සාප්පු සවාරි යන ජනයාට පොලිසියෙන් උපදෙස් මාලාවක්

සාප්පු සවාරි යන ජනයාට පොලිසියෙන් උපදෙස් මාලාවක්


සාප්පු සවාරි යන ජනයාට පොලිසියෙන් උපදෙස් මාලාවක්

(06.04.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala)

සිංහල, දෙමළ අලු‍ත් අවුරුද්ද උදාවීමට ඇත්තේ, තවත් සතියක පමණ කාලයක්.

කෙතරම් ආර්ථික අභියෝග මැද කල් ගත කළත් ජනතාව හැකි පමණින් අලු‍ත් අවුරුදු සැමරුම වෙනුවෙන් සූදානම්වන අයුරු මේ දිනවල දැක ගත හැකියි.

අලු‍ත් අවුරුදු උදාවට කළින් එළැඹෙන අවසන් සති අන්තයේ රෙදිපිළි ඇතුළු භාණ්ඩ අලෙවිසැල් වඩාත් ජනාකීර්ණ වී ඇති අයුරු අපට දැක ගත හැකි වුණා.

අලු‍ත් අවුරුද්ද පිළිබඳව ඒ ජනතාව තුළ මෙන්ම වෙළෙඳුන්ටද ඇත්තේ බලාපොරොත්තු සහගත හැඟීමක්.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව, කොළඹ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදෙන ජනතාව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ, සොරුන් සහ කොල්ලකරුවන්ගෙන් ප්‍රවේසම් වී සාප්පු සවාරි කටයුතු වල නිරත විය යුතු බවයි.

එසේම ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන්ද අවධානයෙන් පසුවිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් වලට රාජ්‍ය අංශයේ අවශ්‍ය සහයෝගය සහ සහභාගීත්වය ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබෙනවා.

ඒ අදාළ කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු නිළධාරින් වෙත ලිපියක් යොමු කරමින්.

අලුත් අවුරුද්දට සමගාමීව දීර්ඝ නිවාඩුවක් යෙදී ඇති අතර අදාළ කාලසීමාව තුළ ආපදා සහ හදිසි කාර්යන් මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි එමගින් දන්වා ඇත්තේ.

රජයේ සංවර්ධන ව්‍යාපෘති ද බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙස එහි සඳහන්.

+


දිනකට දුම්රිය අවලංගුවීම් 30 කට ආසන්නයි

(06.04.2024 – 21:13 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය එන්ජින් නඩත්තුවට අවශ්‍ය පුහුණු සේවකයින්ගේ හිඟය හා අමතර කොටස් නොමැති නිසා දුම්රිය පීළිපැනීම, ප්‍රමාද වීම හා අවලංගු වීම නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මේ වනවිට දුම්රිය අවලංගුවීම් දිනකට 20-30 ප්‍රමාණයක් සිදුවන බවත්, දෛනිකව දුම්රිය ප්‍රමාද වීම සිදුවෙමින් තිබෙන බවත්, ගෙවීගිය සති කිහිපය සැලකීමේ දී දුම්රිය පීළි පැනීමේ සිද්ධීන් දෙකක් (2) වාර්තා වී තිබෙන බවත් එම සංගමය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවකයන් 20,222 ක් සිටිය යුතු බවත්, දැනට සේවය කරමින් සිටින්නේ 14,000 කට ආසන්න ප්‍රමාණයක් බවත්, 6,000 කට ආසන්න පුහුණු සේවක පුරප්පාඩු පවතින බවත් එම සංගමය ප්‍රකාශ කරනවා ෴


‘හිරු CIA’ හෙළි කළ වස කවන පාන් පිටි ජාවාරම ගැන අධිකරණයෙන් තීන්දුවක්

(06.04.2024 – 22:07 +0530 – hirunews.lk/sinhala)

කෘමිනාශක මිශ්‍ර කළ පාන් පිටි තොගයක් පිළිබඳව ‘හිරු CIA’ කළ අනාවරණයකින් පසු සිදු කළ පරීක්ෂාවකදී කැකිරාව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගත් රුපියල් කෝටි 10 ක ගම්මිරිස් තොගය අපනයනය කිරීම සඳහා කල ඉල්ලීමක් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අදාළ ව්‍යාපාරිකයාට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ අදාළ සිදුවීම සම්බන්ධ විමර්ශන සඳහා සහයෝගය ලබා දිය යුතු බවයි.

ගනේවල්පොල ප්‍රදේශයේ ගබඩාවක් තුල ගුල්ලන් ගසන ලද මිනිස් පාරිභෝජනයට නුසුදුසු පාන් පිටි තොගයක් කෘමි නාශක යොදා යළි වෙළඳපොළට එවීමෙ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව ‘හිරු CIA’ හරහා පසුගිය සතියේ අනාවරණය කලා.

අප ලබාදුන් තොරතුරු අනුව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ ස්ථානය වටලනු ලැබුවා.

අනතුරුව සිදුකළ විමර්ශනවලදී හෙළිවූයේ මීට පෙර අවස්ථාවලදීත් කෘමීන් ඉවත් කිරීමට කොළඹ ප්‍රදේශයේ ආයතනයකට රුපියල් ලක්‍ෂ පහකට (5,00,000) අධික මුදලක් මෙම ආයතනය විසින් ගෙවා ඇති බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අවස්ථා කීපයකදී මෙම ගබඩාවේ අයිතිකරුවන්ට ප්‍රකාශ ලබාදීමට කැඳවීම් කර තිබුණද ඔවුන් ඒ අවස්ථාවන් සියල්ල මගහැර තිබුණා.

අදාළ නඩුව ඊයේ (05) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති භාණ්ඩ වල රුපියල් කෝටි විස්සකට (20,00,00,000) ආසන්න ගම්මිරිස් තොගයක්ද පවතින බවයි.

එම ගම්මිරිස් තොගයෙන් රුපියල් කෝටි දහයක (10,00,00,000) පමණ කොටසක් අපනයනය සඳහා නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහජන පරීක්ෂකවරුන් පවසා සිටියේ අදාළ ගබඩාවේ මිනිස් පාරිභෝජනය නුසුදුසු ගම්මිරිස් තොගද විශාල ප්‍රමාණයක් පවතින බවයි.

එසේම මේ සඳහා සිදුකරන විමර්ශන කටයුතුවලට සැකකාර ව්‍යාපාරිකයා සහයෝගය ලබා නොදෙමින් නිලධාරින්න මගහරමින් සිටින බවද අධිකරණය හමුවේ දන්වා සිටියා.

මෙහිදී ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ ගබඩා සංකීර්ණය පවතින ලොරි රථය හෝ නිදහස් කරදෙන ලෙසයි.

එහිදී අධිකරණයට කරුණු දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දුන්නේ අදාළ ලොරි රථය තුළද කෘමි නාශක යෙදූ බවට සැක කෙරෙන පාන්පිටි තොග පවතින බවයි.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු කැකීරාව මහේස්ත්‍රාත්වරිය අදාල ව්‍යාපාරිකයාට නියෝග කලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරගෙන යන ඉදිරි විභර්ශන සඳහා සහයෝගය ලබා දිය යුතු බවයි.

මෙම නඩුව මැයි මස 09 වෙනි දින යළි කැඳවීමටත් නියෝග කෙරුණා.

මේ අතර කෘමි නාශක යෙදූ විෂ සහිත පාන් පිටි ජනතාවට බෙදාහැරීමට උත්සාහ ගත් ව්‍යාපාරිකයාට එරෙහිව ‘මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ නඩු පැවරිය යුතු බව’ පවසා ප්‍රදේශවාසීන් පිරිසක් කැකිරාව අධිකරණය අසල නිහඬ විරෝධතාවක නිරත වුණා ෴


ඇමති නිල නිවාසවල මන්ත්‍රීවරු තිදෙනෙක් (3) බලහත්කාරයෙන් පදිංචි වෙලා

(06.04.2024 – 23:04 +0530 – hirunews.lk/sinhala)

ඇමති නිල නිවාසවල නිති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනෙකු (3) ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අමාත්‍යවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් කටයුතුකරන අංශය මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට යොමුකර ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

මේ පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකුද සිටින බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ඇතැම් නිවාසවල ඔවුන්ගේ හිතවතුන්, ඥාතීන් සහ ආරක්ෂකයින්ද රඳවාගෙන සිටින බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් විමර්ශනයක් අරඹා තිබෙනවා ෴


Location – Bokundara

+


Location – Akurana 9th mile post

+


වි‍දෙස් ජාතික‍යෙක් දියේ ගිලී මරුට

(06.04.2024 – 07:23 +0530 – sinhala.adaderana.lk)

හික්කඩුව නගර ආසන්නයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ (05) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති බව ‍පොලීසිය පවසයි.

මෙම විදෙස් ජාතිකයා දිය නාමින් සිටියදී දියේ ගිලි ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ලිතුවේනියා ජාතිකයෙකි ෴


සැකකටයුතු මරණ දෙකක් (2)

(06.04.2024 – 08:37 +0530 – sinhala.adaderana.lk)

ඌරුබොක්ක කන්දෙකුඹුර ප්‍රදේශය තේ ඉඩමක ගල්තලාවක් මත සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි කන්දෙකුඹුර, බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ එම ප්‍රදේශයේ නිවසක ජීවත් ව සිට ඇති අතර පෙරේදා (04) මෙම පුද්ගලයා නිවසේ සිටියදී බිරිඳ රැකියාවට ගොස් ඇත.

බිරිඳ සවස නැවත නිවසට පැමිණිමේ දී ඔහු නිවසේ සිට නොමැති අතර පසුවදා උදෑසන ද ඔහු නිවසට නොපැමිණිම හේතුවෙන් සිදුකළ සෝදිසි කිරීමකදී නිවස ආසන්නයේ ගල් තලාවක තිබී ඔහුගේ සිරුර හමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි ෴

+

මේ අතර ගොකරැල්ල තලහින්න ප්‍රදේශයේ නිවසකින් දුගඳක් හමන බවට පොලීසියට ලද තොරතුරක් මත ගොකරැල්ල පොලීසිය සිදුකළ සෝදිසි කිරීමක දී එම නිවසේ තිබී මළසිරුරක් හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ තනිවම ජීවත්ව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා පසුගිය මාර්තු මස 28 වනදා ඔහුගේ දියණියගේ නිවසේ සිට පැමිණ මෙම නිවසසේ තනිවම ජීවත්ව සිට තිබේ.

මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව සෙයාගෙන නොමැති අතර පොලීස් පරීක්ෂණ සිදුකරන බව ගොකරැල්ල පොලීසිය පවසයි ෴


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

(06.04.2024 – 10:49 +0530 – sinhala.adaderana.lk)

ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබේ.

පොලීසිය පැවසුවේ මුලික විමර්ශන අවසන් වන තෙක් නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීහිපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඊයේ (05) මරදාන පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මරදාන පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (06) පස්වරුව තෙක් නිදහස් පක්‍ෂ මූලස්ථානයට ඇතුළුවීම වළක්වා ඇති බව ‘අද දෙරණ’ සිදුකළ විමසීමක දී වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.

කෙසේවෙතත් සිද්ධියට අදාළ නොවන නිදහස් පක්ෂ මුලස්ථානයේ ශ්‍රවණාගාරයට ඇතුළුවීම ද පොලීසිය වළක්වා ඇති බවට වැඩබලන මහලේකම්වරයා චෝදනා කළේය.

+


අවුරුදු නිවාඩුව ගැන රජයේ සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

(06.04.2024 – 16:24 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසටය.

එසේම මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට ද වැඩිදුරටත් අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

එසේම මේ වනවිට රජයේ සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් මෙම නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමට කටයුතු කරන ලෙසටද වැඩිදුරටත් දැනුම්දී තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *