‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක්

‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක්


‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක්

(04.04.2024 – 08:17 +0530 – sinhala.adaderana.lk)

මෙරට තුළ සිටින ‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදුකළ යුතු අතර පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර තිබේ.

කෙසේවෙතත් එලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

එවැනි ආයතන සහ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

සුදුසුකම් සපුරා නොමැති ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබේ ෴


“ඩාලි නෞකාවේ තිබූ බහාලු‍ම්වලින් මෙරටට ගෙන්වීමට තිබී ඇත්තේ එකක් (1) පමණයි” – ඇමති නිමල් කියයි

(04.04.2024 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ බැල්ටිමෝර්හීදී පාලමේ ගැටුණු ඩාලි නෞකාවේ තිබූ බහාලු‍ම්වලින් මෙරටට ගෙන්වීමට තිබී ඇත්තේ එක් (1) බහාලු‍මක් පමණක් බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අදාළ නෞකාවෙහි පවතින අන්තරායකාරී බහාලු‍ම් මෙරටට ගෙන්වීමට තිබූ බවට ඇතැමුන් වැරදි ප්‍රචාර පතුරුවමින් සිටින බවයි.

අදාළ නෞකාවේ අන්තරාදායක ද්‍රව්‍ය රැගත් බහාලු‍ම් පනස් හයක් (56) තිබී ඇති බවත් ඉන් එක් (1) බහාලු‍මක් පමණක් ශ්‍රී ලංකාවට ගොඩබෑමට තිබූ බවත් ඉතිරි බහාලු‍ම් 55 ප්‍රතිඅපනයනය කිරීමට තිබී ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


2024 වසරේ දී 4000 ක් ගුරු සේවයට

(04.04.2024 – 09:20 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකය ශක්තිමත් වීම හේතුවෙන් වසර 03 කට පසු මෙම වසරේදී 4,000 ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජයට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ, අරලියගහ මන්දිරයේ ඊයේ (03) පැවති බස්නාහිර පළාත් උපාධිධාරීන් 2,320 කට සංකේතාත්මක ගුරු පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමින්.

ඉදිරියේදී ගුරු පත්වීම් ලබා දිය හැකි බවද ජනාධිපතිවරයා එහි දී සදහන් කළා. එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියල 280 මට්ටමට ගෙන ඒමට හැකි බව ද ජනාධිපතිවරයා සදහන් කළා ෴


‘කංජිපානි ඉම්රාන්’ ගෙන් පොලිසියට ලැබුණු ඇමතුම

(04.04.2024 – 09:50 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘කංජිපානි ඉම්රාන්’ පොලිස් නිලධාරියෙකු සමඟ දුරකථනය ඔස්සේ සිදුකළ සංවාදයක හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියාට ‘කංජිපානි ඉම්රාන්’ පවසන්නේ තම පියා සහ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

තම පියා හෝ සහෝදරයා මත්ද්‍රව්‍ය සම්බන්ධව කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි ඔහු පවසන්නේ.

‘කංජිපානි ඉම්රාන්’ වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි අදහසක් :

“අපේ අයියලා, තාත්තලා කුඩු විකුණන්නේ නැහැනේ සර්, මගේ නඩුවලටත් සම්බන්ධ නෑ. එයාලා අත්අඩංගුවට ගන්න එක හරි නෑනෙ සර්. මම අයියව එහෙනම් එවන්නද? අයියා එතැන නැහැ, පොඩ්ඩක් එළියේ ඉන්නේ, මම එහෙනම් සර් ඔයාගේ වචනේ විශ්වාස කරලයි එවන්නේ.”

+


ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ ‘නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍රයේ’ රැකියා අවස්ථා

(04.04.2024 – 10:21 +0530 – hirunews.lk/sinhala)

පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන්ට ‘නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍රයේ’ (?) නව නිපුණතා පරීක්ෂණයක් මේ වසරේ (2024) මැයි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව මෙරට ජපාන තානාපති කාර්යාලය පවසනවා.

2022 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂි කර්මාන්තය, ඉදි කිරීම්, ගුවන්තොටුපල බිම් හැසිරවීම යන ක්ෂේත්‍ර සඳහා කුසලතා පරීක්ෂණවලට අයදුම් කළ හැකි බව සඳහන්.

මේ වසරේ සිට ඉදිරි වසර 5 ක කාල සීමාව තුළ විදේශ ශ්‍රමිකයින් 23,000 ක් බඳවා ගැනීමට ඇස්තමේන්තු කර ඇති බැවින් ‘නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍ර’ සඳහා ජපානයේ සේවය කිරීමට කැමති ශ්‍රී ලාංකිකයින් ඉන් නිසි ප්‍රයෝජන ගනු ඇති බව මෙරට ජපාන තනාපති කාර්යාලය කියා සිටියා ෴


බස්නාහිර පළාතේ කොන්දොස්තරලාට ටිකට් කැඩිල්ල අනිවාර්ය වෙයි

(04.04.2024 – 10:59 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2024 අප්‍රේල් 01 දින සිට අනිවාර්ය වන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා ෴


කොවිඩ් කාලේ අනිවාර්ය ආදාහනය ගැන මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්

(04.04.2024 – 11:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත සමයේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ඒ අනුව, ඉකුත් ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාවක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

හැටන් නගරයේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමින් ඒ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය මෙම බලහත්කාරය නිර්මාණය කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් බවත්, මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොවිඩ් වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින් බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට හා ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක් මේ පිළිබදව පර්යේෂණ කරන ලෙස ඇමැති ධුරට භාරගත් පසු මා උපදෙස් ලබා දුන් බවත් එහි දී අමාත්‍යවරයා පවසා තිබුණා.

ඉකුත් 2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණය ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම ප්‍රධාන අරමුණ වු බවත්, ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොවිඩ් ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කර තිබු බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මුද්‍රා තැබූ සිරුරු ගැඹුරින් භූමදාන කිරීම ඇතුළු නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑ ම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙන බවත්, එම පර්යේෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන තමන්ට කනස්සල්ලක් ඇති බවයි.

එබැවින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදී ම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පැවසුවා ෴


මාස තුනට (3) ශ්‍රී ලාංකිකයින් 75,000 ක් විදෙස් ගතවෙලා

(04.04.2024 – 07:33 +0530 – sinhala.adaderana.lk)

2024 වසරේ ගත වූ මුල් මාස 3 තුළ ශ්‍රී ලාංකිකයින් 75,000 කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතව ඇති බව ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ පවසයි.

එම කාලය තුළ පුද්ගලයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදෙස් ගතව ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.

ඉන් 39,900 ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වේ.

ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකු රැකියා සඳහා කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර එම සංඛ්‍යාව 17,793 කි.

පෙර වර්ෂවලට සාපේක්ෂව මේ වසරේ (2024) මුල් මාස තුන (3) තුළ දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පෙන්නුම් කර තිබේ.

රැකියා සඳහා දකුණු කොරියාව වෙත ලාංකිකයින් 2,374 දෙනෙකු ද, ඊශ්‍රායලය වෙත 2,114 දෙනෙකු ද රුමේනියාව වෙත 1,899 දෙනෙකු හා ජපානය වෙත 1,947 දෙනෙකු ද පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

මේ අතර රැකියා සඳහා විදෙස් ගතවූ ශ්‍රී ලාංකිකයින් මේ වසරේ (2024) මුල් මාස 2 තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 963.8 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළේය ෴


විශේෂ මත්පෙති වර්ගයක් සහ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(04.04.2024 – 08:59 +0530 – sinhala.adaderana.lk)

පානදුර, හිරණ ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ආදේශයක් ලෙස භාවිත කරන මත්කරල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසය විසින් අද (04) අලුයම සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේය.

එහිදි සැකකරු සතුව තිබී මත්කරල් 76,796 ක තොගයක් සහ ගංජා කිලෝග්‍රෑම් එකකක් (1) පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ නයිජීරියානු ‍ජාතිකයෙකු (1) ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු (3) කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි රාජ්‍ය හරහා ගුවන් තැපැල් මඟින් ඔරුගොඩවත්තේ පිහිටි භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට මත්ද්‍රව්‍ය පාර්සයක් ලැබී ඇති බවට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන බොරැල්ලේ සහ මාලඹේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) සහ 38 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි (1) ෴


18 හැවිරිදි තරුණියගේ සිරුර ජලාශයක තිබී සොයාගනී

(04.04.2024 – 10:15 +0530 – sinhala.adaderana.lk)

රාගල පොලිස් වසමේ ඩෙල්මාර් වත්ත උඩ කොටස ප්‍රදේශයේ කුඩා ජලාශයක තිබී සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

රාගල පොලීසියට ලද තොරතුරක් මත එම සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

එලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇය පසුගිය මාර්තු 30 වනදා කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති අතර, ඒ පිළිබඳ සොයා බලන අතරතුර මෙම සිරුර හමුව ඇත.

මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර, රාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+

මේ අතර සූරියකන්ද පොලිස් වසමේ තුංදොල ප්‍රදේශයේ දී දොළ පහරකට වැටී කාන්තාවක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි ඉත්තකන්ද ප්‍රදේශයේ කාන්තාවකි.

ගම්මිරිස් අහුලා ගැනීමට යන පවසා ඇය ඉඩම පහලට ගොස් ඇති අතර, නැවත පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් සොයා බැලීමේ දී දොළට වැටී මියගොස් ඇති බව දැක තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *