හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට

හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට


හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට

(07.04.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

හොරණ – තල්ගහවිල ප්‍රදේශයේ අද (07) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල වූ තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් රෝහල් ගතකළ පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.

+++++++

+++++++

පාදුක්කේ දී පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු මරුට

(08.04.2024 – 06:25 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක, අංගමුවේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙකු අද (08) මියගිය බව පොලිසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක් අතරතුර මුරපොළක් ආසන්නයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි.

පොලීසිය එයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ දී යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගිය පුද්ගලයා ඊයේ (07) හොරණ, තල්ගහවිල දී පුද්ගලයන් දෙදෙනෙකුට (2) වෙඩි තැබීමේ සිද්ධියේ තුවක්කුකරු බවට සැකකරන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴


ගැටඹේ දියකපනාතොට විහාරයේ පුද්ගල මළසිරුරක්

(07.04.2024 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ගැටඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක තිබී පහරදීමකින් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකු සිරුරක් හමුවී තිබෙනවා.

මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පිහිටි ගැටඹේ දියකපනා තොට විහාරස්ථානයට සැකසහිත පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ තිබුණේ ඊයේ (06) රාත්‍රියේයි.

කෙසේවෙතත් මෙම පුද්ගලයාට විහාරස්ථාන පරිශ්‍රයේදී කිසියම් පිරිසක් පහරදී ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබෙනවා.

මහනුවර පොලිසිය සඳහන් කළේ සොරකමක් සඳහා ඔහු විහාරස්ථානයට පැමිණෙන්නට ඇතැයි සිතා මෙම පහරදීම කරන්නට ඇතැයි සැක පළ කරන බවයි.

මෙලෙස මියගොස් අත්තේ මැණික්හින්න ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චමිල සුධීර නමැති 44 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට විහාරස්ථානයේ තිබූ පිං පෙට්ටිය ද අතුරුදන්වී ඇති බවයි.

සැකකරු සුදු පැහැති පොලිස් හිස් ආවරණයක් ද පැලඳ පැමිණ තිබූ අතර, පොලිසිය සඳහන් කළේ අනෙක් පිරිසක් නොමඟ යැවීම සඳහා ඔහු මෙලෙස ක්‍රියාකරන්නට ඇති බවයි.

පහරදීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා.

+++++++++

විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගල ඝාතනයක්

(08.04.2024 – 09:42 +0530 – sinhala.adaderana.lk)

සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානය ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ දෙපා හා අත් ලණුවකින් ගැට ගසා මුනින් අතට වැටී පරදීමකින් ඇති වූ තුවාල සහිතව මියගොස් සිට ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිට අයෙකු බව සඳහන්ය.

සිද්ධිය වන විට එම විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


වැඩි කළ රුපියල් 10,000 එක්ක අප්‍රේල් මස වැටුප 10 වැනිදාට පෙර

(07.04.2024 – 13:45 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස දහවෙනිදාට (10) පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය පවසනවා.

එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක (10,000) මුදලද ගෙවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ‘විශ්‍රාමික රාජ්‍ය සේවකයින්’ට ද අප්‍රේල් මස දහවෙනිදා (10) ට පෙර විශ්‍රාම වැටුප ගෙවන බවයි ෴


15 වැනි දා රජයේ නිවාඩු දිනයක් කිරීමට අවධානය

(07.04.2024 – 14:09 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලු‍ත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අමතර බස් රථ ගමන් වාර 700 ක් ක්‍රියාත්මක කරන බව ‘ජාතික ගමනාගමන කොමිෂන් සභාව’ පවසනවා.

ගම්බිම් බලා යාමට මෙන්ම යළි පැමිණීමටත් මෙම බස්රථ ගමන් වාර ක්‍රියාත්මකයි.

උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා 17 වනදා දක්වා විශේෂ දුරගමන් සේවා බස් රථ ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම ගම්බිම්බලා ගොස් නැවත නිවෙස් කරා පැමිණෙන මගීන් සඳහා අප්‍රෙල් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ද විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලිසියේ මැදිහත්වීමෙන් විශේෂ බස් රථ පරීක්ෂාවක් කොළඹ බැස්ටියන් මාවතේදී සිදු කෙරුණා. පැය 24 පුරා ක්‍රියාත්මක ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ 1955 අංකය අමතා බස් රථ සේවා පිළිබඳ විමසීම් සහ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර ‘රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ’ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් සිංහල හා හින්දු අලු‍ත් අවුරුදු නිවාඩුවට සමගාමීව දීර්ඝ නිවාඩුවක් යෙදීම හේතුවෙන්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලු‍ රාජ්‍ය නිලධාරීන්ට එම ආයතනවල අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

එම කාල සීමාව තුලදී අපදා හා හදිසි අවශ්‍ය කාරණා සම්බන්ධයෙන්ද කටයුතු කරන ලෙසයි අවධාරණය කර ඇත්තේ. රජයේ සංවර්ධන කටයුතු වලට අදාලව ව්‍යාපෘති සහ වැඩසටහන් පවත්වා ගෙන යාමටත් සිංහල හා හින්දු අලු‍ත් අවුරුදු සැමරීම සදහා සංවිධානය කෙරෙන්නා වූ වැඩසටහන්වලටද අවශ්‍ය සහයෝගය හා සහභාගීත්වය ලබා දීමට කටයුතු කරන ලෙසයි උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර එළඹෙන 15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙසට පත්කරන ලෙස රාජ්‍ය නිළධාරීන් සිදුකළ ඉල්ලීම පිලිබද මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ‘හිරු ප්‍රවෘත්ති’ වෙත කියා සිටියා.

+


ජනක රත්නායක ‘ඔන්ලයින් පනත’ යටතේ පළමු තහනම් ආඥාව ලබා ගනී

(07.04.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)

‘සමාජ මාධ්‍ය නියාමනය’ සඳහා මෑතකදී රජය විසින් සම්මත කළ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත’ යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 04 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගේ අතිශය පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ජනක රත්නායකගේ පුද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ ගයත්‍රි බිම්බා ඇතුළු අට දෙනෙකුට (8) එරෙහිවයි.

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ගයත්‍රි බිම්බා, ජනක රාජපක්ෂ, ඕෂල හේරත්, යසලාල් පෙරේරා, කවිෂ්වර ගුණරත්න, ජාමුණි කමන්ත තුෂාර ඇතුළු පිරිසකට මෙම තහනම් ආඥාව නිකුත් කරනු ලැබුවා.

මෙහිදී පැමිණිලිකාර ජනක රත්නායක අධිකරණයට කරුණු දක්වා ඇත්තේ, වග උත්තරකාර ගයත්‍රි බිම්බා නමැත්තිය 1999 වසරේ සිට සිය පුද්ගලික සහායිකාව වශයෙන් කටයුතු කළ අතර ඇය සමග තමා අතිශය සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවයි.

එහිදී ඇය සමග පැවති සමීප සම්බන්ධයේ වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇය සතුව ඇති බවත් 2023 වසරේ මැයි මස තමා යටතේ ඉටුකළ සේවය නිමකර ඉවත්වූ ඇය එම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමේ තර්ජන මතුවී ඇති බවත් කියමින් ඔහු මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙවැනි වීඩියෝ දර්ශනයක් මෑතකදී වගඋත්තරකාරිය විසින් වට්ස්ඇප් හරහා හුවමාරු කරගෙන ඇති බවට තම මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ලැබුණු බවද පැමිණිලිකාර ජනක රත්නායක සඳහන් කර තිබෙනවා.

අනතුරුව පාර්ලිමේන්තුව විසින් සම්මතකළ 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවේද ආරක්‍ෂණ පනතේ 24 වන වගන්තිය යටතේ සිය සේවාදායකයාගේ පෞද්ගලික තොරතුරු සංසරණයවීම වැළැක්වීම සඳහා කොන්දේසි සහිත තහනම් ආඥාවක් නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරු සම්බන්ධයෙන් වන පෞද්ගලික තොරතුරු ඔහු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන් සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කිරීම හා සන්නිවේදනය කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරනු ලැබුවා ෴


ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කොළඹ ආපනශාලා සහ භෝජනාගාර පරීක්ෂාවක්

(07.04.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් මේ දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට දෙස් විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙමින් සිටිනවා.

මේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ආහාර අලෙවි කරන ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි පළමු අදියර යටතේ කොටුව දුම්රියපොළ අවට ඇති ආපන ශාලා, භෝජනාගාර පරීක්ෂාවට ලක් කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 06 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්වුණා.

එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමට කටයුතු කෙරුණු අතර කල් ඉකුත් වූ සහ කෑමට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙඳසැල්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මේ අතර උත්සව සමයේදී ආනයනික චොක්ලට් ඇතුළු රසකැවිලි වර්ග මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

කල් ඉකුත්වීමට ආසන්න රසකැවිලි වර්ගවල දින වෙනස් කර විකිණීමට උත්සාහ කළ පිටකොටුවේ වෙළෙඳසැල් කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළා.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 අංකයට ලද පැමිණිල්ලක් මත පාලන මිලට වඩා වැඩි මිලට කිරී සම්බා සහල් අලෙවි කළ වෙළෙඳසැල් වටලා නීතිමය කටයුතු සිදු කර තිබෙනවා.

කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260 ක පාලන මිලක් රජය පනවා ඇති නමුත් මෙම වෙළෙඳසැල් කීරි සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කර ඇත්තේ රුපියල් 350 කටයි.

++++++

අලුත් අවුරුද්දට පරණ චොක්ලට්

(07.04.2024 – 22:03 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේදී ආනයනික චොක්ලට් ඇතුළු රසකැවිලි වර්ග මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

කල් ඉකුත්වීමට ආසන්න රසකැවිලි වර්ගවල දින වෙනස් කර විකිණීමට උත්සාහ කළ පිටකොටුවේ වෙළෙඳසැල් කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 අංකයට ලද පැමිණිල්ලක් මත පාලන මිලට වඩා වැඩි මිලට කිරී සම්බා සහල් අලෙවි කළ වෙළෙඳසැල් වටලා නීතිමය කටයුතු සිදු කර තිබෙනවා.

+


නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනට ගැන විශේෂ දැනුම්දීමක්

(07.04.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

නොමිලේ සහල් ලබා දීමේ රජයේ වැඩසටහනට අස්වැසුම, සමෘද්ධි ඇතුලු ආධාර ලබන අයට අමතරව තවත් උපකාර අවශ්‍ය පිරිස් සිටී නම් එම පිරිස් ද ඊට ඇතුලත් කර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඊට අදාළ උපදෙස් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්‍රේල් සහ මැයි මාසවලට අදාළව ක්‍රියාත්මකයි. ඒ යටතේ සහල් කිලෝ 20 බැගින් මෙවරත් පවුල් ලක්ෂ 28 කට සහල් ලබා දීමට නියමිතව තිබෙනවා ෴


අවුරුදු දෙකහාමාරක (2½) දරුවා ලොරි රථයට යටවී මරුට

(07.04.2024 – 16:56 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ඉගිනියාගල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් අවුරුදු දෙකාහාමරක (2½) දරුවකු මියගොස් තිබෙනවා.

එම දරුවා පාර හරහා මාරු වීමට යෑමේදී තැඹිලි පටවා ගත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසුව අදාළ දරුවා ඉගිනියාගල රෝහලට ඇතුලත් කර ඇති අතර එම අවස්ථාව වන විටත් දරුවා මිය ගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

දෙමාපියන් එම දරුවා සමග මාර්ගය අසල විහාරස්ථානයක ආගමික කටයුතුවල නිරතව සිටියදී දෙමාපියන්ගේ අවධානයෙන් මිදී දරුවා මාර්ගයට පැමිණ ඇත. එම අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය පවසයි. (sinhala.adaderana.lk)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *