ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී

ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී


ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී

(05.04.2024 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන ‘නිදහස ජනතා සභාවේ’ ප්‍රබලයන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ ගිවිසුමකට එළඹුණා.

‘සමගි ජන සන්ධානය’ ලෙසින් එළි දැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ‘නිදහස් ජනතා සභාව’ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් අතරයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (05) පැවැති මෙම ගිවිසුම්ගත වීමේ උත්සවයට සමගි ජන බලවේගයේ ප්‍රබලයන් රැසක් මෙන්ම ‘නිදහස ජනතා සභාවෙන්’ ඉවත් වී ‘සමගි ජන සන්ධානය’ සමඟ අත්වැල් බැඳගන්නා මහාචාර්ය ජී.එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් එක්ව සිටියා.

මෙම පිරිස ඉකුත් කාලය පුරාවට ‘සමගි ජන බලවේගය’ සමග දේශපාලනයේ නියැලුණු අතර ඔවුන් අද (05) සිට නිල වශයෙන් සමගි ජන සන්ධානයේ සාමාජිකයින් වනු ඇති.

මේ අතර ඊයේ (04) මාධ්‍ය හමුවක දී ‘සමගි ජන බලවේගයේ’ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කියා සිටියේ එළඹෙන මැතිවරණ ඉලක්ක කරගෙන ගොඩ නැගෙන මෙම සන්ධානය මැතිවරණ ජයග්‍රහණය කිරීම, ආණ්ඩු බලය ලබා ගැනීම සහ ඉදිරියේ දී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු රජයක වැඩකටයුතු සිදුවන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම සන්ධානයට අදාළ ගිවිසුම අත්සන් කරන බවයි.

+

+


අලුත් අවුරුද්දට අද (05) සිට විශේෂ බස් සේවා

(05.04.2024 – 09:46 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (05) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බස් රථ 1,000 ක් පමණ යෙදවීමට කටයුතු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ලලිත් අල්විස් කියා සිටියේ.

මේ අතර ලබන 09 වනදා සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.

එමෙන්ම අලුත් අවුරුදු සමය වෙනුවෙන් සකස් කර ඇති විශේෂ දුම්රිය ධාවන සැලස්ම ලබන 10 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ සඳහන් කළේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් මෙරට දුම්රිය සේවාව ආරම්භ කර, අදට (05) වසර 100 ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ දුම්රියක් කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා අද (05) පෙරවරුවේ ගමන් ආරම්භ කළා.

‘දුන්හිඳ ඔඩිසි’ ලෙස එය නම් තිබෙනවා ෴


ලක්සල හිටපු සභාපතිට සහ කළමනාකාර අධ්‍යක්ෂිකාවට අල්ලස් කොමිසමෙන් නඩු

(05.04.2024 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ලක්සල ආයතනයේ හිටපු සභාපතිවරයාට සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ, හස්ත කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අභිබවා යමින් ලක්සල අලෙවිසැළක් ජාතික කෞතුකාගාර භූමියේ ඉදිකිරීමේදී සුදුසුකම් නොමැති කොන්ත්‍රාත්කරුවෙකුට අයුතු අනුග්‍රහයක් දක්වමින් කොන්ත්‍රාත්තු ප්‍රදානය කර රජයට අයුතු අලාභයක් සිදුකිරීමේ චෝදනාවටයි.

ඒ අනුව ඊයේ (04) දිනයේදී සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ බවයි ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ සඳහන් කළේ ෴


වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවයි

(05.04.2024 – 10:29 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද අවසන් වනතෙක් වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ කියා සිටියේ ගොවීන් වී අලෙවි කළ පසු ඊට අදාළ මුදල් බැංකු මගින් ගැනීමට යාමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් සළකා මෙම තීරණය ගත් බවයි.

ඊයේ (04) දිනය වනවිට වී කිලෝග්‍රෑම් ලක්ෂ 40 ක් පමණ වී අලෙවි මණ්ඩලය විසින් මිලට ගෙන තිබුණා.

ඉන් 90% ක් ‘රතු නාඩු’ වන අතර, සම්බා හා ‘කීරි සම්බා’, වී අලෙවි මණ්ඩලයට ගොවීන් අලෙවි නොකරන බවයි එම මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ.

‘ගොවි භාරකාර අරමුදල’ විසින් වී මිල දී ගැනීමට රුපියල් මිලියන 100 ක මුදලක් ලබාදුන් අතර, එම මුදල් වහාම එම අරමුදලට නැවත ගෙවන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ රජය විසින් ලබාදුන් රුපියල් මිලියන 500 ක මුදල උපයෝගී කරගනිමින් වී මිලට ගන්නා ලෙසයි ෴


“මහ මැතිවරණයකට මුදල් වෙන් කර නැහැ! ජනපතිවරණයට විතරයි!” – සුසිල් ප්‍රේම්ජයන්ත් කියයි

(05.04.2024 – 11:16 +0530 – hirunews.lk/sinhala)

මෙම වර්ෂයට (2024) අදාළව මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයකට බවත්, මහ මැතිවරණයකට නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, මේ වසර (2024) තුළ නීත්‍යනුකූලව පැවැත් වීමට නියමිතව ඇත්තේ, මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවයි.

‘ජාතික විද්‍යා පදනම’ විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එහි දී අධ්‍යාපනයට අදාළව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළ ව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති බවත්, ඉදිරි සති කිහිපය ඇතුළට ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බවයි.

තව ද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂකවරුන් 35,000 ක් හා උසස් පෙළ විභාග පරීක්ෂකවරුන් 19,000 පමණ සිටින බවත්, මේ සියලු දෙනාට සෑහීමකට පත් විය හැකි මට්ටමේ දීමනාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහි දී පැවසුවා ෴


පළාතට වැඩක් කරන්න මන්ත්‍රීවරු මුදල් ඉල්ලයි

(05.04.2024 – 11:34 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා අරමුදලින් මන්ත්‍රීවරුන්ට දුන් විමධ්‍යගත මුදල්, විශේෂ චක්‍රලේඛයකින් සීමා කිරීමෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ජනපතිට සහ අගමැතිට පැමිණිලි කර ඇතැයි තොරතුරු වාර්තා වෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද දැඩි ලෙස චෝදනාවලට ලක් වී තිබෙනවා.

එහිදි ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම චක්‍රලේඛය වහා ඉවත්කරගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ රටේ පවතින පොදු ආර්ථික තත්ත්වය තුළ මන්ත්‍රීවරුන්ගේ යම් ඉල්ලීම් ඉටු කිරීමට ගැටලු පවතින බවයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට කැබිනට් තීන්දුවට අදාලව පළාත් සභා මුදල් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කෙරෙන බවත්, මුදල් වෙන් කිරීමේදී ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ ව්‍යවසාය සංවර්ධනයට බවත් ඔහු සඳහන් කළා ෴


‘මිනි බසයෙන්’ හරක් ඇද්ද කොස්තාපල්ට සිදුවුණු දේ

(05.04.2024 – 11:44 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව ගවයින් අට දෙනකු (8) මිනි බසයකින් ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු (3) සැකපිට අත්අඩංගුවට ගත් පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (4) අලුයම් කාලයේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් යාපනේ පන්නේ ප්‍රදේශයේදී කළ පරීක්ෂාවක දී බවයි වර්තා වුණේ.

කයිට්ස් පුන්කුඩුතිව් ප්‍රදේශයේ සිට බලපත්‍රයක් නොමැතිව ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා යාපනය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන්නෙකු බවයි වාර්තා වන්නේ ෴


පඬුකරඳ පැළ ඉල්ලපු අය පැළ ගෙනිහින් නැහැ

(05.04.2024 – 12:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ මෙරට මහත් ආන්දෝලනයක් ඇතිකළ ‘කෲඩියා සෙලනිකා’ හෙවත් ‘පඬුකරඳ’ ශාකයෙහි පැළ රෝපණය කිරීම සඳහා ලබා දෙන ලෙස ඉල්ලීම් කළ පිරිස් ඒවා ලබා ගැනීමට නොපැමිණෙන බව ‘ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ’ අධ්‍යක්ෂවරිය පවසනවා.

එහිදී මෙම ශාකය වඳවී යන ශාකයක් බවත්, එය රැක ගැනීම සඳහා ඉදිකෙරෙමින් පවතින් අධිවේගී මාර්ගය දෙපස රෝපණය කිරීමට ලබා දෙන ලෙස ඉල්ලීම් සිදුකළ කිසිවෙකුත් මෙතෙක් එම පැළ ලබා ගැනීමට නොපැමිණි බවයි ඇය පැවසුවේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවෙනි (1) පියවරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ එම අධිවේගී මාර්ගය හරහා වැටී ඇති බව පවසමින් ඉවත් කිරීමට සූදානම් වූ පඬුකරඳ ශාකය පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක් වුණා.

ඒ එම ශාකය වඳවී යන දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් වීම හේතුවෙන්.

කෙසේවෙතත්, පසුගිය වසරේ ජූලි මාසයේදී එම ගස එම ස්ථානයෙක් ඉවත්කර ඊට ආසන්න ප්‍රදේශයක වලදමා තිබියදී සොයා ගැණුනා.

අනතුරුව ගොඩගත් එම ශාකයේ කොටසක් රැගෙන ගොස් ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ නැවතත් රෝපණය කරනු ලැබුවා ෴


දශකයකට පසු දඹුල්ලෙන් අඩුම එළවලු මිලක්

(05.04.2024 – 13:19 +0530 – hirunews.lk/sinhala)

වසර 10 කට පමණ පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් ඉතා පහළ අගයකට පැමිණ තිබෙනවා.

එම ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පවසන්නේ දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල පහළ ගොස් ඇති බවයි.

පසුගිය කාලයේ සීඝ්‍ර ලෙස ඉහළ ගිය එළවලු මිල ගණන් මේ වන විට ඉතා පහළ මට්ටමකට පැමිණ තිබෙනවා.

ඒ අනුව, වසර 10 කට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අවම එළවළු මිල ගණන් මේ වන විට වාර්තා වී ඇති අතර, එම වෙළදුන් පවසන්නේ.

දෛනිකව ලැබෙන එළවළු තොග ඉහළ යාම සහ එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළදුන්ගේ අඩු වීම හේතුවෙන් මෙලෙස මිල පහළ ගොස් ඇති බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 40 ත් 50 ත් අතර මුදලකට අලෙවි වන අතර බණ්ඩක්කා කිලෝවක් රුපියල් 50 ක්, ගෝවා සහ ලීක්ස් කිලෝවක් රුපියල් 100 ක්, කැරට් කිලෝවක් රුපියල් 200 ක් සහ කැකිරි, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 15 ක් දක්වා පහත වැටී තිබෙනවා.

පවතින තත්ත්වය මත සිය එළවලු අලෙවි කර ගැනීම දැඩි ගැටළුවක්ව ඇති බවටයි ගොවීන් මැසිවිලි නඟන්නේ.

+


ජංගම දුරකතන මිල පහළට

(05.04.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියලේ අගය ඉහළ යාමත් සමඟ ජංගම දුරකතන මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මේ අතර, අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයින් වෙත ලබා දෙමින් ජංගම දුරකතන මිල පහළ දැමීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කළා.

+


කොරියාවෙන් ශ්‍රී ලංකාවට නව රැකියා

(05.04.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට යළි නැගී සිටීම සඳහා පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස තම රට සහාය ලබාදෙන බව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා (2) අතර සෝල් අගනුවර ඊයේ (04) පැවති හමුවේදී ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවෘත කරන බව කොරියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

කෘෂිකාර්මික, ඉදිකිරිම් හා වෙනත් කර්මාන්ත සඳහා ලබාදෙන රැකියාවලට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පවතින බවද කොරියානු අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *