තානාපති ප‍්‍රබලයෙක්, ප‍්‍රසිද්ද භික්ෂූවක්, කතෝලික පූජකයෙක් නීති විරෝධී ආණ්ඩුවක් හදන්න කතානායකට බලපෑම් කරලා..

තානාපති ප‍්‍රබලයෙක්, ප‍්‍රසිද්ද භික්ෂූවක්, කතෝලික පූජකයෙක් නීති විරෝධී ආණ්ඩුවක් හදන්න කතානායකට බලපෑම් කරලා..


තානාපති ප‍්‍රබලයෙක්, ප‍්‍රසිද්ද භික්ෂූවක්, කතෝලික පූජකයෙක් නීති විරෝධී ආණ්ඩුවක් හදන්න කතානායකට බලපෑම් කරලා..

(04.04.2024 – 10:40 +0530 – lankacnews.com)

තානාපති ප‍්‍රබලයෙක්, ප‍්‍රසිද්ද භික්ෂූවක්, කතෝලික පූජකයෙක් නීති විරෝධී ආණ්ඩුවක් හදන්න කතානායකට බලපෑම් කරලා..

2022 ජුලි මාසයේදී ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩුවක් පිහිටුවීම සදහා කතානායකවරයාට බලකරන ලද පුද්ගලයින් හෙළිදරව් කිරීමේ වැදගත්කම පිළිබදව සදහන් කරමින් ‘දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ’ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි :

පළමුවෙන්ම 2024.03.21 දින ඔබතුමා විසින් විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප‍්‍රකාශය මගින් එතෙක් රහසක්ව පැවති ජාතික වශයෙන් වැදගත් කරුණු ප‍්‍රමාණයක් එළිදරව් කිරීම ඉතා ගෞරවයෙන් යුක්තව අගය කරමු. එහිදී ඔබ 2022 ජුලි මාසයේදී ආණ්ඩුවට එරෙහිව දියත් වූ ප‍්‍රචණ්ඩ විරෝධතාවලදී කතානායක මන්දිරය වටලමින් බිය ගැන්වීමක් සිදුකළ බව ඔබතුමා විසින් සඳහන් කරනු ලැබීය. ඒ අතර එම තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් බලවත් තානාපති නිලධාරියකු සහ ප‍්‍රබල භික්ෂූන් වහන්සේ නමක් මෙන්ම කතෝලික පූජකතුමෙකු විසින් ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔබතුමන්ට දුරකථනය මගින් බලපෑම් කරනු ලැබූ බවද ඔබතුමා විසින් හෙළිදරව් කරනු ලැබීය.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සහ ප‍්‍රවීන දේශපාලන විශ්ලේෂක සේන තෝරදෙනිය මහතා විසින් තම ග‍්‍රන්ථ මගින් එළිදරව් කළ ආකාරයට තානාපති නිලධාරියකු ඔබගේ නිල නිවසට පැමිණ බලපෑම් එල්ල කළ බවද ඔබ විසින් අර්ධ වශයෙන් පිළිගන්නට යෙදුණි. ඒ ආකාරයට රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් හෝ රාජ්‍යයට ද්‍රෝහීවීමක් ලෙස සැලකිය හැකි කරුණක් පිළිබඳව රටේ දෙවන පුරවැසියා වන ඔබතුමා පමාවී හෝ යම් එළිදරව් කිරීමක් සිදුකිරීම ඉතා වැදගත් වේ. එහෙත් රටේ කතානායකවරයාට ඒ ආකාරයටබලපෑම් කළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය එළිදරව් කිරීමට ඔබතුමා විසින් මැලිකමක් දැක්වීම ඉතා බරපතළ ලෙස වගකීම් පැහැර හැරීමක් බව ඉතා පැහැදිලියි.

ඊට හේතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත් වූ පාලකයෙකු ජාත්‍යන්තර මැදිහත්වීමක් මත ප‍්‍රචණ්ඩ විරෝධතා මගින් බලයෙන් පහ කිරීම යනු ඉතා බරපතල වැරදි පූර්වාදර්ශයක් වීමය. ඊට අදාළව රටේ ඉතා වගකිවයුතු නිලයක් දරන ඔබතුමා වැන්නෙකු දැනුම්වත්ව තමා දන්නා තොරතුරු සැඟවීම යනු එවැනිම නරක පූර්වාදර්ශයක් බව නොකිව මනාය. විශේෂයෙන්ම ඊට අදාළව යම් තොරතුරු එළිදරව් වී තිබියදී අදාළ පුද්ගලයින් එළිදරව් නොකිරීම සහ ඒ පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තුවේදීම ප‍්‍රකාශ කිරීම යනු ඊටත් වඩා නරක පූර්වාදර්ශයක් බව ඔබතුමා පිළිගන්නවා ඇත.

ඊට අමතරව රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් ලෙස සැලකෙන වරදකට අදාළව වගකිවයුතු පුද්ගලයන් පිළිබඳව තොරතුරු සැඟවීම රටේ නීතියට අනුවද බරපතළ වරදක් බව මාගේ හැඟීමය. එසේම අදාළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය අර්ධ වශයෙන් හෙළිදරව් කිරීම නිසා මහජනයා විසින් ඊට ගැලපෙන ලෙස වෙනත් නිර්දෝෂී පුද්ගලයන්ගේ නම් යෝජනා කිරීම හෝ නිහඬව පිළිගැනීම නිසා අදාළ පොදු අනන්‍යතාවය සහිත පුද්ගලයින් රාශියකට අසාධාරණයක් සිදුවේ. උදාහරණයක් ලෙස මහජනයා විසින් අනන්‍යතාවයට අදාළ හිදැස පිරවීම සඳහා විවිධ භික්ෂූන් වහන්සේලාගේ, කතෝලික පූජකවරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නම් ඊට ඈඳාගන්නා බව පිළිගත හැකි තර්කයකි.

මෙම තත්ත්වය තුළ රටේ වගකිවයුතු නිලයක් දරන පුද්ගලයකු මෙන්ම මහජනයාගේ ගෞරවය දිනාගත් දේශපාලන නායකයෙකු ලෙස ඔබතුමාට මෙම අවස්ථාවේදී විශාල වගකීමක් පැවරී ඇත. තොරතුරු සැඟවීම මගින් ඔබතුමා පිළිබඳව පමණක් නොව සමස්තයක් ලෙස ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් බිඳවැටෙන බව ඔබතුමා පිළිගන්නවා ඇත. එම නිසා වහාම අදාළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය පාර්ලිමේන්තුවේදීම හෙළිදරව් කිරීම ඔබතුමාගේ පරම වගකීමක් බව පෙන්වාදීමට කැමැත්තෙමු. එසේම ඊට අදාළව රටේ නීතිය අනුව පරීක්ෂණයක් සිදුකිරීම සහ යම් තානාපතිවරයෙකු වියනා සම්මුතිය කඩ කරන අවස්ථාවකදී ඊට එරෙහිව පියවර ගැනීම රජයේ පරම වගකීමකි. අවසන වශයෙන් ඔබතුමාගේ ගෞරවය පිණිස සහ රටේ නීතියට සහ සදාචාරයට අනුව තම වගකීම ඉටුකරන ලෙස සහ රාජ්‍යයේ වගකීම ඉටුකිරීම වැළැක්වීමට ක‍්‍රියා නොකරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මේ වගට,

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය


21 හැවිරිදි තරුණයෙක් සිව් (4) මසක් පුරා අතුරුදන්

(04.04.2024 – 11:17 +0530 – sinhala.adaderana.lk)

හැටන් නගරයේ බස් නැවතුම්පොළේ ආහාර පාන අලෙවි කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙක් සිව් (4) මසක් පුරා අතුරුදන් වී ඇතැයි හැටන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

එම තරුණයාගේ පියා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන තමන්ට දරුවන් තිදෙනෙකු (3) සිටින බවත්, ඉන් වැඩිමහල් පුතා වන ආර්. මහමුද් නැමැත්තා පසුගිය දෙසැම්බර් 13 වන දින සිට අතුරුදන්ව ඇතැයි එම පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

වෙළෙඳාම් කටයුතු සඳහා උපකාර කිරීමට යන බව පවසා අදාළ තරුණයා නිවසින් පිටව ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වන දින පියා විසින් පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

පුතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය සිදුකරන විමර්ශනවලට අමතරව තමන් ද සිය දරුවා සොයා ඥාති නිවාසවලට ගිය බවත්, තම දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවත් පියා පවසයි.

අතුරුදන් වී ඇති තරුණයා සම්බන්ධයෙන් අප හැටන් පොලීසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, පොලීසිය මේ වනවිටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවය.

එම තරුණයා පිළිබඳව තොරතුරක් වෙතොත් හැටන් පොලීසියේ 071 859 1117, 051 222 2222 හෝ 051 222 2520 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී ෴


හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පදවියෙන් ගිහින් අවුරුදු 06 යි – ඒත් තවමත් නිල නිවසේ

(04.04.2024 – 12:05 +0530 – hirunews.lk/sinhala)

හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ධුරයෙන් ඉවත්ව වසර 06 ක් පමණ ගතව ඇතත් විපක්ෂනායකවරයාට හිමි කොළඹ 7, මහගම සේකර මාවතේ නිල නිවසේ දිගටම රැඳී සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

පසුගිය 2015 වසරේ අගෝස්තු පැවති මැතිවරණයෙන් පසු ආර්. සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට පත්වීමත් සමඟ ඔහුට මෙම නිල නිවස ලබා දී තිබෙනවා.

2018 ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත් සමඟ පිහිට වූ දින 52 ආණ්ඩුව වෙනස් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් වුවත් විපක්ෂ නායක නිල නිවස දිගටම පාවිච්චි කරනු ලැබුවේද ආර්. සම්බන්ධන් විසින්.

මෙම නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකථන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවයි සඳහන් වෙන්නේ.

නිවසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් 2017 වසරේ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක (3,50,00,000) මුදලක් වැයකර ඇති අතර මෙම නිල නිවසේ නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවෙක්, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනෙකු (2) ඇති අතර ඔවුන්ටද වැටුප් ගෙවනු ලබන්නේ රජයෙන් බවයි වාර්තා වෙන්නේ ෴


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණයෙන් නියෝගයක්

(04.04.2024 – 12:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළවයි ෴

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මේවන විට මරදාන ඩාලි පරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට රැස්ව ඇතැයි අප වෙත වාර්තා වනවා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ, පක්ෂයට ඉතා කඩිනමින් වැඩ බලන සභාපතිවරයෙකු පත්කර ගත යුතු බවත්, ඒ සඳහා මෙය හොඳ ම අවස්ථාව වන බවයි.

කෙසේ නමුත් මේ මොහොත වනවිට ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනට හිතවත් පිරිසක් ද එක් රැස් වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෛත්‍රීපාල සිරිසේනට එම පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ෴

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව, ඉකුත් දා පක්ෂයේ තනතුරුවලින් නෙරපා හළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන පිරිස අද (04) පක්ෂ මූලස්ථානයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට කටයුතු කළා.

එහි දී ඉකුත් දා පක්ෂයේ තතුරුවලින් ඉවත් කරන ලද එම මන්ත්‍රීවරුන් එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බවයි.

මේ අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වන දේ පිළිබඳව දැඩි කණගාටුවෙන් යුතුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ කටයුතුවලට යොමු වූ බවයි.

කෙසේ නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව, නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මේවන විට මරදාන ඩාලි පරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට රැස්ව ඇතැයි වාර්තා ‘හිරු නිවුස්’ වෙත වාර්තා වුණා.

එම පිරිස අතර මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරන පිරිස් ද සිටින බවයි වාර්තා වුණේ ෴

++++++++++

මෛත්‍රී තීරණයක් ගනී

(04.04.2024 – 17:07 +0530 – sinhala.adaderana.lk)

තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා :

“අද දහවල් වෙනකොට දැනගන්න ලැබුණු දෙයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අධිකරණයට ගිහිල්ලා අතුරු තහනම් නියෝගයක් අරගෙන තියෙනවා මාව සභාපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා. ලබන 18 වනදා දක්වා ඒ තහනම් නියෝගය ක්‍රියාත්මක වන බව මාධ්‍ය තුළින් මා දැක්කා. ඒ ඇරෙන්න තවම මේ වෙනකල් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් කඩදාසි කිසිවක් අපිට තවම ලැබිලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ මෙවැනි අභියෝග අලුත් දේවල් නෙවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, විජය කුමාරතුංග මහත්මයා, අනුර බණ්ඩාරනායක මහත්මයා … ඔය ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා අලුත් පක්ෂ හදාගෙන … 1977 න් පස්සේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වුණාට පස්සේ ඒගොල්ලෝ වෙනම හැසිරුනු නිසා අපිට අවුරුදු 17 ක් විපක්ෂයේ ඉන්න සිද්ධවුණා.

අපේ පක්ෂය තුළ හිටපු මන්ත්‍රීවරු 14 දෙනාගෙන් මන්ත්‍රීවරු 11 දෙනෙක් ගිහින් තිබෙනවා ආණ්ඩුවට. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් අරන් තිබුණා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා. ඒවා නොසලකා ඇමති තනතුරුවලට තියෙන කෑදරකම නිසා මිසක් රටටවත් පක්ෂයටවත් ජනතාවටත් ආදරයකට නෙවෙයි ගියේ.

‘බුලත් කොළය’ සහ ‘පුටුව’ අපේ සන්ධාන ලකුණු දෙකම තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අය ලඟ. ඔවුන් ගෙන් ඉල්ලුවට දුන්නේ නෑ. මධ්‍යම කාරක සභාවේ අවස්ථා 3 කදී ඒ පොරොන්දුවීම් කඩකළා. මොන අභියෝග ආවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු පිරිසක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු අපි සිදුකරනවා. ඉදිරියේදී එක් පැත්තකින් අධිකරණයට කරුණු කියනවා වගේම අපි ජනතාවට නිවැරදි තත්ත්වය කුමක් ද කියන එක කියනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *