රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා බාර වෙයි

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා බාර වෙයි


රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා බාර වෙයි

(04.04.2024 – 12:35 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබෙනවා.

මේ අතර ඉකුත් (02) වැනි දා ඔවුන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබුණා.

+

+

+


කුඹල් කර්මාන්තකරුවන් දුෂ්කරතාවක

(04.04.2024 – 15:34 +0530 – hirunews.lk/sinhala)

සිය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව කුඹල් කර්මාන්තයේ නිරත පිරිස් පවසනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයින් සිය නිෂ්පාදන මිලදී නොගැනීම හේතුවෙන් සිය කර්මාන්තය දෛනිකව කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

+


උසස් පෙළ ප්‍රතිඵල මැයි මස පළමු සතිය වන විට

(04.04.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයට අදාළව පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස පළමු සතිය වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (04) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස මැද පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා ෴


හදිසි අනතුරුවලින් දිනකට මෙරට 35 දෙනෙකු ජීවිතක්ෂයට

(04.04.2024 – 18:11 +0530 – hirunews.lk/sinhala)

විවිධ හදිසි අනතුරු හේතුවෙන් දිනපතා මෙරට 35 දෙනෙකු මිය යන බව සෞඛ්‍ය අංශ සහ පොලිසිය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කෙරුණේ එළැඹෙන උත්සව සමයේදී හදිසි අනතුරු ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතු බවයි.

හදිසි අනතුරු හේතුවෙන් මෙරට තුළ වාර්ෂිකව අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාව 10,000 ක් පමණ වනවා.

ඉන් පුද්ගලයින් 2300 ක් පමණ, එනම් 25% කට ආසන්න පිරිසක් මිය යන්නේ රිය අනතුරු හේතුවෙන් බවයි අනාවරණ වන්නේ.

සෙසු මරණ වාරතා වන්නේ දියේ ගිලීම්, විෂවීම්, සතුන් සපාකෑම් ඇතුළු විවිධ හදිසි අනතුරු හේතුවෙන්.

එළැඹෙන උත්සව සමයේදී හදිසි අනතුරුවල ඉහළ යාමක් සෑම වසරකම වාර්තා වන අතර, විශේෂයෙන් කුඩා දරුවන් හදිසි අනතුරුවලින් වළක්වා ගැනීමට මව්පියන් අවධානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කරනවා ෴


අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය හැක් වෙයි

(04.04.2024 – 19:49 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වී තිබෙනවා.

+

https://moe.gov.lk/


පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රිගේ ප්‍රකාශය අධිකරණයට

(04.04.2024 – 20:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කර ඇති ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කොට විමර්ශන කඩිනම් කරන ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අදාළ නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ නඩුවේ මුල් බී වාර්තාවේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගැටලු ඇති විය හැකි සහ සංවේදී කාරණා ඇතුළත් වන බැවින් එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය තහවුරු කරන තෙක් එම වාර්තාව ‘රහස් වාර්තාවක්’ ලෙස මුද්‍රා තබා ඇති බවයි.

2019 වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 22 වැනිදා මහනුවරදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 25 වැනිදා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා.

එම ප්‍රකාශයට අදාළව, අද (04) අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පසුගිය 28 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අවසර ලබා දුන්නා.

එහෙත්, මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥයින් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ඊයේ (03) අධිකරණයට දැනුම් දි තිබුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නැවත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර ඊට අදාළ නඩු විභාගය අද (04) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළඳව විමර්ශන සිදු කෙරෙන බවයි.

ඔහුගේ ප්‍රකාශයට අනුව දුරකථන අංක කිහිපයක් සහ සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පැවැසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන සිදු කළ ප්‍රකාශය විකාශය කළ මාධ්‍ය ආයතනවලින් අදාළ සංස්කරණය නොකළ විඩියෝ පටය ඉදිරි විමර්ශන සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවයි.

අනතුරුව මෙම නඩුවට අදාළව පැමිණිලි පාර්ශවයක් ලෙස පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ලක්මාල් අධිකරණයේ කරුණු ප්‍රකාශ කළා.

ස්වාමීනි, මීට පෙර පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ නඩුවක් ගොනු කර තිබුණා.

එම නඩුවේ වග උත්තරකරුවෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන නම් කර තිබුණා.

පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන ඊට වගකිව යුතු බවයි.

මේවන විටත් ඔහු ඒ වෙනුවෙන් වන්දි ගෙවමින් සිටිනවා. එවැනි පුද්ගලයෙක් තමා මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ.

තමන් අධිකරණයට කැඳවුවහොත් ඕනෑම විනිසුරුවරයෙක් ඉදිරියේ මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන බවට ඔහු ප්‍රකාශ කළා.

ඔහු මහනුවරට ගිහිල්ලා එකක් කියන්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එකක් කියනවා , අධිකරණයට එකක් කියනවා. ස්වාමීනී, ඔහු එක්කෝ අසත්‍ය ප්‍රකාශ සිදු කරනවා. නැත්නම් සත්‍ය වසන්කර කටයුතු කරනවා.

වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විටින් විට මෙලෙස ප්‍රකාශ වෙනස් කිරීම නිසා සමාජයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන ඇති බවයි.

අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංදිප්ත සූරියආරච්චි මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ සිය සේවදායකයා අධිකරණයේ ප්‍රකාශ ලබා දෙන බවට ප්‍රකාශ කර තිබුණත් නීතිඥයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහුගේ එම තීරණය වෙනස් වූ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළේ මෙම නඩුවට අදාළ මුල් බී වාර්තාව රහස් වාර්තාවක් ලෙස මුද්‍රා තබා ඇති බවයි.

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගැටලු ඇති වියහැකි සහ සංවේදී කාරණා ඇතුළත් වන බැවින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය තහවුරු කරන තෙක් සුදුසු කාලයක් එම වාර්තා රඳවා තබා ගන්නා බවද මහේස්ත්‍රාත්වරිය පැවසුවා.

ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීමක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කොට විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම නීති කෘත්‍ය යළි මැයි මස 10 වැනිදා කැඳවීමටද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

+++++++++

+


කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟට වැටී පාසල් සිසුවෙකු මරුට

(04.04.2024 – 18:38 +0530 – sinhala.adaderana.lk)

පාසල් භුමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහලගත කිරීමෙන් පසු මියගොස් ඇත.

ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නමැති 11 හැවිරිදි සිසුවෙකි.

ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු (2) සමග අද (04) දින පස්වරු 01:30 ට පමණ වැසිකිළිය වෙත යාම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා තිබේ.

පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් සිසුවාගේ ඇඟ මතට පෙරළීමෙන් සිසුවා වැසිකිළියේ බිත්තියට සිරවී බරපතළ ලෙස තුවාල ලබා තිබුණි.

පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්වී තුවාල ලබා සිටි සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ කොන්ක්‍රීට් තේ වත්තක සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් තිබූ බවද හෙළිවී තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *