ගෝඨාභය පන්නා දැමීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් බැසිල් ඉටුකළා

ගෝඨාභය පන්නා දැමීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් බැසිල් ඉටුකළා


ගෝඨාභය පන්නා දැමීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් බැසිල් ඉටුකළා

(07.04.2024 – 15:00 +0530 – lankacnews.com)

රට තුළ රාජපක්ෂලාගේ දේශපාලනය අවසන්ව ඇති බවත් නාමල් රාජපක්ෂ යනු බලහත්කාරයෙන් සීසර් සැත්කමකින් නියමිත කාලයට පෙර එළියට ගත් දේශපාලනය ළදරුවෙක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ ද දේශපාලන කුණු කූඩයට දැමිය යුතු බවත් පවසන ඔහු ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් බැසිල් රාජපක්ෂ විසින් ඉටුකළ බව ද ඔහු චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

+


තව දින සියයකින් (100) මැතිවරණ කොමිසම ජනපති සටනට

(07.04.2024 – 06:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය සඳහා අද (07) සිට දින සියයකින් (100) පසුව නාම යෝජනා කැඳවීමේ බලය මැතිවරණ කොමිසම වෙත හිමි වනවා.

ඒ අනුව, එළඹෙන ජුලි මස 17 වැනිදාට පසු ඕනෑම මොහොතක ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර කැඳවීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනවා.

මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කාලවකවානුව තීරණය කිරීමෙන් අනතුරුව, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නාම යෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කරන දිනට පෙරාතුව, එහි ප්‍රචාරක කටයුතු සඳහා දින 28 ත් 35 ත් අතර පූර්ව මැතිවරණ ප්‍රචාරණ කාල සීමාවක් හිමි වනවා ෴

+++++++

“මැතිවරණ දෙකම එකට පැවැත්වීම යෝග්‍ය නෑ” මැතිවරණ කොමසාරිස්

(07.04.2024 – 21:56 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්වීම සුදුසු නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මැතිවරණ දෙක (2) එලෙස එකම දිනයක පවත්වන්නේ නම් ඊට අවශ්‍ය නීතිමය පසුබිම පාර්ලිමේන්තුවෙන් සකසා දිය යුතු බවයි.

+


මාවනැල්ලේ දී පොලිස් වෙඩි පහරින් අයෙකු ජීවිතක්ෂයට

(07.04.2024 – 06:41 +0530 – hirunews.lk/sinhala)

කඩුවක්ද රැගෙන මාවනැල්ල, පදීදොර ප්‍රදේශයේ දී කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට (2) එම කඩුවෙන් පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ සිදුවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු බවයි.

මෙම සිදුවීම අතරතුර එම ස්ථානයට පැමිණෙන මාවනැල්ල පොලිසියේ පොලිස් ජංගම රථයේ සිටි නිලධාරීන් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව තකා සිදුකරන වෙඩි තැබීමේදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මියගිය සැකකරුගේ පුත්‍රයා ද මේ සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය සැක කරන අතර, ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු (2) ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මියගිය සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

එමෙන්ම මේ වනවිට පලාගොස් සැඟවී සිටින අනෙක් සැකකරු වයස අවුරුදු 24 ක අයෙකු බවත්, ඔහුද මත්ද්‍රව්‍ය චෝදනා සහ ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව බන්ධනාගරගතව සිට දැනට සතිකයකට පමණ ඉහත ඇපමත නිදහස් වූවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය සැකකරුගේ මෘත ශරීරය මේ වනවිට මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.

+++++++++

+


අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා තිබුණොත් වැඩ වරදී

(07.04.2024 – 08:33 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

එහිදී අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත් එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

අවුරුදු උත්සවවලදී අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර, ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ ෴


ප්‍රථම වරට මෙරට බීජ අපනයනයට

(07.04.2024 – 08:51 +0530 – hirunews.lk/sinhala)

පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර තිබෙනවා.

ඒ අනුව මිරිස්, වම්බටු, මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු‍ විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා විදේශ රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලු‍මක් ඉදිරිපත්ව ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මෙරට පෞද්ගලික අංශය එක්ව මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ සිදුකර ඇති අතර බීජ පිළිබඳ පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් සිදු කර තිබේ.

එමෙන්ම එම බීජ වැඩි දියුණු කිරීම හා සැකසීම ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය ලබා ගනිමින් මෙරට පුද්ගලික අංශය විසින් සිදුකර තිබෙනවා ෴


මවගේ දරු ප්‍රසූතියේදී පියාට සූතිකාගාරයේ රැඳී සිටීමට රජයේ රෝහල්වලත් අවසර

(07.04.2024 – 11:03 +0530 – hirunews.lk/sinhala)

දරුවා ප්‍රසූතකරන අවස්ථාවේදී සූතිකාගාරය තුළ පියාටද රැඳී සිටීමේ අවස්ථාව පළමු වරට රජයේ රෝහල් තුළද ලබාදී තිබෙනවා.

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලෙන් එහි පළමු පියවර ආරම්භ කර ඇති බව සඳහන්.

මෙහිදී සූතිකාගාරයේ දරු ප්‍රසූතිය සඳහා වෙන් වෙන් වශයෙන් කාමර නිමවා ඇති අතර තම බිරිය දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී ඒ අසල ස්වාමියාට රැඳී සිටීමට අවසර ලැබෙනවා.

මෙවැනි කටයුතු මගින් යහපත් මානසිකත්වයකින් මවට දරුවා ප්‍රසූත කළ හැකි බවයි විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ෴


ලංකාවේ 695 කට අලුතින් ඒඩ්ස්

(07.04.2024 – 11:47 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2023 වසරේ පමණක් නව එච්.අයි.වී. ආසාදිතයන් 695 දෙනකු හඳුනාගෙන ඇති බව ‘ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ’ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා.

‘හිරු පුවත්’ අංශයට අදහස් දක්වමින් ඇය සඳහන් කළේ එය 14% ක වර්ධනයක් බවයි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයන් හමුවන අතර කොළඹ ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ක්‍රියාත්මක සායනවලදී හඳුනාගැනෙන HIV සහ ලිංගාශ්‍රිත රෝගීන් සංඛ්‍යාව 40% ක ප්‍රමාණයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

තරුණ තරුණියන් තුළ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අවබෝධයක් නොමැති වීම මෙලෙස රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමට බලපා ඇති අතර ඒ සම්බන්ධයෙන් වයසට සරිලන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් පාසල් වියේ සිට ලබා දිය යුතු බවද ඇය සඳහන් කළා.

කිසියම් පුද්ගලයකුට HIV සහ ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී තිබේදැයි මූලික වශයෙන් දැනගැනීමට සහ රෝග පරීක්ෂාවක් සඳහා වේලාවක් වෙන්කර ගැනීම සඳහා ‘KNOW4SURE.lk’ නමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇති අතර එමගින් තමන්ට රෝගයක් වැළඳී තිබේදැයි රහසිගතව දැනගත හැකි බවද ඒ සඳහා ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවෙසටම ගෙන්වාගත හැකි බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන තවදුරටත් සඳහන් කළා.


ග්‍රාම නිලධාරී දීමනා ගෙවීම් වැඩිකිරීමේ තීරණයක්

(07.04.2024 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාම නිලධාරී දීමනා ගෙවීම් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ රාජ්‍ය කටයුතු අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළා.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමට ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.

ඒ අනුව ග්‍රාම නිලධාරීන්ට ලබාදෙන කාර්යාල දීමනාව සහ ලිපි ද්‍රව්‍ය දීමනාව පසුගිය 01 වනදා සිට සංශෝධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මහ නගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව, රුපියල් 3,000 ක් ලෙසත් ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 ක් ලෙස සංශෝධනය වී තිබෙනවා.

මීට අමතරව වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රුපියල් 3,000 ක් ලෙස සංශෝධනය වී ඇති බව සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *