STF නිල ඇඳුමෙන් ගම්පහ පාසලක ‘පෙරඩ්’ ගිහින්; පොලිසිය විමර්ශන අරඹයි

STF නිල ඇඳුමෙන් ගම්පහ පාසලක ‘පෙරඩ්’ ගිහින්; පොලිසිය විමර්ශන අරඹයි


STF නිල ඇඳුමෙන් ගම්පහ පාසලක ‘පෙරඩ්’ ගිහින්; පොලිසිය විමර්ශන අරඹයි

(08.04.2024 – 08:39 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් ඇඳ, T-56 ගිනි අවි අතැතිව, ගම්පහ බාලක පාසලක ශිෂ්‍යභට කණ්ඩායමක් පෙළපාලියක පෙනී සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (07) විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම බාලක පාසලේ පසුගිය අප්‍රේල් 03 වැනිදා පැවති ක්‍රීඩා උත්සවයේදී පාසලේ ශිෂ්‍යභට කණ්ඩායම විසින් ‘පොලිස් විශේෂ කාර්ය බළකායේ’ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ පෙළපාලියට සහභාගි වී තිබෙනවා.

‘පොලිස් විශේෂ කාර්ය බළකායේ’ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පෙළපාලියක නිරත වූ මෙම සිසුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිතා කරන රෙදි වර්ගයම යොදාගෙන නිල ඇඳුම සකස් කර ඇති බවයි සඳහන්.

එහිදී පොලිසිය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙම නිල ඇඳුම් මැසූ අනුරාධපුරයේ රෙදි සාප්පුවක හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුන් භාරයේ තිබූ නිල ඇඳුම් පොලිස් භාරයට ගෙන තිබෙන බවත්, මෙම සිදුවීමට අදාලව පාර්ශ්ව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගත් බවත් පොලිසිය පවසනවා.

එමෙන්ම, මෙවැනි නිල ඇඳුම් පිටස්තර පුද්ගලයින් අතට පත්වුවහොත් එමගින් ආරක්ෂක අංශ නොමඟ යවා යම් අපරාධයක් හෝ වෙනත් අකටයුත්තක් සිදුවිය හැකි බවත්, ඒ හේතුවෙන් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිස්පතිවරයා දැනුවත් කළ බවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ප්‍රකාශ කළේ.

+++++++++

+


අවුරුදු කැවිලි මේසයේ වියදම දෙගුණයක් වෙලා

(08.04.2024 – 07:54 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු කැවිලි මේසය පිළියෙල කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසනවා.

කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව අවුරුදු කැවිලි සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍යවල වියදම 2% කින් අඩු වී ඇති බවයි ඔවුන් සිදු කළ නවතම සමීක්ෂණයේ දැක්වෙන්නේ.

කිරිබත්, කොන්ඩකැවුම්, මුංකැවුම්, දොදොල්, කේක්, අලුවා සහ කෙසෙල් ගෙඩි මිල ගණන් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ මෙම සමීක්ෂණය පාදක කර ගෙන තිබෙනවා.

එහි තවදුරටත් දැක්වෙන්නේ කැවිල් මේසය පිළියෙල කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් 2.2% කින් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ රසකැවිලි සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය වල මිල 2019 වසරට සාපේක්ෂව 2.3 කින් ඉහළ මට්ටමක පැවතුණ ද මෙම වසරේ එහි සුළු අඩු වීමක් ඇති බව එම ආයතනය ප්‍රකාශ කළා.

‘වෙරිටේ රිසර්ච්’ ආයතන වැඩිදුරටත් කියා සිටියේ මෙම සමීක්ෂණය සඳහා 2019, 2023 සහ 2024 වසරවල අප්‍රේල් මස පළමු සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළඳපොළේ සාමාන්‍ය මිල සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත් මිල පාදක කර ගත් බවයි.


සිරිසේන නැති අතරේ වැඩ දාන සිරිපාලට, මිත්‍රපාලගෙන් ආයෙත් පිළිතුරු

(08.04.2024 – 09:06 +0530 – hirunews.lk/sinhala)

අර්බුද මධ්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) කොළඹ පදනම් ආයතනයේදී කැඳවීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පියවර ගෙන තිබෙනවා.

පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල දේශපාලන මණ්ඩලය කැඳවීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක මෙම රැස්වීම කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම රැස්වීමට කිසිදු නීතිමය බලයක් නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල වෙත පසුගිය 04 වනදා ලිපියක් යොමු කර තිබුණා.

එහි දැක්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති බැවින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව කරගෙන යෑම සඳහා දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් අප්‍රේල් 08 වනදා එනම් අද කැඳවන ලෙසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ ශාන් විජේලාල් ද සිල්වා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ඊට කැඳවන ලෙස ද අදාළ ලිපියෙන් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, එම ලිපියට ප්‍රතිචාර දක්වමින් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල පිළිතුරු ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අදාළව අධිකරණය විසින් ලබා දුන් වාරණ නියෝගය මෙතෙක් ලැබී නොමැති බැවින් එහි අන්තර්ගත කරුණු නොදැන කටයුතු කළ නොහැකි බවයි.

මේ අතර, පක්ෂයේ පරිපාලන කටයුතුවලට අදාළ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට වැඩබලන මහලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය කිරීම සඳහා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවෙකු හෝ ඇතුළුවීම වළක්වාලීමට පොලිසිය පෙරේදා පියවර ගත්තා.

එම අවස්ථාවේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වූ අතර වැඩබලන මහලේකම්වරයා එහිදී ද මාධ්‍යට සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේනට අදාළව අධිකරණය විසින් ලබාදුන් වාරණ නියෝගය ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් එම වාරණ නියෝගය පක්ෂ මූලස්ථානයේ දොරටුවේ අලවා ගොස් තිබෙන අයුරු දක්නට ලැබුණා.

නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා කැදවා ඇති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ශාන් විජේලාල් ද සිල්වා ට ආරාධනා කර නැහැ.

නිදහස් පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමේ බලය සභාපතිවරයාට පමණක් සීමාවන බවයි ෴

++++++

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය නිමල් සිරිපාල ද සිල්වාට

(08.04.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබෙනවා.

ඒ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙම අවස්ථාවට සහභාගි වීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කර තිබෙනවා ෴

++++++

මහින්ද , ලසන්ත, දුමින්දගේ තනතුරු අත්හිටුවීමට දුන් වාරණ නියෝගය දිර්ඝ කෙරේ

(08.04.2024 – 11:27 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝග නිකුත් කළා.

අදාළ පැමිණිලි වල වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩ බලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා වෙනුවෙන් නීතිඥවරු අධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව, නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දුන් අධිකරණය නඩුව නැවත ලබන 24 වනදා කැඳවන ලෙසත් නියම කළා.

කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන්ව පක්ෂයේ තනතුරුවලින් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා අදාළ අමාත්‍යවරු විසින් මෙම පැමිණිල්ල දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණා ෴

+++++++

නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධීයි – දුෂ්මන්ත මිත්‍රපාල

(08.04.2024 – 19:59 +0530 – hirunews.lk/sinhala)

අද (08) පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බව එම පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කටයුතු කරන දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා .

ඒ අනුව ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළා ෴


පාදුක්කේ වෙඩිතැබීම ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක්

(08.04.2024 – 09:28 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක – අංගමුව ප්‍රදේශයේදී පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී මියගිය පුද්ගලයා මොරගහහේන ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු බවට හෙළිවී තිබෙනවා.

ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සේවය කරන සෙබලෙකු වන මොහු 33 හැවිරිදි ‘දිලංක ලක්මාල් රාජපක්ෂ’ නැමති පාදුක්ක – මීරියගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුරදී අංගමුව පොලිස් මාර්ග බාධකය අසලදී සැකකරු ගමන් කළ යතුරුපැදිය නතර කරන ලෙස දැනුම් දී තිබුණා.

අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ සැකකරු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඒ අතරතුරයි.

පසුව පොලිසියද ප්‍රති ප්‍රහාර එල්ල කිරීමත් සමග සැකකරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුමිය ගියා.

මොහු මොරගහහේන පොලිස් වසමේ හොරණ මාලොස් ඇළ මංසන්ධිය ආසන්නයේ ඊයේ (07) පුද්ගලයන් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ඝාතනය ඩුබායි හී සැඟව සිටින ‘ජයකොඩිගේ තනුජ සම්පත්’ හෙවත් ‘හෝමාගම හඳයා’ නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවට පසුව අනාවරණය වුණා.

එමෙන්ම මෙලෙස මියගිය ගුවන් හමුදා කෝප්‍රල්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේණි රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.

මොහු සම්බන්ධයෙන් අවශ්‍ය වන තොරතුරු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දෙන ලෙසටයි ඔහු අදාළ අංශවලට දැනුම් දී ඇත්තේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මොහු නිවාඩු ලබා සිටියදී මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *