වන මොහු මීට පෙර රුපියල් කෝටි හයක (6) මුදලක් ජයග්‍රහණය කළත් සුපුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවෙසක්වත් ඉදිකරගෙන නොමැති බවත් වාර්තා වනවා ෴


රට පනින්න ගිය තරුණයා ගුවන්තොටේ දී අත්අඩංගුවට

(10.04.2024 – 13:41 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්‍රියාත්මක වෙමින් පවතී.

එම නිසා අදාළ පුද්ගලයා සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සකස් කර තිබිණි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි යාපනයේ, සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා අද (10) අලුයම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි.

මගී නිශ්කාශන කටයුතු නිමවා අසුන්ගෙන සිටිය දී ඔහු පිළිබඳව නිලධාරීන්ට ඇති වූ සැකය මත මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත.

එම පුද්ගලයා 2012 වසරේ දී බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට පළා යෑමට උත්සාහ කර අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයාව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *