ප්‍රවේසම්වන්න – පොලීසියෙන් නිවේදනයක්
(06.04.2024 – 19:09 +0530 – sinhala.adaderana.lk)
උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර උත්සව සමය තුළ විනෝද චාරිකා යෑමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැහැදිලි කළේය.
“චාරිත්‍ර වාරීත්‍ර ඉටුකළාට පස්සේ බොහෝ පිරිස් තමන්ගේ නෑදැයින් බලන්න යනවා. ගම්බිම්වල යනවා. යාළු මිත්‍ර ආදීන් බලන්න යනවා. විවිධ චාරිකා යනවා. විනෝද චාරිකා යනවා මේ නිවාඩු කාලසීමාවේ. මේවායෙදී විශේෂ අවධානය යොමුකළයුතු කාරුණු කිහිපයක් තියෙනවා. ගමන් කරන වාහන පුද්ගලික වාහන වෙන්න පුළුවන්; පොදු වාහනයක් වෙන්න පුළුවන්. පුද්ගලික වාහනයක් නම් ඔබගේ වාහනය ධාවනය කරන රියදුරා මත්පැන් පානය කරලා ඉන්නවාද? අධික වේගයෙන් ගමන් කරනවද? ඒ වගේම තමයි මාර්ග නීති කඩකරනවාද කියලා අවධානය යොමු කරන්න. පොලිස් නිලධාරීන් අපි රාජකාරියේ යොදවලා ඉන්නවා දිවයින පුරාම දැඩි ලෙස රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනවා. පොදු ප්‍රවාහන සේවයක මෙවැනි රියදුරෙක් ඉන්නවනම් ඔබට එරෙහි වෙන්නට අයිතිය තියෙනවා. මේ පුද්ගලයා මත්පැන් පානය කරලා කියලා තේරුණොත්, මාර්ග නීති කඩ කරමින් ගමන් කරනවා කියලා තේරුණොත් ඔබට විරුද්ධ වීමේ අයිතිය තියෙනවා. විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ යම් කාරණයක් සිදුවූවොත් 1969 දැනුම්දීම් කරන්න.”
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
(06.04.2024 – 13:52 +0530 – sinhala.adaderana.lk)
මැද පෙරදිග කලාපයේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලය වෙත යම් ප්‍රහාරයක් එල්ලවේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හා පවතින සැකය මත මේ වනවිට ඊශ්‍රායල හමුදාව සීරුවෙන් තබා ඇත.
මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ අවදානම්කාරී වාතාවරණයක් නැවත ඇතිවුවහොත් ඔක්තෝම්බර් 07 වනදා ඇතිවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ ආකාරයට තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇති බවය.
එසේම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යම් හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
එම ක්‍රියාමාර්ග පහතින් :
- ඉතාමත් අත්‍යාවශ්‍ය හේතුවකට හැර තමා සේවය කරන නිවස, සේවා ස්ථානය, වගාබිම් හෝ තමන් පදිංචි ස්ථානයෙන් බැහැර නොයන්න.
- රෝගී තත්ත්වයන් හේතුවෙන් ඖෂධ හා එන්නත් ලබාගන්න පිරිස දින ගණනාවකට අවශ්‍ය බෙහෙත් රැස්කර තබා ගන්න.
- වියලි ආහාර හා බීමට අවශ්‍ය ජලය රැස්කර තබා ගන්න.
- වගකීම් විරහිතව සමාජ මාධ්‍යය ඔස්සේ ඡායාරූප, වීඩියෝ, විස්තර කථනයන් කිරීමෙන් වැලකි සිටින්න. සංවේදී වීඩියෝ හා ඡායාරූප එයට යැවීමෙන් වළකින්න.
- සමහර විට අත්තර්ජාල, දුරකථන සේවා, GPS මග පෙන්වන සේවාවන් විටින් විට ක්‍රියාවිරහිත විය හැක, එබැවින් තමන්ගේ හිතවතුන්ගේ දුරකථන ක්‍රියා විරහිතවී ඇති බව පවසමින් අනවශ්‍ය ලෙස කළබලවීමෙන් වළකින්න.
- සෑම නිවසකම, වැඩබිමකම ආරක්ෂිත කාමර හා නිවස්නයන් තිබෙන බැවින් අනතුරු ගැන්වීමේ නලා හඬ ඇසුණහොත් ආරක්ෂිත ස්ථානයකට යාමට වග බලා ගන්න.
- වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් රැක බලාගන්නා පිරිස හදිසියකදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වන්න. පවතින තත්ත්වය පිළිබඳව ඔබව නිරන්තරයෙන් දැනුවත් කිරීමට තානාපති කාර්යාලයේ නිලධාරීන් සුදානමින් සිටිති ෴
කැබ් රථයක් දුම්රියේ ගැටෙයි
(06.04.2024 – 15:38 +0530 – sinhala.adaderana.lk)
වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.
ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙරද එම ස්ථානයේ අනතුරු සිදුවී ඇති බවත් නිසි පරිදි දුම්රිය ගේට්ටු මුරකරුවන් නොමැති වීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවත්ය.
අද (06) උදෑසන අනුරාධපුරය සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම කැබ් රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ.
ඕමන්ත පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++++++
+
පාතාලේ 9 කට වැඩ වැරදුණු තැන
(06.04.2024 – 17:11 +0530 – sinhala.adaderana.lk)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමට අනුව ඊයේ (05) දිනයේදී සැකකරුවන් 09 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ගාල්ල, රාගම , මොරටුව, බණ්ඩාරගම සහ වාද්දුව යන ප්‍රදේශවල පදිංචි ජාවාරම්කරුවන් 09 දෙනෙකි.
මෙම සැකකරුවන් ‘පූකුඩි කණ්නා’, ‘පොඩි ලැසී’, ‘ගණේමුල්ල සංජීව’, ‘හීනටියන සංඛ’, ‘කුඩු අංජු’, ‘කුඩු සළිඳු’ සහ ‘මතුගම ගවරියා’ යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායම්වල සාමාජිකයින් බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ ඡායාරූප පහතින් :
+
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ චීවරධාරියෙකු අත්අඩංගුවට
(06.04.2024 – 19:56 +0530 – sinhala.adaderana.lk)
චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයෙකු ‘අද දෙරණ’ උකුස්සාගේ අනාවරණයෙන් පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
බෙන්තර ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිටින චීවරධාරියෙකු කොළඹට විවිධ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ‘අද දෙරණ උකුස්සා’ට රහසිගත තොරතුරක් ලැබිණි.
ඒ අනුව, දින ගණානාවක ගවේෂණයක නිරත වූ ‘උකුස්සා’ට අනාවරණ වුණේ අදාළ පුද්ගලයා පසුගිය දිනක දෙහිවල අත්තිඩිය ප්‍රදේශයට පැමිණෙන බවටය.
අනතුරුව ‘උකුස්සා’ ඒ පිළිබඳව සොයාබැලීමට අදාළ ප්‍රදේශයට ගිය අතර ඔහු එහිදී ත්‍රිරෝද රථයක සිටින අයුරු දැකගත හැකිවිය.
ඔහු පසුපස හඹාගිය ‘උකුස්සා’ට පසුව දැකගත හැකිවූයේ ඔහු තම චීවරය ඉවත් කර ගිහි ඇඳුමක් හැඳගෙන සිටින ආකාරයයි.
අනතුරුව අදාළ චීවරධාරියා ගමන්ගත් ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් පොලිසියද දැනුවත් කිරීමෙන් පසුව එම රථය බෙල්ලන්තර ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කරනු ලැබීය.
එහිදී ගිහි ඇඳුමින් සැරසී සිටි චීවරධාරියා පොලීසිය වෙත පරස්පර පිළිතුරු ලබාදුන්නේය.
අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලීසිය සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ පුද්ගලයාගේ බෑගයේ තිබී ‘ගංජා’ සහ ‘මදනමෝදක’ සොයාගෙන තිබුණි.
ඉදිරියේදීත් මෙවැනී කූඨ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙන්.
+
බොරලැස්ගමුව කැලඹුණු ඝාතනයේ සුලමුල එළියට
(06.04.2024 – 22:04 +0530 – sinhala.adaderana.lk)
බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පානදුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවන පෙදරේරුවෙකි.
සැකකරු පොලීසියට පවසා ඇත්තේ ඝාතනය කරන ලද පුද්ගලයා සහ සිය බිරිඳ අතර වසර 15 ක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් ඇති බවය.
පසුගිය දිනක බිරිඳ නිවසින් පිටව ගිය බවත් ඇය ඔහු සමග සිටිනු ඇතැයි යන සැකය මත තමන් මෙම ඝාතනය කළ බවත් සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 24 ක සහ 17 ක දියණියන් දෙදෙනෙකු (2) සිටින බවත් ඔවුන්ට සමාජයෙන් සිදුවන අවමන් ඉවසාගැනීමට නොහැකිව මෙම අපරාධය සැලසුම් කළ බවත්ය.
ඒ අනුව බෙල්ලන්තර හංදිය ප්‍රදේශයේ සිට ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ත්‍රිරෝද රථය පසුපස හඹාවිත් බොරලැස්ගමුව දේවාලමුල්ල ප්‍රදේශයේදී ඔහුගේ ගෙළට මන්නයකින් කොටා මෙම ඝාතනය කළ බවත් ඔහු පවසා තිබේ.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව තමන් පළායන අවස්ථාවේ යතුරුපැදිය අනතුරට ලක්වූ බව සැකකරු පවසා ඇති අතර ඔහුගේ තොරතුරු මත සිදුකළ විමර්ශනයේදී ඝාතනයට යොදාගත් මන්නා පිහිය ද පිරිවෙන පාරේ කාණුවක තිබී සොයාගෙන ඇත.
පසුගිය 02 වනදා රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්වූයේ ද මාතර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
සැකකරු ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴
මානැල්ලේ දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට
(07.04.2024 – 06:41 +0530 – sinhala.adaderana.lk)
මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් විසඳීමට යාමේ දී පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (06) රාත්‍රී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් ඇති බවට මාවනැල්ල පොලීසියට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.
ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත.
එහිදී ආරවුලට සම්බන්ධ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේ තවත් පොලිස් නිලධාරියෙකු අහසට වෙඩිතබා ඇති අතර එම පොලිස් නිලධාරියාට ද අදාළ පුද්ගලයා පහර දීමට උත්සහ කිරීමේ දී වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් පහරදීම සිදුකළ පුද්ගලයාගේ පියාට වෙඩිවැදී ඇති අතර තුවාල ලැබූ ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ 53 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ද සම්බන්ධ අපරාධකරුවෙකු බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ද මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.
අදාළ පහරදීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴