නිදහස් පක්ෂයේ තනතුරු අර්බුදය ගැන මැතිවරණ කොමිෂන් සභාවත් සාකච්ඡාවක

නිදහස් පක්ෂයේ තනතුරු අර්බුදය ගැන මැතිවරණ කොමිෂන් සභාවත් සාකච්ඡාවක


නිදහස් පක්ෂයේ තනතුරු අර්බුදය ගැන මැතිවරණ කොමිෂන් සභාවත් සාකච්ඡාවක

(10.04.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දේශපාලන වශයෙන් මතුව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ ඒ අනුව ලබන 18 වැනිදා කොමිසම රැස්වන අවස්ථාවේ ඒ පිළිබඳව සාකච්ඡා කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එය මුල් කරගනිමින් පක්ෂයේ සාමාජිකයින් පාර්ශ්ව කිහිපයකට බෙදී සිටිනවා.

පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කරගෙන ඇතත් ඊට ද එල්ල වී ඇත්තේ විරෝධයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දේශපාලන වශයෙන් මතුව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ එවැනි පසුබිමකයි.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ ඒ අනුව ලබන 18 වැනිදා කොමිසම රැස්වන අවස්ථාවේ ඒ පිළිබඳව සාකච්ඡා කරන බවයි.

එම පක්ෂයේ නව තනතුරු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇති බවත්, පක්ෂ ව්‍යවස්ථාව අනුව අදාළ සංශෝධන කළ හැකිද යන්න පිළිබඳව කොමිසමේ නිලධාරීන් පරික්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන බවත් සභාපතිවරයා පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

++++++++++

මෛත්‍රීගේ රට යෑම ගැන සැකයක්

(10.04.2024 – 14:43 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

ඒ ඉකුත් දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (10) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහි දී ඔහු සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක මෙලෙස ඔහු විදෙස් ගත වීම ගැටලුවක් බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තායිලන්තයේ සංචාරයක් සඳහා තවත් 09 දෙනෙකු සමග ඊයේ (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා ෴


12 වැනිදාත් තැපෑල වැඩ

(10.04.2024 – 09:34 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත්, එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා

ඔහු සඳහන් කරන්නේ, අලුත් අවුරුදු සමයට අදාලව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩි ම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, “ඉතිහාසයේ වැඩි ම භාණ්ඩ ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු වසර, මේ වසර යි. විදෙස් රටවල ඉන්න පිරිස් අපේ රටේ ඥාතීන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් පාර්සල් ලෙස එවලා. අපේ වගකීම ඒ භාණ්ඩ නිසි වෙලාවට ඒ අදාළ තැනට යොමු කිරීම. අපිට විශාල ප්‍රශ්නයක් වුණා අවුරුදු කාලේ එන දීර්ඝ නිවාඩු. ඒ අනුව තැපැල්පතිතුමාගේ උපදෙස් මත සියලුදෙනා තීරණය කරලා තියෙනවා 12 වෙනිදාත් සේවයට වාර්තා කරන්න.” යනුවෙන් ෴


පළමු (1) පාසල් වාරයේ පළමු (1) අදියර අදින් (10) අවසන්

(10.04.2024 – 10:31 +0530 – hirunews.lk/sinhala)

මෙම වර්ෂයේ (2024) පළමු (1) පාසල් වාරයේ පළමු (1) අදියර අදින් (10) අවසන් වනවා.

ඒ අනුව පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර මේ මස 24 වැනි දා යළි ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ අතර මුස්ලීම් පාසල්වල පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර මේ මස 17 වැනි දා ආරම්භ වන බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා ෴


යතුරුපැදි අනතුරින් තරුණයින් දෙදෙනෙක් (2) මරුට

(10.04.2024 – 11:42 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් මුල්ලියාවලෙයි මාමුලෙයි ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු (2) ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එක් (1) තරුණයෙකු අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් සිටි අතර අනෙක් (1) තරුණයා රෝහල් ගත කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17 සහ 18 වන වියේ පසුවන තරුණයින් දෙදෙනෙක් (2).

අධික වේගයෙන් පැමිණි මෙම යතුරු පැදි දෙක (2) මාමුලෙයි විෂ්ණු කෝවිල අසලදී එකිනෙක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ මෙම තරුණයින් දෙදෙනාට (2) රියදුරු බලපත්‍ර පවා නොමැති බවයි ෴


මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

(10.04.2024 – 15:26 +0530 – hirunews.lk/sinhala)

2024 ඡන්දහිමි නාමලේඛනය, එයින් ඉවත් කිරීමට යෝජිත නම් ලැයිස්තුව හා ඊට අලුතින් එකතු කිරීමට නියමිත නම් ලැයිස්තු පිළිබඳ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල / මැතිවරණ කාර්යාල, සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සියළුම පළාත් පාලන ආයතන හා සියළුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ඒ සම්බන්ධ ලැයිස්තුව ප්‍රදර්ශනය කරන බවයි එම නිවේදනයේ වාර්තා වන්නේ.

අදාළ ලේඛනය පරීක්ෂා කර බලා තමාගේ නම 2024 වර්ෂයට ලියාපදිංචියට නිර්දේශ වී නොමැති නම් ඒ සඳහා වූ හිමිකම් ඉල්ලීමක් සිදු කළ හැකි බවද සඳහන්.

එමෙන්ම ලියාපදිංචියට සුදුසුකම් නොලබන අයෙකුගේ නම ලියාපදිංචියට නිර්දේශ වී ඇත්නම්, ඊට එරෙහිව විරෝධතාවක් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.

ඊට අදාළ ආකෘති ඉහත නාමලේඛන ප්‍රදර්ශනය කරන ස්ථාන වෙතින් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන්
https://www.elections.gov.lk/ ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටින්නේ ෴


ජාතික ජන බලවේගය විවාදයෙන් පලායනවා – නලින් බණ්ඩාර

(10.04.2024 – 15:34 +0530 – hirunews.lk/sinhala)

සිය පක්ෂය සමග විවාද නොකර ඉන් පලායාමට ජාතික ජන බලවේගය උත්සාහ දරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

මෙම විවාදයේ සම්බන්ධීකරණ කටයුතු විපක්ෂ නායකවරයා විසින් ඔහු වෙත පවරා ඇති අතර විපක්ෂ නායක කාර්යාලයේදී අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු විවාදය පිළිබඳව අදහස් පළ කළා.

+


සංචාරක වීසා මත ව්‍යාපාර කිරීමේ ගැටලුව කෝපා කමිටුවට

(10.04.2024 – 16:08 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා අවසන් වීමෙන් පසුවත් රුසියානු සහ යුක්රේන ජාතිකයින් දකුණු ප්‍රදේශයේ ව්‍යාපාරවල නිරත වීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අවධානයට යොමුව තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ තීරණය කෙරුණේ එම විදෙස් ජාතිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනතාවගේ සහය ලබාගැනීමටයි.

+


කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් සදහා ජපානයෙන් ප්‍රධානයක්

(10.04.2024 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී ඇතිවිය හැකි වසංගත සහ බෝ නොවන රෝග නිශ්චය කිරීම සදහා අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් කටුනායක ගුවන්තොටුපොලේ සහ කොළඹ වරායේ සවි කිරීමට ජපන් රජයේ ආධාර හිමි වී තිබෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 8.04 ක වටිනාකමකින් යුත් එම උපකරණ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකා විසින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත අද (10) භාර දෙනු ලැබුවා.

රෝග නිශ්චය කරනු ලබන ස්කෑන් යන්ත්‍රවලට අමතරව ගමන් මලු ස්කෑන් යන්ත්‍ර සහ ජෛව මිතික ප්‍රව්ශ පාලන පද්ධතියක්ද ඊට ඇතුළත් ෴


විරෝධතා මැඩලීමේ දී පොලිසිය ප්‍රචණ්ඩ වෙලා : ඇමෙන්ස්ටි ඉන්ටර්නැෂනල් කියයි

(10.04.2024 – 17:52 +0530 – hirunews.lk/sinhala)

විරෝධතා මර්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරින් පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගකිව යුතු බව ‘ඇමෙන්ස්ටි ඉන්ටර්නැෂනල්’ ආයතනය සිය නවතම වාර්තාවෙන් අනාවරණය කරනවා.

‘ඕනෑ ම විරෝධතාවක් මැඩපැවැත්වීමට සූදානම් ශ්‍රී ලංකාව’ මැයෙන් ඊයේ (09) ‘ඇමෙන්ස්ටි ඉන්ටර්නැෂනල්’ විසින් නිකුත් කරන ලද වාර්තාවේ දී 2022 මාර්තු සහ 2023 ජූනි අතර ශ්‍රී ලංකාවේ සිදු වූ විරෝධතා 30 කට අදාළ පොලිස් මෙහෙයුම්වල දී නීති විරෝධී ආයුධ භාවිතය යටතේ ගැනෙන බලය යෙදවීම විශ්ලේෂණය කර තිබෙනවා.

ඒ අනුව එම වාර්තාව සඳහන් කරන්නේ, මෙරට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් විසින් නීතිවිරෝධී ලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සහ බැටන් පොලු අවභාවිත කිරීම්, අවම වශයෙන් විරෝධතා 17 ක් වීඩියෝ සාක්ෂි සහිතව හඳුනාගෙන තිබෙන බවයි.

“ආරම්භයේ සිට ම, ශ්‍රී ලංකා පොලිසිය 2022-23 විරෝධතා වෙත ප්‍රවේශ වූයේ ඒවා නීති විරෝධී සහ ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත් ඒවා මර්දනය කිරීමට බලය යෙදවිය යුතු බවත් උපකල්පනය කරමින්. සාමකාමීව විරෝධතා දැක්වීමට ජනතාවට අයිතියක් ඇති බවත්, විරෝධතා සඳහා පහසුකම් සැලසීමට සහ ආරක්ෂා කිරීමට බලධාරීන්ට යුතුකමක් ඇති බවත් හඳුනා ගැනීමට පොලිසිය අසමත් වී තිබෙනවා. ඒ වෙනුවට, ඔවුන් බොහෝ දුරට සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර, ලුහුබැඳ ගොස් පහර දී තිබෙනවා” යනුවෙන් එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ සිය වාර්තාව සැකසීමේ දී කොළඹ, බත්තරමුල්ල, කැලණිය, යාපනය සහ ගාල්ල යන ප්‍රදේශවල පැවති විරෝධතා 30 ක සමාජ මාධ්‍යවල සංසරණය වූ සත්‍යාපිත වීඩියෝ 95 ක් පිළිබඳ සම්මුඛ පරීක්ෂණ 39 ක් සහ විවෘත මූලාශ්‍ර විමර්ශනයක් සිදු කර තිබෙන බවයි පවසන්නේ.

මේ අතර ඉකුත් මාර්තු මාසයේ දී ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ ආයතනය ශ්‍රී ලංකා පොලිසියට ලිපියක් යවමින් මෙම වාර්තාවේ ඇති චෝදනා ගෙනහැර දක්වමින් නිල ප්‍රතිචාරයක් ඉල්ලා සිටිය ද ප්‍රකාශනය නිකුත්කරන අවස්ථාව වනවිටත් ඊට පිළිතුරක් ලැබී නොතිබුණු බව‍යි එම ආයතනය සඳහන් කරන්නේ ෴


අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

(10.04.2024 – 18:16 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කර තිබෙනවා.

ඒ අලුත් අවුරුදු චාරිත්‍රයක්වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 15 වැනි දිනට යෙදී ඇති බැවින්.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් මේ බව නිවේදනයක් මඟින් දැනුම් දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *