පොලිස් වෙඩිපහරින් මියගිය නාරම්මල රියදුරා වෙනු‍වෙන් වන්දි ඉල්ලා FR පෙත්සමක්

පොලිස් වෙඩිපහරින් මියගිය නාරම්මල රියදුරා වෙනු‍වෙන් වන්දි ඉල්ලා FR පෙත්සමක්


පොලිස් වෙඩිපහරින් මියගිය නාරම්මල රියදුරා වෙනු‍වෙන් වන්දි ඉල්ලා FR පෙත්සමක්

(04.04.2024 – 17:38 +0530 – sinhala.adaderana.lk)

යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලීසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් ‘පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට’ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබා දුනි.

ඒ අනුව මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ නාරම්මල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන සහ පොලිස් සැරයන් චමුදිත බණ්ඩාර කුලසේකර යන අයට මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

එහෙත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට එරෙහිව පෙත්සම් විභාගයක් නොපැවැත්වීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල ඔවුන් වෙත නොතිසි නිකුත් නොකිරීමට ද නියෝග කර ඇත.

මෙම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වූ කමණී රූපිකා ප්‍රියංගනී විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම ඉදිරිපත් කර තිබූ මියගිය තැනැත්තාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යුක්තිය මෙහෙයුමේ නිරත වූ පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩිතැබීම සිදුකළ බවත් සිවිල් ඇඳුමින් සිටි මෙම නිලධාරීන්ට ආයුධ රැගෙන යාමට අවසර දුන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කර ඇත.

මෙම සිද්ධියට නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා මෙන්ම පොලිස්පතිවරයාත් වගකිවයුතු බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණයට මේ කරුණු දක්වමින් මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) එරෙහිව නීතිපතිවරයා පෙනී නොසිටින බව සඳහන් කළේය.

එහෙත් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටින බවත් සඳහන් කළේය.

මෙම අපරාධයට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරියාට එරෙහිව ලගු නොවන නඩු විභාගයක් ආරම්භ කර ඇති බවත් අපක්ෂපාතී ආකාරයෙන් පරීක්ෂණ සිදුකර තිබෙන බවත් රජය නීතිඥවරයා පැවසීය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග ලබාදුන්නේය.

පොලිස් වෙඩි පහරකින් සිය සැමියා මරණයට පත්වීම තුළින් පොලීසිය විසින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණාය ෴


පාතාලයේ සබඳතා පැවැත්වූ සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වයි

(04.04.2024 – 18:08 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකු (3) ගෙන් අනාවරණය වූ තොරතුරු මත විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා කඩු 04 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් එක් (1) සැකකරුවෙක් ‘රජමල්වත්තේ චාමර’ නමැත්තාගේ ගෝලයෙක් වන අතර ඔහු ඉකුත් මස 12 වනදා මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු බව පොලීසිය පැවසීය.

එම සැකකරු දින 07 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී සේදවත්ත ඩෝබිවත්ත උමගිරි වලව්ව ආසන්නයේ පරවි කූඩුවක් අසල වළදමා තිබූ ජීව අත්බෝම්බය සොයාගැනීමට හැකිවී ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා (2) සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘මෝදර නිපුන’ සහ ‘රජමල්වත්තේ චාමර’ යන පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී ඔවුන් ‘සේදවත්තේ පොඩි සනා’ නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු (2) බව හෙළිවී ඇත.

එම සැකකරුවන් දෙදෙනා (2) සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ නිවෙස්වල සඟවා තිබූ කඩු 04 ක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

ඒ අනුව සැකකරුවන් තිදෙනා (3) ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවද පොලීසිය පවසයි ෴


මෙරට මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව තිදෙනෙකු (3) මරුට

(04.04.2024 – 16:15 +0530 – sinhala.adaderana.lk)

මෙරට බහුලම පිළිකා රෝගය වන මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයන් තිදෙනෙකු (3) මියයන බව මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසයි.

දෛනිකව මුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු පමණ අලුතින් හඳුනාගන්නා බවද ඔහු පැවසීය.

මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මේ බව කියා සිටියේය.

මෙරට වයස අවුරුදු 05 දරුවන්ගෙන් සියයට 63 කගේ දත් දිරාගොස් ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

කුඩා දරුවන්ගෙන් බහුතරය රාත්‍රී නින්දට පෙර දත්මැදීම සිදුනොකරන බවට පාසල් සෞඛ්‍ය සමීක්ෂණවලදී අනාවරණය වී ඇති බව විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පැවසීය ෴


අල්ලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙකු අත්අඩංගුවට

(04.04.2024 – 14:47 +0530 – sinhala.adaderana.lk)

අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ සේවයේ නිරත රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකි.

ගලිගමුව බෝයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 80,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.

ඊයේ (03) පස්වරු 01:05 ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී සැකකාර රාජ්‍ය කළමනාකරණ සහකාරවරයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴


මොකටද මේ වාහන 1000 ක් ගෙන්නන්නේ | මොකක්ද මේ රජය කරන්න යන්නේ | රංජිත් කරන්න යන දේ පැහැදිලි කරයි

+


කරන්දෙණියේ සුද්දා සහ ඔහුගේ සහෝදරයෙකුට අයත් දේපළ පොලිස් භාරයට

+


ආයුර්වේදය නගා සිටුවීමේ බෝඩ් එක යටින් ගසා ඇති විෂ කටුව ජයන්ත එළියට ඇද පෙන්වයි

(04.04.2024 – lankaleader.com)

විශ්මිත දැනුම් පද්ධතියක් හා විශ්මිත හෙළ වෙදකමක් උරුමව තිබූ රටේ දේශීය වෙදකමට විෂ කටුවක් ගසා සිසිර ජයකොඩි ඇමැතිවරයා විසින් පනතක් ගෙන ආ බවත්, ඔහු දැන හෝ නොදැන ගෙන ආ මෙම පනත මගින් කංසා නීතිගත කර ලිංගික සේවා වෙළෙඳපොලක් මෙරට නිර්මාණය වීම සිදු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රටේ හර පද්ධති හා පුරුෂාර්ථ බිඳ දමමින් කටයුතු කරන ආණ්ඩුව විෂ මත්ද්‍රව්‍ය, අබිං සහ අන්තරායකර ඖෂධ පනත මගින් ද මෙරට මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවටද ඒ මහතා චෝදනා නගයි.

මෙවැනි අනපනත්, නීති හා සංශෝධන බොහෝමයක් ආණ්ඩුව විසින් ගෙනවිත් ඇති බවත්, එම පනත් ආණ්ඩුව විසින් ගෙන එනු ලබන්නේ මෙරට සමාජය මුළුමනින්ම බිඳවැට්ටවීම සඳහා බවත් ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

ර.බී. 4 වර්ගයේ තැබෑරුම් 1009 ක් දැමීම සඳහා සහ මෘදු මත්පැන් බලපත් 538 ක් ද මේ වන විට නිකුත් කර අවසන් බවද, මෙම තැබෑරුම් රටේ ස්ථාපනය වූ පසු මුළු රටම තැබෑරුමක් බවට පත්වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

+


රුසියානු සහ යුක්රේන ජාතිකයන් නිසා ලංකාවේ දකුණේ භයානක තත්ත්වයක්

(04.04.2024 – gossiplankanews.com)

රුසියානු සහ යුක්රේන ජාතිකයන් දකුණු පළාතේ සංචාරක වීසා මත රැඳීසිටිමින් විවිධ ව්‍යාපාර කිරීම නිසා භායානක තත්ත්වයකට පත්විය හැකි බව රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාවේදී (කෝපා) අනාවරණය විය. කෝපා කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබද අනාවරණය විය.

ඒ අනුව මෙම සතියේ දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ දකුණු පළාතේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් සමග එක්ව සාකච්ඡාවක් පවත්වා මෙම කටයුත්ත වැළැක්වීමට කඩිනමින් කටයුතු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හරි ඉලුක්පිටිය මහතා කාරක සභාව හමුවේ සදහන් කළේය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් කාරක සභාවේදී මෙම කරුණ මතු කරනු ලැබුවාය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ : රුසියානුවන් ත්‍රිරෝද රථ පවා ඩිලිවරි කරනවා දකුණු පළාතේ. මම වැලිගමට ගිය වෙලාවේ සෆින් ක්ලබ්, සරිෆින් ස්කූල්, රෙස්ටුරන්ට්ස්, හෝටල්, කෑම ඩිලිවරි රුසියානුවන් සහ යුක්රේන ජාතිකයන් ඇවිල්ලා බිස්නස් කරනවා. අපේ රටේ අයට මට කිව්වා මේකට විසඳුමක් දුන්නේ නැත්නම් මේකෙන් අන්තිමට වෙන්නේ කිසිදු සංචාරකයෙක් රටට එන්නේ නෑ කියලා. මොකද මේ අයගේ මිනී මුහුදේ පාවෙන තත්ත්වයට එයි කියලා කියනවා. ඒ කියන්නේ එතරම් දරුණු තත්ත්වයකට මේක යනවා.

අපිට විසිට් වීසාවලට වෙන රටකට ගිහින් බිස්නස් තියා වෙන මොනවත් කරන්න බෑ. මේක අපි අධීක්ෂණ කණ්ඩායමක් හරි දාලා අනිවාර්යෙන්ම විසිට් වීසාවලට මේ රටට එන අයට බිස්නස් කරන්න බෑ කියන එක අපි තරයේම මේ රටට කියනවානේ. නමුත් මේක පිළිපදින්නේ නෑ. දැන් මට ආරංචියි ඊශ්‍රායලවල අයත් දකුණු පළාතේ මේක පටන් අරගෙන තියෙනවා.

මේ අය මේක කරන ක්‍රමයක් තියෙනවා.

මේ අය අපේ ලෝකල් අය අල්ල ගන්නවා. එහෙම කරලා හොටෙල් , රූම්ස් හරි ගන්නවා ලීසිංවලට. ලෝකල් නමකින් ගන්නේ. අරගෙන මේ අය තමයි බිස්නස් කරන්නේ. ලෝකල් කෙනාට ගෙවනවා පොඩි ගානක්. අපි ඒ සෑම ලෝකල් කෙනාවම ලුහුබදින්න ඕනෑ. එහෙම කරලා ඔවුන් අරගෙන මේ වැඩේ නීති විරෝධියි කියලා පෙන්වාදී ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. අනිත් එක අපි මේ ගැන මේ අයගේ තානාපතිවරුන් එක්ක කතා කරන්න ඕනෑ. මේක ඇල්ලටත් බෝ වීගෙන යනවා. අධීක්ෂණ කණ්ඩායමක් හරි දාලා මේක පාලනය කරන්නම වෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක : අපේ දැනටම හොද වැඩපිළිවෙළක් තියෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම ගිහින් මේ ගැන විමර්ශනය කරලා සමහර වෙලාවලදී රටින් බැහැර කරනවා අපි.

කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ : මේ ගැන දුරකථන අංකයක් හඳුන්වාදෙන්න. පැමිණිලි කරන්න ස්ථානයක් නිර්මාණය කරන්න.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය : මේක සිදු වුණේ යුක්රේන – රුසියා යුද්ධයත් එක්ක ලංකාවට පැමිණි අයට අපි අවුරුදු 2 ක් අපි නොමිලේ විසා දුන්නා. ඒක ඉවර වුණේ පසුගිය පෙබරවාරි 22 වැනිදා. ඒ වගේම අපි දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් එක්ක මේ සතියේ අපි සාකච්ඡාවක් දාගෙන තියෙනවා. ඒකෙදි අපි පොලීසි ටිකත් එකතු කරගෙන කඩිනමින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා ෴


මතු ආත්මෙක මගේ සැමියාව මම පතන්නෙ නෑ | මගේ මරණයත් මම සැලසුම් කරලා ඉවරයි (05.04.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *