‘කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම’ ජනතා අයිතියට

‘කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම’ ජනතා අයිතියට


‘කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම’ ජනතා අයිතියට

(08.04.2024 – 09:41 +0530 – hirunews.lk/sinhala)

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ‘ගුවන් පාලම’ අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට පෙර විවෘත කරනු ලැබුවා.

මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිත අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43 ක් වන බවයි ‘ජනාධිපති මාධ්‍ය අංශය’ සඳහන් කළේ ෴


රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප් අද (08) සිට

(08.04.2024 – 09:44 +0530 – hirunews.lk/sinhala)

අද (08) සිට රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සිංහල හා හින්දු අලු‍ත් අවුරුදු උත්සවය හේතුවෙන් අප්‍රේල් වැටුප මේ මස 10 වනදාට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, රජය විසින් ඉහළ දැමුණු රුපියල් 10,000 දීමනාවද සමගින් වැටුප් ගෙවීම සිදු කරන බව කෑගල්ලේදී ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර එළඹෙන 15 වනදා ‘රජයේ නිවාඩු දිනයක්’ කරන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළා ෴


2024 පළමු මාස 3 තුළ ලංකාවේ සංචාරක ආදායම ඩොලර් බිලියනය පසු කරයි

(08.04.2024 – 10:33 +0530 – hirunews.lk/sinhala)

2024 මුල් මාස තුන (3) සඳහා සංචාරකයින්ගේ පැමිණීමෙන් ඩොලර් මිලියන 1,025 ක් උපයා ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

සංචාරක පැමිණීම් 635,784 ක් ලෙස වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළා.

2023 ට සාපේක්ෂව එය 89% ක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා.

වසරක් තුළ මෙරටට පැමිණි වැඩිවීමක් සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර, විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ (2024) මුල් මාස තුන (3) තුළ දී පමණක් එවන ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් බිලියන 10 ඉක්මවා තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7 ක ඉහළ යාමක්.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඩොලර් මිලියන 572 ක මුදලක් මෙරටට එවා ඇති බවයි ෴


කෙහෙළිය අප්‍රේල් 22 දක්වා යළිත් රිමාන්ඩ්

(08.04.2024 – 11:02 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා ලබන 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයන කිරීමේ සිද්ධියට සිද්ධියට සම්බන්ධවයි.

ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග නඩුවේ 1, 2, 3, 4, 6 සහ 7 යන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර 10 වන සහ 11 වන සැකකරුවන් අනිද්දා (10) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

+


ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම 2028 දක්වා අත්හිටුවනවා; සාගල කියයි

(08.04.2024 – 12:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපසු ගෙවීම 2028 දක්වා අත්හිටුවීමට අදාළව ණය හිමියන් සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව ජපානයේ Nikkei Asia පුවත් සේවය වාර්තා කරනවා.

ජනාධිපති ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, එම පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ ණය දුන් රටවල් සමඟ සාකච්ඡා අවසන් වී ඇති අතර, ඒ පිළිබඳ නිවේදනයක් ඉදිරි සති කිහිපය තුළ සිදුවනු ඇති බවයි.

ණය ආපසු ගෙවීමේ කාලය 2028 සිට 2042 දක්වා වසර 15 ක් වනු ඇති අතර, පොලී අනුපාතය අලුතින් 2% ක් පමණ වෙනු ඇති බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.

ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශ කළා.

ඒ අනුව ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීමට සහ පොලී අඩු කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ණයහිමි රටවල් මූලික එකඟතාවයකට පැමිණ තිබෙන බව ඔහු එහිදී ප්‍රකාශකර තිබෙනවා ෴


අනුරාධපුරයේ පාසලක සිසුන් කුඹුරක් අස්වද්දා වියදම් සොයා ගනී

(08.04.2024 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹා ප්‍රාදේශීය ලේකම් කාර්යාලට අයත් පණ්ඩුකාපුරය ගම්මානයේ පාසල් සිසුන් කුඹුරක් අස්වද්දවා ඉන් ලැබු අදායම සිය පාසලේ උන්නතිය සඳහා භාවිතා කිරීමට සුදානම් වෙනවා.

පණ්ඩුකාපුර විද්‍යාලයට අයත් අක්කර තුනකට (3) ආසන ප්‍රමාණයකින් යුත් කුඹුරක් අස්වද්දවා එයින් ලැබෙන ආදායම පාසල් පොත් හා සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට යොදා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

එම පාසලේ සිසුන්, පාසල් සංවර්ධන සමිතිය, දෙමාපියන් හා ගුරුවරුන් එක්ව මෙම කුඹුර අස්වැද්දීම ඊයේ (07) ආරම්භ කරනු ලැබුවා ෴


‘යුක්තිය’ මෙහෙයුම යටතේ තවත් පිරිසක් අත්අඩංගුවට

(08.04.2024 – 14:21 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය’ මෙහෙයුම යටතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණ සහ බස්නාහිර පළාත්වල විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් යොදවා සිදුකළ විශේෂ මෙහෙයුම අතර තුරදීයි මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ ෴


වයර්, සිමෙන්ති සහ තීන්තවලට මිල පරාසයක්

(08.04.2024 – 15:51 +0530 – hirunews.lk/sinhala)

වයර්, සිමෙන්ති සහ තීන්ත සදහා ඉදිරියේ දී මිල පරාසයන් නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වෙළඳුන් විසින් විවිධ මිල ගණන් යටතේ එම ද්‍රව්‍ය අලෙවි කිරීම ඊට හේතුව බවයි ෴


තරුණ සංගීත ශිල්පියෙකු තලාව ප්‍රදේශයේදී ජීවිතක්ෂයට

(08.04.2024 – 15:59 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර පාදෙණිය ඒ-28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කැකිරාව මාර්ගයේ, තලාව නගරයට ආසන්නව පදිංචිව සිටි 23 හැවිරිදි සංගීත ශිල්පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද (8) අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මෙම තරුණයා තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා ෴


ගම්පහ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) මියයයි

(08.04.2024 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) මිය ගොස් තවත් අයෙකු (1) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අද (08) සවස 4 ට පමණ යතුරුපැදියකින් දෙදෙනෙකු (2) පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ ෴


ආහාර විස වීමක්, 100 කට ආසන්න පිරිසක් රෝහලේ

(08.04.2024 – 17:22 +0530 – hirunews.lk/sinhala)

නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ කෝවිලක වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට ලබා දුන් දන්සලේ ආහාර විස වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසනවා.

මෙම පිරිස අතර කුඩා ළමයින් හා වතු කම්කරු කාන්තාවන් හා පිරිමින් පිරිසක් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ (07) දන්සැලේ ආහාර අනුභව කිරීමෙන් අනතුරුව පිරිසකට එදින පස්වරු 06:00 ට පමණ වමනය හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව මෙම පිරිස මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසන්නේ.

රෝහල් ගත කර පිරිසගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබෙනවා.

40 කට ආසන්න පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴


ගැටඹේ විහාරස්ථානයේ සිදුවූ ඝාතනයට විහාරාධිපති සහ ආරක්ෂකයෙක් අත්අඩංගුවට

(08.04.2024 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේදී පුද්ගලයෙකු පහර දී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන පුද්ගල මළසිරුරක් සොයාගනු ලැබුවේ ඊයේ (07) අලුයම් කාලයේදීයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විහාරස්ථානයේ විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු මහනුවර පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අලුයම 03:30 ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී තිබෙන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විහාරස්ථානය විසින් පොලිසිය දැනුවත් කර නොමැති අතර පහර කෑ පුද්ගලයා රෝහල් ගත නොකිරීමද සම්බන්ධයෙන් ඇති වූ සැකය මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව විහාරාධිපති හිමි ඇතුළු පිරිස සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රකාශවල පරස්පරතාව මත පොලිසිය විසින් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව විහාරාධිපති හිමියන්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර හිමිනම සහ සිවිල් ආරක්ෂක නිලධාරියා අද (08) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරනු ලැබුවා ෴


“මියයන පුද්ගලයෙකුගේ අවසන් කටයුතු කිරීම පිළිබඳ කමිටුවක්”

(08.04.2024 – 20:48 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *