පොලිස් වෙඩි පහරින් මියගිය ගුවන් හමුදා සෙබළා ගැන ඥාතීන්ගෙන් අනාවරණයක්

පොලිස් වෙඩි පහරින් මියගිය ගුවන් හමුදා සෙබළා ගැන ඥාතීන්ගෙන් අනාවරණයක්


පොලිස් වෙඩි පහරින් මියගිය ගුවන් හමුදා සෙබළා ගැන ඥාතීන්ගෙන් අනාවරණයක්

(08.04.2024 – 21:32 +0530 – hirunews.lk/sinhala)

මාලොස්ඇළ ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන සැකකරු දැනට ඩුබායිහි සැඟව සිටින ‘හෝමාගම හඳයා’ නැමැත්තාගේ ඝාතන සදහා දීර්ඝ කලක සිට වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය පාදුක්ක – අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා සිදුකළ රථ වාහන පරීක්ෂාවකදී පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් පසු පොලිසියද වෙඩිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එම වෙඩි හුවමාරුවේදී මියගොස් තිබුණේ, දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්.

හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට (2) මොටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි වෙඩි තැබීමක් සිදු කර තිබුණේ ඊයේ (07) දහවල් කාලයේදීයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ එම පුද්ගලයින් දෙදෙනොම (2) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර පොලිසිය වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුද හඳුනා ගත්තා.

ඒ අනුව එම වෙඩි තැබීම ඩුබායිහි සැඟව සිටින ‘ජයකොඩිගේ තනුජ සම්පත්’ හෙවත් ‘හෝමාගම හඳයා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරු මත එම වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා සොයා ඊයේ (07) දිනයේම පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර සැකකරුගේ පාදුක්ක – මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කළත් ඔහු එම නිවසේ සිට නැහැ.

අනතුරුව පොලිසිය සැකකරු සොයා අංගමුව මංසන්ධියේ තාවකාලික මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ නිරත වී තිබෙනවා.

සැකකරු යතුරු පැදියකින් එම ස්ථානයෙන් ගමන් කර ඇත්තේ ඒ අතරතුරයි.

පොලිසිය යතුරු පැදිය නවත්වන ලෙස සංඥා කලත් ඔහු එම අන නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.

අනතුරුව පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී වෙඩි වැදුණු සැකකරු බරපතල තත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, මිරියගල්ල, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ‘රාජපක්ෂ පතිරගේ දිලන්ක ලක්මාල් රාජපක්ෂ’ නැමැති 33 හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක් බව පොලිසිය පසුව ප්‍රකාශ කළා.

ඔහු ගුවන් හමුදා රගර් කණ්ඩායමේද සාමාජිකයෙක් වන අතර මේ ඔහු 2019 සහ 2020 වර්ෂවල පැවැති රග්බි ලීග් තරඟාවලියේ ද ක්‍රීඩා කර තිබෙනවා.

විදේශගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජයකොඩිගේ තනුජ සම්පත්’ නොහොත් ‘හෝමාගම ‍හඳයා’‍ නමැත්තාගේ වෙඩික්කරු ලෙස සැකකරු කටයුතු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරු ගුවන් හමුදාවේ සක්‍රිය සේවයේ යෙදී සිටින අතරතුරයි මෙම ඝාතන සිදු කර ඇත්තේ.

මේ අතර ගුවන් හමුදාව නිවේදනය කළේ, මෙම කෝප්‍රල්වරයා ගුවන් හමුදාවේ සේවයට එක්ව ඇත්තේ 2009 වසරේ බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ශල් උදේනි රාජපක්ෂගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අදාළ නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත් පොලිස් වෙඩි පහරින් මිය ගිය ගුවන් හමුදා කෝප්‍රල්වරයාගේ ඥාතියෙකු පළ කළේ හොරණ වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී අදාළ තරුණයා පෙම්වතිය සමග සිට ඇති බවයි.

++++++++

මියගිය ගුවන් හමුදා නිලධාරියා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්

(08.04.2024 – 21:54 +0530 – sinhala.adaderana.lk)

පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය ගුවන් හමුදා කෝප්‍රල්වරයා ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

හොරණ මාලොස්ඇල ප්‍රදේශයේදී ඊයේ (07) සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන මෙම ගුවන් හමුදා කෝප්‍රල්වවරයා අද (08) අලුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගොස් තිබුණි.

පොලීසිය සඳහන් කළේ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ නිරතව සිටි බවය.

++++++++++

+


අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

(08.04.2024 – 21:02 +0530 – hirunews.lk/sinhala)

2021 හා 2022 වර්ෂයන්ට අදාළව උසස් පෙළ විභාගයේ ප්‍රතිපල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම සදහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

මේ අනුව අනිද්දා (10) දිනය දක්වා අයදුම් කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කළේ.

එමෙන්ම අප්‍රේල් මස 05 වනදා සිට 10 වනදා දක්වා අයදුම්පත් යොමු කරන අයදුම්කරුවන්ට එවායේ සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම් ලබන 11 දා සිට 17 වනදා ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ සදහන් කළා ෴


මාර්තු මාසයේ 6000 ක ශිෂ්‍යත්වය හිමිවන දරුවන් ගැන දැනුම්දීමක්

(08.04.2024 – 21:35 +0530 – sinhala.adaderana.lk)

2022 / 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා සහිත සිසුන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ කටයුතු අවසන් කර තිබේ.

ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාසවල ගෙවිය යුතු හිඟ මුදල් ද සහිතව මැයි මාසයේ සිට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදල දැනුම් දී ඇත.

මේ වසරේ (2024) මාර්තු මාසයේ සිට තෝරාගත් සෑම ශිෂ්‍යත්ව ලාභියෙකුටම මාස 24 ක් පුරා රුපියල් 6000 ක මුදලක් බැගින් මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමට නියමිතය.

තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන
https://www.presidentsfund.gov.lk/ හි ප්‍රදර්ශනය කිරීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය ෴


‘හරක්කටා’ පහසුකම් රැසක් ඉල්ලයි – පැමිණිල්ලේ ප්‍රතිචාරය

(08.04.2024 – 13:11 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ නමැති විත්තිකරුට පහසුකම් කීපයක් සලසාදීමට පැමිණිල්ල අද (08) කොළඹ මහාධිකරණය හමුවේ එකඟ වුණි.

‘හරක්කටා’ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම් කළේය.

අත්අඩංගුවේ පසුවන තමන්ට නීතිඥවරු හමුවීම සඳහා මේ වනවිට ලබාදෙන විනාඩි 15 ක කාලය පැයක් (1) දක්වා දීර්ඝ කරන නියෝගයක් නිකුත් කරන මෙන් ‘හරක්කටා’ සිය මෝසමෙන් ඉල්ලා තිබුණි.

එහෙත් නීතිඥවරුන් හමුවීම සඳහා ලබා දෙන කාලය පැය භාගයක් (½) දක්වා දීර්ඝ කළ හැකි බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

විත්තිකරුගේ ආරක්ෂාව සඳහා සීසීටීවී කැමරා පද්ධතියක් ඔහු රඳවා සිටින ස්ථානයේ ක්‍රියාත්මක වන්නේදැයි වාර්තාවක් කැඳවන ලෙසද එම මෝසමින් ඉල්ලීමක් කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු රඳවා සිටින ස්ථානයේ එවැනි කැමරා පද්ධතියක් නොමැති අතර ඔහුගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ නාවික හමුදාවේ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බවත් පැවසීය.

ඊට අමතරව පියා ඇතුළු ඥාතීන් හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15 ක කාලය පැයක් (1) දක්වා දීර්ඝ කරන ලෙසත් ‘හරක්කටා’ සිය මෝසමින් ඉල්ලා තිබුණි.

ඒ අනුව ඥාතීන් හමුවීම සඳහා ලබා දෙන කාලය පැය භාගයක් (½) දක්වා දීර්ඝ කළ හැකි බව ද රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඊට අමතරව විදේශයක සිටින තම දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබාදෙන ලෙසද ‘හරක්කටා’ සිය මෝසමෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශ රඳවුම් භාරයේ පසුවන පුද්ගලයකුට මෙවැනි පහසුකමක් ලබාදීම අපහසු බවයි.

එසේම විත්තිකරුව තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසත් අදාළ මෝසමෙන් තවත් ඉල්ලීමක් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු තංගල්ල රෝහලේ බාහිර රෝගියෙකු වශයෙන් ලියාපදිංචි කර වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී අවශ්‍ය වුණොත් වැඩිදුරත් ඖෂධ ලබාදිය හැකි බවයි.

ඊට අමතරව තමන්ට නිවසින් ආහාර පාන ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් ‘හරක්කටා’ සිය මෝසමෙන් ඉල්ලා තිබුණි..

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ආරක්ෂක හේතූන් මත එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බවයි.

මෙහිදී ‘හරක්කටා’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබා දීමටද අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව නඩුව ලබන 26 වනදා කැඳවීමටද නියෝග කළේය ෴


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිසා මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණය ඉල්ලයි

(08.04.2024 – 13:00 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිසා මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මැයි 31 වනදා ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (08) නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සහ රෝහල් වෙත බෙදාහැරීමේ සිද්ධියට අදාළ නඩුව අද යළි මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලීය.

එම නඩුවට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධානාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 09 දෙනාද අද (08) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.

මෙහිදී අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු ඉල්ලා සිටියේ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප්” යන ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධ එන්නත් කිරිමෙන් පසු මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසට ය.

ඊට පැමිණිල්ල වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කියා සිටියේ අදාළ ප්‍රතිදේහ එන්නත් හේතුවෙන් අගතියට පත්වූ පාර්ශ්ව පිළිබඳ සවිස්තරාත්මක විස්තර ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වනවිටත් මෙම අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව කරුණු සළකා බැලූ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවක්‍රම මහත්මිය අදාළ වාර්තාව මැයි මස 31 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *