මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට

මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට


මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට

(09.04.2024 – 12:36 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6 ක් දක්වාත්, ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩි කර තිබෙනවා.

මේ අතර මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා වන ඇප තැන්පතුව රුපියල් 11,000 ක් ලෙසත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000 දක්වාත් වැඩි කර තිබෙනවා.

තව ද පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙක් සඳහා ඇප තැන්පතුව රුපියල් 6,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 11,000 ක් වන ලෙස එම ඇප තැන්පතු ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ ෴


උත්සව සමයේ ආරක්ෂක අවදානමක් ගැන පොලිස්පති අවධානය ඉල්ලයි

(09.04.2024 – 12:40 +0530 – hirunews.lk/sinhala)

අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර ලෝකයේ ඕනෑම තැනක ඕනැම අවස්ථාවක සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

එබැවින් ප්‍රභූ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් ගැන අවධානයෙන් පසු විය යුතු බවයි පොලිස්පතිවරයා ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ පැවති උත්සවයක් අමතමින් සඳහන් කළේ.

එහි දී පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“අන්තවාදී සහ ත්‍රස්ත ප්‍රහාර විවිධ මුහුණුවරින් ලෝකයේ සිදුවෙනවා. බලාපොරොත්තු නොවන අවස්ථාවල දී ලෝකය පුරා සිදුවෙනවා. ඒක තමයි අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා කියන්නේ.

මේ වගේ ප්‍රහාර අපිට ‘පස්සේ අමතක වෙනවා’ කියලා කතාවක් තියෙනවා. ලෝක ස්වභාවයත් ඒකයි. මිනිස්සුන්ට ඒක අමතක වෙනවා. ආරක්ෂාව ගැන සැලකිල්ල මදි කියලා සමහරක් වෙලාවට අපිට හිතෙනවා.

දේශපාලන, ආගමික, සංස්කෘතික දේවල්වලට පහර දීලා මිනිස්සු කුපිත කරන්න හදන අය ඉන්නවා.

ලෝකය තුළ සිදුවෙන දේවල් ලංකාව තුළත් සිදුවීම බැහැර කරන්න බෑ.” යනුවෙන්.

මේ අතර, උත්සව සමයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ, රාමසාන් උත්සවය සහ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය එක ළඟ පැවැත්වෙන බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

“ආරක්ෂාව ක්ෂණයකින් බිඳ වැටෙන්න පුළුවන්” යනුවෙන් සඳහන් කළ පොලිස්පතිවරයා වැඩි දුරටත් මෙහි දී පැවසුවේ, “පාස්කු ප්‍රහාරය වගේ නොවුනත් වෙනත් පොඩි දේවල් වෙන්න පුළුවන්” යනුවෙන් ෴


ඉංග්‍රීසි ගුරුවරු 2,500 ක් බඳවා ගන්න අනුමැතිය

(09.04.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

නව ඉංග්‍රීසි ගුරුවරුන් 2500 ක් සේවයට බඳවා ගැනීමට සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් 6500 කගේ අවශ්‍යතාවක් පවතින බවත්, දැනට ගුරුවරුන් 4,441 දෙනෙකු ඒ සඳහා අනුමතව ඇති බවයි.

මේ අතර දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් කරන පාසල් සංඛ්‍යාව 765 ක ප්‍රමාණය මේ වසර තුළ දී 1000 දක්වා වර්ධනය වර්ධනය කිරීමටත්, ඒවායෙහි ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය ගුරුවරුන් ගණන 6500 දක්වා වැඩි කිරීමටත් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව නව ඉංග්‍රීසි ගුරුවරුන් 2500 ක් සේවයට බඳවා ගැනීමට ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා ෴


සිදුවීමට ගිය බිහිසුණු අනතුරක් වළක්වා ගනිමින් ජීවිත 50 ක් බේරූ රියැදුරු

(09.04.2024 – 14:39 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු (3), මගින් පස්දෙනෙකු (5) සහ බස් රථයේ රියදුරා (1) තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (09) දින උදැසන 06:45 ට පමණ නාවලපිටිය දොලොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය දෙකේ කණුව ප්‍රදේශයේදිය.

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබු අවස්ථාවේ බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමගම බස් රථය රියදුරු පාලනයෙන් මිදී ඇති අතර, බස් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගයේ එක්පසක තිබෙන කන්දක ගැටිමට සලස්සවා බස් රථය නතර කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

බස් රථය අනතුරට පත් වු ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මිටර් 300 ක පමණ අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරලිම වලක්වා ගනිමින්, සිදුවිමට ගිය විශාල අනතුරක් වලක්වාගෙන ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගින් පනස් දෙනෙකු (50) පමණ ගමන් කර ඇති බවත්, එම බස් රථය පාසල් ළමුන් ප්‍රවාහනය කිරිම සදහා ධාවනයට එක් කර ඇති බස් රථයක් බවත්, බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබියදි නාවලපිටිය ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරින් එම බස් රථය යළිත් ‘අලුත්වැඩියා කර’ ධාවනයට එක් කර ඇති බස් රථයක් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට ආහාර ගබඩා වටලයි

(09.04.2024 – 14:54 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩා කර ඇති බවට ලද පැමිණිලිවලට අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි පෞද්ගලික ගබඩා රැසක් ඊයේ (08) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරික්ෂාවට ලක් කළා.

එහිදී උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු තොගයක් සහ නිෂ්පාදිත ආයතනය හා කල් ඉකුත්වීමේ දින සටහන් නොකළ තවත් භාණ්ඩ තොගයක් අදාළ ගබඩාවල තිබී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබෙනවා.

එසේම ගබඩාවල සේවකයන් ඉතා අපිරිසිදු ආකාරයෙන් කටයුතු කරන බවට ජනතාවගෙන් පැමිණිලි ද ලැබී තිබුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ වැටලීමේදී ගබඩා හිමිකරුවන් සහ ඊට එක් වූ නිලධාරීන් අතර, එහිදී සංවාදාත්මක තත්ත්වයක් ඇති වූ බවයි ෴


අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා හඳුන්වා දෙනු ලැබූ ඇස්තමේන්තු මිල පරාසයන්

(09.04.2024 – 15:17 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අනුව මෙම සතියට අදාළ මිල පරාසයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තිරිඟු පිටි, පරිප්පු, අර්තාපල්, බී ලූණු, රතු ලූණු, වියළි හාල්මැස්සන්, වියළි මිරිස් සඳහා මෙම මිල පරාසය පනවා ඇති අතර එම මිල ප්‍රමාණයන් පහතින් :


පළමු (1) පාසල් වාරයේ පළමුවන (1) අදියර හෙටින් (10) අවසන්

(09.04.2024 – 16:12 +0530 – hirunews.lk/sinhala)

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු (1) පාසල් වාරයේ පළමුවන (1) අදියර 2024.04.10 වන බදාදා දින අවසන් වන අතර පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර 2024.04.24 වන බදාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මුස්ලිම් පාසල් සඳහා පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර 2024.04.17 වන බදාදා දින ආරම්භ වන බවයි ෴


කෙහෙළිය ගොනු කළ පෙත්සමට නොතීසි නිකුත් කිරීම ගැන තීරණය ලබන 30 වනදා

(09.04.2024 – 16:41 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන්න පිළිබඳ තීරණය ලබන 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (09) ප්‍රකාශ කළා.

ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් ඉදිරියේ අද (09) සළකා බැලූ අවස්ථාවේදියි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා ෴


ප්‍රංශ තරුණයාට මායම් දාලා සේසතට විද්ද ශ්‍රී ලාංකික තරුණිය

(09.04.2024 – 17:32 +0530 – hirunews.lk/sinhala)

ප්‍රංශ ජාතික තරුණයෙකු සමග විවාහ ගිවිසගෙන ඔහුගෙන් රත්තරන් පවුම් 42 ක් හා මුදලින් රුපියල් ලක්ෂ 60 ක් ත්‍යාග ලබාගත් කිළිනොච්චියේ තරුණියක් ප්‍රංශ ජාතිකයා කිළිනොච්චියට පැමිණෙන විට අතුරුදහන් වීමේ සිද්ධියක් කිළිනොචිච් පොලිසියෙන් වාර්තාවනවා.

මේ දෙදෙනා යාපනයේ පැවති විවාහ මංගල උත්සවකදී එකිනෙකා දැන හඳුනාගෙන ඇති අතර තරුණිය ප්‍රංශ ජාතික තරුණයාට ප්‍රකාශ කොට ඇත්තේ තම දෙමව්පියන් යුද්ධයෙන් මියයාමෙන් පසුව වැඩිමහල් සහෝදරිය ළඟ ජීවත්වන බවයි.

දෙදෙනාගේ ඇඳුණුම්කම විවාහ ගිවිස ගැනීමක් දක්වා වර්ධනය වී ඇති අතර වසර එකහමාරක (1½) කලයක් ඇතුළත ප්‍රංශ ජාතික තරුණයා විසින් කිළිනොච්චියේ තරුණියට මුදල්, ස්වර්ණාභරණ හා ත්‍යාග එවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙම තරුණයා කිළිනොච්චියට පැමිණෙනවිට තරුණිය අතුරුදහන් වී තිබෙනවා ෴


අලුත් අවුරුද්දට සිරකරුවන් 779 දෙනෙකුට ‘ජනපති සමාව’

(09.04.2024 – 18:07 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව සිරකරුවන් 779 දෙනෙකුට ‘ජනාධිපති සමාව’ ප්‍රදානය කර තිබෙනවා ෴


ඕනෑම අවස්ථාවක විවාදයකට සූදානම් – විපක්ෂ නායක

(09.04.2024 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගය සමග ඕනෑම අවස්ථාවක විවාදයකට තමන් සහ තම ආර්ථික කමිටුව සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 148 වැනි අදියර යටතේ පුත්තලම ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ අතර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය අතර විවාදයක් සිදුවන්නේ නම් එහි සම්බන්ධීකරණ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තමා වෙත පවරා ඇති බවයි.

රටෙහි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට සමගි ජනබලවේගය කළ ආරාධනය පිළි නොගනිමින් විවාදය වෙනත් දිසාවකට යොමු කිරීමට ජාතික ජනබලවේගය දරණ ප්‍රයත්නය දැඩිව හෙළා දකින බවද අදාළ නිවේදනයේ සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *