රිමාන්ඩිත කෙහෙළියට තවත් ලෙඩක්

රිමාන්ඩිත කෙහෙළියට තවත් ලෙඩක්


රිමාන්ඩිත කෙහෙළියට තවත් ලෙඩක්

(05.04.2024 – 23:29 +0530 – hirunews.lk/sinhala)

= රිමාන්ඩ් ඉන්න කෙහෙළියට තවත් ලෙඩක් =

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලිකව පෙනීම අහිමි වූ රෝගියෙකු හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් හා තවත් අටදෙනකු (8) ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා.

ඒ ඔහුගේ ඇස්වලට සිදු වූ හානිය සහ ඔහුගේ ජීවිතයට ඇති විය හැකි තර්ජන හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

අදාළ පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ වන්දි මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජනක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල පෞද්ගලික සමාගමට එරෙහිව මෙසේ එන්තරවාසි යවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා 2023 අප්‍රේල් 05 වන දින නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහායි.

එහිදී එම ශල්‍යකර්මයෙන් පසු අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ ඇසට යොදා ඇති අතර 2023 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම, ඇසේ අපහසුතා, වේදනාව සහ හිසරදය ඇති වූ බවයි ඔහු පවසන්නේ.

පසුව ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවූ බවත්, පරීක්ෂණවලට අනුකූල නොවීම හේතුවෙන් එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත්, එම ඖෂධය භාවිත කළ රෝගීන්ට ‘එන්ඩොෆ්තැනයිටිස්’ රෝගය වැළඳී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා ෴


වෛද්‍ය චමල් සංජීව යළි සක්‍රීය සේවයට

(05.04.2024 – 22:54 +0530 – hirunews.lk/sinhala)

වැඩ තහනමට ලක්ව සිටින ‘වෛද්‍ය චමල් සංජීව’ යළි සේවයේ පිහිටුවන ලෙසට නිර්දේශ කර තිබෙනවා.

‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව’ විසින් ‘සෞඛ්‍ය අමාත්‍යාංශය’ට මෙසේ නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.


සූර් වුණු පොලිස් පරීක්ෂකවර‍යා හෝටලයකට ගල් ගහලා

(06.04.2024 – 07:07 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් බීමතින් පැමිණ හෝටලයට හානි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරියෙකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් හේතුවෙන් මෙසේ එම හෝටලයට හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩොල්සිම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින 56 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ෴


මාරක අනතුරක් නිසා බුලත්සිංහල නොසන්සුන් වෙයි

(06.04.2024 – 07:30 +0530 – hirunews.lk/sinhala)

බුලත්සිංහල හල් වතුර ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රි 07:30 ට පමණ සිදු වූ අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

ඉංගිරිය සිට බුලසිංහල බලා ගමන් කරමින් තිබූ යතුරු පැදියක මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ගැටීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ අනතුරින් පසු ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් යතුරුපැදියට ගිනි තබා ඇති බවයි.

ඒ අනුව එම ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිවී ඇති අතර බුලත්සිංහල පොලිසිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් ෴


ජරමර අස්සේ ශ්‍රිලනිප මූලස්ථානයේ වැදගත් ලිපිගොනු රැසක් අතුරුදන්

(06.04.2024 – 08:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇතැයි, එම පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ‘හිරු නිවුස්’ කළ විමසීමක දී මරදාන පොලිසිය සඳහන් කළේ, එලෙස අස්ථානගත වී ඇති ලිපිගොනු අතර එම පක්ෂයේ පරිපාලන කටයුතුවලට ඉතා වැදගත් වූ ලිපිගොනු කිහිපයක් ද තිබී ඇති බවයි.

මේ අතර මරදාන පොලිසිය පැවසුවේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබුණු ඊයේ (05) දිනයේ දී ඊට අදාළව පරීක්ෂණ ආරම්භ කළ බවයි.

එසේ ම එම පැමිණිල්ලට අදාළව සිදු කරන විමර්ෂණවලට ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සේවකයන් ඇතුළු කීහිපදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් මරදාන පොලිසිය පවසනවා.

ඉකුත් දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා ෴


පූජ්‍ය පක්ෂයේ 49 ක් හිරේ : ඉන් 35 ක් ම භික්ෂූන්

(06.04.2024 – 08:58 +0530 – hirunews.lk/sinhala)

සියලු ම ආගම්වලට අයත් පූජ්‍ය පූජක 49 දෙනෙකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බවත්, එම රැඳවියන්ගෙන් 35 දෙනෙකු ම බෞද්ධ භික්ෂූන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක ‘හිරු නිවුස්’ වෙත සඳහන් කළා.

එම රැඳවියන් අතර ඉස්ලාම් පූජකයන් 8 දෙනෙකු, හින්දු පූජකයන් දෙදෙනෙකු (2), කතෝලික පූජකවරයෙකු (1) සහ සෙසු ආගම්වල තිදෙනෙකු (3) සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මෙම රැඳවියන්ගෙන් 16 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ද පස් දෙනෙකු (5) මීගමුව බන්ධනාගාරෙයේ රඳවා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, බන්ධනාගාරගතව සිටින පූජ්‍ය පූජකවරුන් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරය වන ඇතැම් තොරතුරු සත්‍ය නොවන බව පවසමින් ෴


මඩකලපුව ප්‍රදේශයේ ව්‍යාජ කච්චේරියක් වටල‍යි

(06.04.2024 – 09:41 +0530 – hirunews.lk/sinhala)

කාත්තන්කුඩි පොලිස් වසමේ නොචිචිමුනේ, මඩකලපුව ප්‍රදේශයේ නිවසක් තුල ඉතා සූක්ෂමව හොර රහසේ නීති විරෝධීව පවත්වාගෙන ගිය කූඨ ලේඛණගාරයක් සමග සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාත්තන්කුඩි පොලිස් වසමේ 243/106 දරිසනම් පාර, නොචිචිමුනේ, මඩකලපුව ප්‍රදේශයේ දී ඊයේ (05) මෙම වැටලීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී තම නිවස තුල කූඨ ලේඛණ සකස්කර ලඟ තබාගෙන සිටි නොචිචිමුනේ, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු එම කූඨ ලේඛණ සැකසිමට යොදා ගන්නා ලද භාණ්ඩ ද සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම වැටලීමෙන් පොලිස් භාරයට ගත් භාණ්ඩ :

1) හිස් ඉඩම් ඔප්පු පොරම් 205 යි.
2) හිස් ත්‍යාග ඔප්පු පොරම් 58 යි.
3) හිස් ඉඩම් පැවරුම් පොරම් 63 යි.
4) හිස් ඉඩම් බලපත්‍ර 300 යි.
5) විවිධ නිලධාරින්ගේ ආදර්ශ අත්සන් සහිත පත්‍රිකා 30 යි.
6) විවිධ පුද්ගලයින් 12 දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් වල ජායා පිටපත් 12 යි.
7) පුද්ගලයින් තිදෙනෙකු (3) ගේ රියදුරු බලපත්‍ර ජායා පිටපත් 03 යි.
8) ව්‍යාජ ඔප්පු සකස් කිරිම සදහා යොදා ගන්නා ලද ලිපි ගොණු 135 යි.
9) ව්‍යාජ ‍ලෙස සකස්කරන ලද රබර් මුද්‍රා 19 යි.
10) අංක 089504 දරණ එල්.ජි. වර්ගයේ CPU 01 යි.
11) අංක NQSA267376 දරණ Canon වර්ගයේ පින්ටර් යන්ත්‍ර 01 යි.
12) NO-M-103 දරණ KOVAC වර්ගයේ ඉංග්‍රිසි යතුරු ලියන 01 යි.


සිර ගෙදර දී ඥානසාර හිමිට වෙනත් පැහැයක ජම්පරයක්

(06.04.2024 – 09:48 +0530 – hirunews.lk/sinhala)

වසර හතරක (4) සිර දඬුවම් ලැබ බන්ධනාගාරගත කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමිට සිරකරුවෙකුට ඇඳීමට සුදුසු වෙනත් පැහැයක ඇඳුමක් ලබා දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක ‘හිරු නිවුස්’ වෙත පැවසුවා.

ඔහු පැවසුවේ අනෙක් රැඳවියන් වෙත ලබා දී ඇති සුදු පැහැති ජම්පරයේ ආකෘතියට ම සාදන ලද සුදු පැහැයෙන් මදක් වෙනස් වූ පැහැයක් ඥානසාර හිමි වෙත ලබා දී ඇති බවයි.

ඉකුත් 2016 වසරේ දී ජාතික සමගිය සහ ආගමික සංහිඳියාවට හානි වන අන්දමේ ප්‍රකාශයක් කිරීමේ සිදු වීමක් සම්බන්ධයෙන් වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක (4) බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය ඉකුත් 28 වැනි දා කටයුතු කළා ෴


බ්‍රිතාන්‍ය සංචාරකයන්ට ලංකාව ගැන දුන් අවවාද රැසක් ඉවතට

(06.04.2024 – 14:02 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමේ දී, බ්‍රිතාන්‍ය රජය විසින් පනවා තිබූ සංචාරක උපදේශනය, 2024 අප්‍රේල් 05 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි යාවත්කාලීන කර තිබෙනවා.

එක්සත් රාජධානිය විසින් අදාළ තීරණය ගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සැලකිල්ලට ගෙනයි.

මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයට අදාළ වන අයුරින් එක්සත් රාජධානිය විසින් පනවා තිබූ සංචාරක උපදේශනයට, හදිසි වෛද්‍ය සේවා, ඇතුල්වීමේ ආරක්ෂාව, මාර්ග ආරක්ෂාව, සමස්ත ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රවේශය වැනි විවිධ ක්ෂේත්‍ර යටත්ව තිබුණා.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය රජය සිය සංචාරක උපදේශනයෙන් ශ්‍රී ලංකාවට අදාළව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය මෙන්ම සෞඛ්‍ය සේවාවන්හි සීමාවන් පිළිබඳ මතු කර තිබූ කනස්සල්ල ඉන් ඉවත් කර තිබෙනවා ෴


සාමාන්‍ය පෙළ 10 වසරට ?

(06.04.2024 – 15:49 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2025) සිට වයස අවුරුදු 4 සම්පූර්ණ වූ කිසිදු දරුවෙකුට පෙරපාසැල් අධ්‍යාපනය ලබා නොදී නිවසේ තබා ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඉඩ ඇති හා වැසීගෙන යන සියලුම පාසල්වල පෙරපාසල් දරුවන් වෙනුවෙන් පංති කාමරයක් වෙන් කරන බවයි කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ.

කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත නව තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීම සහ STEM මධ්‍යස්ථානය හා සූර්ය බල පද්ධතිය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා :

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපි එක, හය, දහය (1-6-10) නියමු ව්‍යාපෘතිය පටන් ගන්නවා තව සති දෙක තුනකින්. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ දහතුන (13) වසර දොළහට (12) ගේන්න. එකොළහ (11) දහයට (10) එනවා. ඒක එකපාර කරන්න බෑ. ලබන ජනවාරියේ ඉඳලා කිසිම දරුවෙක් අවුරුදු හතර (4) සම්පූර්ණවූ පසු පෙරපාසැල් අධ්‍යාපනය ලබා නොදී ගෙදර තියාගෙන ඉන්න බෑ.”

+


මධ්‍යම පරිසර අධිකාරිය සහ පොලිසිය එකට එක්වෙයි

(06.04.2024 – 17:08 +0530 – hirunews.lk/sinhala)

පරිසර ගැටලු විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එහි මූලික සාකච්ඡාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ යන පිරිසගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ දී පසුගියදා පවත්වා තිබෙනවා.

පාරිසරික ගැටලු කඩිනමින් විසඳීම සහ පරිසර හානි සිදු නොකිරීමට මහජනතාව පෙළඹවීම මගින් ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කිරීම මෙම නව වැඩසටහනෙහි අරමුණයි.

එහිදී ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පරිසරයට හානිකර කටයුත්තක් සිදුවන අවස්ථාවක මධ්‍යම පරිසර අධිකාරියට ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව ක්‍ෂණිකව ක්‍රියා කළ හැකි වැඩපිළිවෙළක් සැකසීමට අවශ්‍ය ප්‍රධාන කරුණු කෙරෙහි එම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබෙනවා.

ඒ අනුව, මූලික අදියරේ දී ප්‍රධාන වශයෙන් ප්‍රජා ඝෝෂා පාලනය, වාහන දුම් පරීක්ෂාව, වාහන නලා ශබ්ද පාලනය, පොලිතීන් මිශ්‍ර කසළ විවෘත පරිසරයේ පිළිස්සීම, නීතියෙන් තහනම් කළ පොලිතීන් වැටලීම්, කැලි කසළ ජල මාර්ග හා තෙත්බිම් ඇතුළු පරිසරයට මුදා හැරීම සහ නීති විරෝධී කැණීම් හා ගොඩකිරීම් සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත බවයි එම අධිකාරිය පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *