සිරිසේන නැති අතරේ වැඩ දාන්න හැදූ සිරිපාලට ලැබුණු උත්තරේ

සිරිසේන නැති අතරේ වැඩ දාන්න හැදූ සිරිපාලට ලැබුණු උත්තරේ


සිරිසේන නැති අතරේ වැඩ දාන්න හැදූ සිරිපාලට ලැබුණු උත්තරේ

(06.04.2024 – 10:29 +0530 – hirunews.lk/sinhala)

හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වෙත යැවූ ලිපියට ඔහු පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.

ඒ අනුව එළඹෙන සඳුදා (08) පෙරවරු 10 ට දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා යවා තිබූ ලිපියට පිළිතුරු වශයෙන් එම පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ, කොළඹ දිසා අධිකරණයේ DSP/188/24 අංක දරණ නඩුවට අදාළව නිකුත් කරන වාරණ නියෝගයන් තවමත් තමා වෙත නොලැබී ඇති බැවින් හා එහි අන්තර්ගත කරුණු නොදැන මෙම අවස්ථාවේ කටයුතු කිරීමේ බලයක් තමාට නොමැති බවයි.

මේ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා විසින් යවන ලද ලිපිය මගින් එම රැස්වීමට පක්ෂයේ හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එම පක්ෂයේ සමාජිකයන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හා ෂාන් විජේලාල් ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙස දැනුම් දී තිබුණා.

කෙසේ නමුත් එම ලිපියට පිළිතුරු වශයෙන් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාර්ථී දුෂ්මන්ත මිත්‍රපාල සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්ව්මට නොහැකි බවයි.

තව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16 වගන්තිය අනුව ක්‍රියා කිරීමට තමා නෛතික ව බැඳි සිටින බව ද එම ලිපියේ සඳහන් ෴

+++++++

ශ්‍රීලනිප මූලස්ථානයේ උණුසුම් තත්ත්වයක්

(06.04.2024 – 10:51 +0530 – hirunews.lk/sinhala)

පාක්ෂිකයන්ට සහ සංවිධායකවරුන්ට ඇතුලුවිය නොහැකි ආකාරයට මේ වනවිට ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දොරටු පොලිසිය විසින් වසා දමා තිබෙනවා.

ඒ, පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, පක්ෂ මූලස්ථානයේ ලිපිගොනු කිහිපයක් අතුරුදන් බවට මරදාන පොලිසියට ඊයේ (05) සිදුකළ පැමිණිල්ලකට අදාළ විමර්ශන කටයුතු හේතුවෙන්.

ඒ අනුව එහි ආරක්ෂාව ද මේ වනවිට තරකර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ට යාබද ‘එක්සත් ජනතා නිදහස් සන්ධාන’ ගොඩනැගිල්ලෙහි අද (06) පෙරවරු 09:30 ට රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ ඉදිරි මැයි දින රැළිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

එහෙත්, මෙම ගොඩනැගිල්ලට කිසිඳු පුද්ගලයෙකුට ඇතුලුවීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා තමන් වෙත දැනුම්දීමක් කර තිබූ බව නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ‘හිරු ප්‍රවෘත්ති’ අංශයට ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් වැඩබලන මහ ලේකම්වරයා, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණා.

කෙසේ වෙතත් පෙර දැනුම්දී තිබූ පරිදි නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට රැඳී සිටිනවා.

ඔවුන් පැමිණීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක්ද හටගත් අතර, පිරිසක් පොලිසිය සමග සංවාදයේ නිරතවුණා.

එමෙන්ම පැමිණ සිටි සංවිධායකවරු එහිදී විරෝධතාවක නිරත වුණා.

මේ අතර, නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර ද එම ස්ථානයට පැමිණ සිටි අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද නිදහස් පක්ෂ මූලස්ථානය අසළින් මෝටර් රථයකින් ගමන් කර තිබුණේ එහි සිටි පිරිසට අත වනමින්.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ද නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබූ අතර, ඒ අසලට හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර ද පැමිණ සාකච්ඡාවක නිරතවන ආකාරය දක්නට ලැබුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමන් සැමදා කැපව කටයුතු කරන බවයි.

+


බෙරයක සැඟවූ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

(06.04.2024 – 21:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, කොටහේන ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී බෙරයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ ‘අයිස්’ සහ ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හමුවූ ජංගම දුරකතන සහ සිම්පත් පිළිබඳව මෙන්ම මෙම ජාවාරම මෙහෙයවන ජාලය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොටහේන, සුමිත්‍රාරාම මාවතේ නිවසක සූක්ෂම ලෙස බෙරයක් තුළ සඟවා තිබියදී මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුවයි.

‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ එකකට (1) අධික ප්‍රමාණයක් මෙන්ම හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක්ද එහිදී පොලිසිය සොයාගත්තා.

නිවසේ සිදුකළ සෝදිසිය අතරතුරදී සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතන කිහිපයක් සහ සිම්පත් කිහිපයක්ද පොලිසිය සිය භාරයට ගත්තා ෴

+++

මුල්ලේරියාවේ ප්‍රසිද්ධ පාසලක් අසල මත්ද්‍රව්‍ය තිප්පොළක් වටලයි

(06.04.2024 – 16:13 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව ප්‍රදේශයේ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

18 හැවිරිදි සහ 24 හැවිරිදි මෙම සැකකරුවන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් අසල කොණ්ඩා කපන ස්ථානයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කර ගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය, මදනමෝදක, ගංජා අඩංගු බියර් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ද පොලිසිය සොයාගත්තා.

පාසල් දරුදැරියන් එම ස්ථානයේ දීම මත්ද්‍රව්‍ය ලබාගෙන භාවිත කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

+


උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ මස අග ජනතා අයිතියට

(06.04.2024 – 16:20 +0530 – hirunews.lk/sinhala)

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක ධාරිතාවක් එක් කෙරෙන උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෙම මස අග භාගයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ 2011 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 513 ක මුදලක් වැය කර ඇති බවයි.

විදුලිබල උත්පාදනයෙන් පසු එම ජලය අලිකොට ආර, හදපානාගල සහ කුඩාඔය ජලාශ වෙත රැගෙන ඒමෙන් අනතුරුව කුඹුරු අක්කර 20,000 කට යල සහ මහ කන්න සඳහා ජලය සැපයීම සිදු කෙරෙනවා.

කිරිඳි ඔය ද්‍රෝණිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල හා මොණරාග දිස්ත්‍රික්කවල ජනතාවට මෙමඟින් පානීය ජලය සැපයෙන බවයි වාරිමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴


සිනමා කලාකරුවන්ගේ සුබසාධනයට විශේෂිත ණය යෝජනා ක්‍රමයක්

(06.04.2024 – 17:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට රජය සූදානම් වනවා.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මේ බව සදහන් කළේ, ඊට අදාළව ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙසයි ඊට එක් වූ කලාකරුවන් ගෙන් ඔහු ඉල්ලා සිටියේ ෴


මළ ගෙවල් දෙකක් (2) හැදූ මළ ගෙදර මත්පැන් සාදය

(06.04.2024 – 18:18 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව, කෝලිබැන්ද වැවේ දිය නාමින් සිටි දෙදෙනෙකු අද (06) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 සහ 38 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

මොවුන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව එම නිවස අසළ ඇති වැවේ දිය නෑමට තවත් පිරිසක් සමඟ ගොස් තිබෙනවා.

එහිදී සිව් (4) දෙනෙකු දියේ ගිලී අනතුරට ලක්වී ඇති අතර, ඉන් දෙදෙනෙකු (2) දිවි බේරා ගැනීමට සමත් වූවත් දෙදෙනෙකුට (2) දිවි අහිමිව තිබෙනවා.

අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ එම පිරිස අවමංගල්‍ය උත්සවය අතරතුරදී මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙලෙස වැවේ දියනෑමට ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි ෴


හරක් හොරුන්ට දැඩි දඬුවම්

(06.04.2024 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ගවයින් සොරකමේ යෙදෙන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10,000 ක දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය (10,00,000) දක්වා වැඩි කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එහිදී, ගවයින් සොරකමේ යෙදෙන්නන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කිරිමට නව පනතක් ගෙන එන බව‍යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා පවසන්නේ එම වැරදිකරුවන්ට එරෙහිව එම පනත මඟින් නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන මෙම සොරුන් දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී වැඩකටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *