රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ්

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ්


රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ්

(05.04.2024 – 14:48 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මතයි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඊයේ (04) අත්අඩංගුවට ගැනුණේ ෴


වැඩතහනමට ලක්වූ නීතීඥවරයාට ඇප

(05.04.2024 – 14:17 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්වූ නීතිඥවරයෙකු වන සුසිල් ජයතුංග ඇප මත මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ පහක (5) පුද්ගලික ඇප මත මුදා හැරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ.

සෑම මසකම පළමු සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත්, සෑම මසකම දෙවන සහ හතර වන සඳුදා පොළොන්නරුව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් නියෝග කෙරුණා.

අදාළ ඇප කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගත කරන බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ෴


අද (05) සිට ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි

(05.04.2024 – 14:29 +0530 – hirunews.lk/sinhala)

දෘෂ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී අද (05) සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, දහවල් 12:12 ට බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.

මේ අතර බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අද (05) පස්වරු දෙකෙන් (02:00) පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම වයඹ පළාතට සහ මන්නාරම හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර, අද (05) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 79.8 පස්යාල ප්‍රදේශයට ලැබී තිබෙනවා.

උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.3 වාර්තා වුණේ වවුනියාව ප්‍රදේශයෙන් ෴


දයාසිරිගෙන් සජිත්ට සහතිකයක්; මෛත්‍රීට චෝදනාවක්

(05.04.2024 – 15:23 +0530 – hirunews.lk/sinhala)

සජිත් ප්‍රේමදාස දූෂිතයෙකු නොවන බවත් ඔහු විපක්ෂයේ සිට රටට වැඩ කරන එක ම නායකයා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

කෙසේවෙතත් අධිකරණය විසින් ඊයේ (04) ශ්‍රිලනිප සභාපති ධුරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට දුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ, තමන් එම පක්ෂයේ රැඳී සිටියා නම් මේ දේ සිදුවීමට නොදෙන බවයි.

තවද පක්ෂය මේ වනවිට බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත්, ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මෙන්ම ඔහු වටේ සිටි පිරිස් ද වගකිව යුතු බවයි මන්ත්‍රීවරයා අප සාකච්ඡාවේදී පැවසුවේ.

එසේම මෙවන් වාතාවරණයක් තුළ පක්ෂයේ සභාපතිකම තමා වෙත ලබා ගැනීමේ කිසිදු වුවමනාවක්ද නැති බවයි හිටපු මහ ලේකම්වරයා සඳහන් කළේ.

+


මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5 ට ළං වෙයි

(05.04.2024 – 17:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 9.6% කින් මාර්තු මාසය තුළ දී ඉහළ ගොස් තිබෙනවා.

එහිදී 2024 පෙබරවාරි මාසය අවසානයේ දී මහ බැංකුව සතුව පැවති ඩොලර් බිලියන 4.48 ක්වූ විදේශ විනිමය සංචිතය 2024 මාර්තු මාසය අවසන් වන විට ඩොලර් බිලියන 4.91 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.

මේ අතර 2024 මාර්තු මාසය තුළ දී මහ බැංකුව සතු රන් සංචිතය ද ඩොලර් මිලියන 31 සිට ඩොලර් මිලියන 34 ක් දක්වා 9.1% කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා ෴


‘සයිබර් ආරක්ෂාව’ පාසල් විෂය මාලාවට

(05.04.2024 – 17:51 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2025) සිට පාසල් දරුවන්ට ‘සයිබර් ආරක්ෂාව’ විෂයයක් ලෙස හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ සංවිධානය කළ සය (6) මාසික පුහුණුව අවසානයේ ‘ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ’දී පසුගියදා පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය අංශයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් හා මාධ්‍යවේදීන් සඳහා මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

රාජ්‍ය ආයතන 37 ක නිලධාරීන් 60 ක් සහ මාධ්‍යවේදීන් 40 ක් වෙනුවෙන් මෙහිදී සහතිකපත් ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වෙනවා.

එහිදී රාජ්‍ය ඇමැතිවරයා දැක්වූයේ මෙවන් අදහසක් :

“සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මාස හයක (6) කාලයක් රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට පුහුණුව දී තිබෙනවා. එයින් දෙන සහතිකය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක්. මේ වැඩසටහන සම්බන්ධයෙන් බොහෝ කලක් කතා කළා. ඉතිහාසයේ පළමු වරට මෙවැනි ආකාරයේ සහතිකයක් නිකුත් කර තිබෙනවා. එහි පළමු කණ්ඩායම ලෙස මේ කණ්ඩායම සහතික ලබනවා. ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ, ආයතනවලින් මේ කණ්ඩායම තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මේ නිලධාරීන්ට ලොකු ගමනක් යන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් වශයෙන් රාජ්‍ය අංශයේ සෑම ආයතනයකටම බඳවා ගන්නට බලාපොරොත්තු වෙනවා. එක් පැත්තකින් සයිබර් ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වෙනවා මෙන්ම ඩිජිටල්කරණය සඳහා නායකත්වය දෙන කණ්ඩායමක් මෙලෙස පුහුණු කරනවා. 2006 වසරේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අපේ රටේ රාජ්‍ය සේවය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා..”

එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ ලබන වසරේ සිට පාසල් දරුවන්ට ‘සයිබර් ආරක්ෂාව’ විෂයයක් ලෙස හඳුන්වා දෙන්න බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් :

“ඒ වගේම අපේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද අපි පියවර ගතයුතු වෙනවා. මාධ්‍යවේදීන්ට ද මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරෙනවා. එය රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා වන්නේ නැහැ. ගම් මට්ටම දක්වා මහජනතාව, දරුවන් දැනුවත් කළ යුතු වෙනවා. ලබන වසරේ (2025) සිට පාසල් දරුවන්ට ‘සයිබර් ආරක්ෂාව’ විෂයයක් ලෙස හඳුන්වා දෙන්න බලාපොරොත්තු වනවා” ෴


වාහන 51 ක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

(05.04.2024 – 18:10 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51 ක් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළා.

ඒ, අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් අද (05) සලකා බැලූ අවස්ථාවේදීයි.

2015 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ නීති විරෝධී ලෙස වාහන 51 ක් ලියාපදිංචි කිරීමේ සිද්ධීන් ගැන එම කොමිසම විමර්ශන සිදු කරන අතර, ඊට අදාළවයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ෴


ජනතා විරෝධය මැද ඇමති ඩග්ලස් දේවානන්දා යතුරුපැදියකින් පලායයි

(05.04.2024 – 19:11 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය පොන්නාවේලි ප්‍රදේශයේ සිමෙන්ති කර්මානත ශාලවක් විවෘත කිරීමට එහි ගිය අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දැඩි ජනතා විරෝධය මධ්‍යයයේ එම ස්ථානයෙන් හරවා යවා තිබෙනවා.

සිමෙන්ති නිෂ්පාදනය සඳහා පොන්නාවේලි ප්‍රදේශයෙන් හුණුගල් ලබා ගැනීමට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවැත්වෙන පසුබිමකයි අමාත්‍යවරයා එහි ගොස් තිබුණේ.

අමාත්‍යවරයා එහි පැමිණිමෙන් අනතුරුව විරෝධතාකරුවන් උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කර ඇති අතර, ඔවුන් හා අමාත්‍යවරයාගේ පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

කෙසේ නමුත් අවසානයේ විරෝධතා මැද ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා යතුරුපැදියකින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා ෴


මොරටුව, එගොඩඋයන උණුසුම් වෙයි

(05.04.2024 – 20:35 +0530 – hirunews.lk/sinhala)

මොරටුව එගොඩඋයන වෙරළ තීරයේ ඉදිකර තිබූ නිවාස ඇතුළු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද (05) පියවර ගත්තා.

පොලිස් ආරක්ෂාව මැද අධිකරණ නියෝගයක් මත එම පියවර ගත්තද නිවාසවල පදිංචිකරුවන්ගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්.

මොරටුව එගොඩඋයන වෙරළ තීරයේ ඉදිකර තිබු අනවසර නිවාස 22 ක් කඩා ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ නිලධාරීන් සහ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් අද (05) පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා.

එහිදි එම නිවාසවල පදිංචිකරුවන් දැඩි විරෝධයක් එල්ල කළ අතර, නිලධාරීන් සහ පදිංචිකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

තම නිවස කඩා ඉවත්කිරීමට විරෝධය පළ කරමින් පුද්ගලයෙක් සිය සිරුරට ගිනි තබා ගැනීමට ද උත්සහ කළා.

පසුව ඔහු නිවසේ වහලය මත නැග විරෝධතාවක ද නිරත වුණා.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයකට අනුව මෙම නිවාස ඉවත් කිරීමට පියවර ගත් බවයි වෙරළ සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් එම නිවාසවල පදිංචිකරුවන් මීට පෙර දැනුම්වත් කර තිබු බවත් එහිදී නිලධාරීන් පැවසුවා.

ඒ අනුව එම නිවාස කඩා ඉවත් කිරීමටයි පියවර ගැනුණේ.

+


‘දුන්හිඳ ඔඩිසි’ ගමන් අරඹයි

(05.04.2024 – 21:43 +0530 – hirunews.lk/sinhala)

ලොව ආකර්ෂණීයම දුම්රිය ගමනාන්තයක් ලෙස සැලකෙන බදුල්ල දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ වී අදට වසර 100 ක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් ‘දුන්හිඳ ඔඩිසි’ නමින් නව සංචාරක දුම්රියක්ද අද (05) සිට ධාවනයට එක් කෙරුණා.

කොටුව දුම්රිය ස්ථානයෙන් අද (05) පෙරවරුවේ ගමන් ඇරඹි ‘දුන්හිඳ ඔඩිසි’ මංගල ගමනට ‘හිරු’ත් එක්වුණා.

මෙරට ප්‍රවාහන ක්ෂත්‍රයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සටහන් කරමින් ලංකාවේ දුම්රිය ගමනාගමනය 1864 වසරේදී ආරම්භ කෙරුණා.

කොළඹ සිට අඹේපුස්ස දක්වා බ්‍රිතාන්‍ය රාජකීයයන් රැගත් මංගල දුම්රිය ගමන් වාරයෙන් පසු අදියර කිහිපයක් යටතේ දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දීර්ඝ කෙරුණු අතර කොළඹ සිට බදුල්ල දක්වා පළමු දුම්රිය ධාවනය සිදුවුණේ.

1924 වසරේ අප්‍රේල් 05 වැනිදා , එනම් මීට වසර 100 කට පෙරයි.

ලොව ආරක්ෂණීයම දුම්රිය ගමනාන්තයක් බවට පත්ව ඇති බදුල්ල – කොළඹ දුම්රිය ගමනට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ‘දුන්හිඳ ඔඩිසි’ නමින් අද (05) නව දුම්රියක් ධාවනය කිරීම ආරම්භ කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

‘දුන්හිඳ ඔඩිසි’ දුම්රිය ගමනේදී , දෙස් විදෙස් සංචාරක ආකර්ෂනය දිනා ඇති හෝස්ටේල් දියඇල්ල, ශ්‍රී පාද කන්ද, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ද දර්ශනය වන අතර, මෙරට දුම්රිය මාර්ගයේ උසම ස්ථානය ලෙස හැඳින්වෙන ‘සමිට් ලෙවල්’ මෙන්ම, දෙමෝදර ආරුක්කු 09 පාලම ආදී සුන්දර ස්ථාන නැරඹිය හැකි වන පරිදි ධාවනය කෙරෙනවා.

මීට සමගාමීව ‘ගැලැක්සි ශෝ’ නමින් නැරඹුම් මැදිරි සහිත දුම්රියක් බන්ඩාරවෙල සිට දෙමෝදර දක්වා ගමන් කරවීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

පළමු (1) පන්තියේ මැදිරි 04 ක් දෙවන (2) පන්තියේ මැදිරි 03 කින්ද සමන්විත ‘දුන්හිඳ ඔඩිසි’ දුම්රිය සෑම අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනවා.

සතියේ සෑම සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනවල ‘දුන්හිඳ ඔඩිසි’ බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය කෙරෙනවා.

මෙරටට මෑත කාලීනව හඳුන්වා දුන් ‘ඔඩිසි’ දුම්රිය පවුලට එක්වූ නව සාමාජිකයා වන ‘දුන්හිඳ ඔඩිසි’ අද (05) සිට මෙරට සංචාරක කර්මාන්තයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *