සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි

සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි


සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි

(03.04.2024 – 14:31 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටා ඇති සම්බාහන මධ්‍යස්ථාන හිමිරුවන් සහ එම ස්ථානවල සේවය සපයන කාන්තාවන් ලියාපදිංචි වීමේ නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුගත වීම සඳහා දැඩි අකමැත්තක් දක්වන බව ළමා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

එවැනි පසුබිමක සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව නියාමනයක් සිදුකිරීම අපහසුවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මාතර වල්ගම සහ මැද්දවත්ත යන ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් (2) වටළා කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාසයේ ළමා කාන්තා කාර්යංශයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එම වැටලීමේ දී ඔවුන් සතුව තිබී ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍ය ද සොයා ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම සම්බාහන මධ්‍යස්ථාන වල සේවය කරන කාන්තාවන් ලිංගික ජාවාරමේ යෙදවූ පුද්ගලයින් 8 දෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර දිවයින පුරා ඇති සම්බාහන මධ්‍යස්ථාන නිසි ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වාගෙන යන්නේ ද පිළිබඳව නියාමනයක් සිදුකිරීම අපහසුවී ඇත්තේ එම සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුවන් සහ සේවය සපයන කාන්තාවන් ලියාපදිංචි වීමට අකමැත්තක් දැක්වීම නිසා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

මේ අතර උත්සව සමයේ බස් රථවල ගමන් කරන කාන්තාවන් සහ ළමුන් බස් රථ තුලදී හිංසනයට ලක්කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මුළු දිවයිනම ආවරණය වන පිරිදි විශේෂ පොලිස් මෙහෛයුමක් ආරම්භ කර තිබෙනවා.

+


කාන්තාවන්ට තනි පංගලමේ යන්න හොඳම රට ලංකාවයි!

(03.04.2024 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, කාන්තාවන්ට තනිවම ලොව සංචාරය කළ හැකි හොඳම රට ලෙස ‘බ්‍රිතාන්‍යයේ ටයිම් අවුට් සඟරාව’ නම් කර තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ කාන්තාවන් තනියම ලොව පුරා සංචාරය කිරීමේ ප්‍රවනතාවක් මේ වන විට දක්නට ලැබෙන බවයි.

විශේෂයෙන් කාන්තාවන්ට කිමිදීමේ සුදුසුම ස්ථාන ශ්‍රී ලංකාවේ පවතින බවද අදාළ වාර්තාවේ සඳහන් ෴


ගිය වසරේදී (2023) පොලිස් අත්අඩංගුවේ සිටි 24 ක් මිය ගිහිං

(03.04.2024 – 15:20 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර (2023) තුළදී පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ’ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා පවසනවා.

කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ 2024 වසරේ මෙම කාල සීමාව තුළ එවැනි සිදුවීම් 07 ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම පසුගිය වසරේදී (2023) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පැමිණිලි 9,714 ක් ලැබී තිබුණු බවයි ඔහු සඳහන් කළේ ෴


බාධක මැද අකුරු කරන දිවුලංකඩවල දරුවෝ

(03.04.2024 – 16:32 +0530 – hirunews.lk/sinhala)

දරුවන් නිවසේ ගත කරන කාලයට පසු දවසේ වැඩිම කාලයක් ගෙවනු ලබන්නේ පාසැලේදීයි.

එවන් පසුබිමක පාසැල් ඉතා ආරක්ෂිතව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක්.

කෙසේ වෙතත් පොලොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ දරුවන් අනාරක්ෂිත අයුරින් අකුරු කරන විද්‍යාලයක් පිළිබඳ පුවතක් වාර්තා වුණා.

ඒ පොලොන්නරුව, හිඟුරක්ගොඩ දිවුලංකඩවල විද්‍යාලය පිළිබඳවයි.

1946 දී ආරම්භ කරන ලද මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් ගණන 2470 ක්.

මිශ්‍ර පාසලක් වන මෙහි හය (6) ශ්‍රෙණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදුවනවා.

මෙම පාසලට අඩුවක්ව පැවති බහුකාර්ය ගොඩනැගිල්ල 2017 වසරේදී ඉදිකිරිම් ආරම්භ කළා.

නමුත් එම ඉදිකිරීම් මේවන විට අතරමග නවතා දැමීම හේතුවෙන් සිසු සිසුවියන්ට ඉගෙනුම් කටයුතු කිරීමට සිදුව ඇත්තේ අවදානම් තත්ත්වයකයි.

ඉහළ මහලේ ආරක්ෂිත අත්වැටක් පවා නොමැති නමුත් දරුවන්ට මෙම ගොඩනැගිල්ල භාවියට ගැනීමට සිදුව ඇත්තේ ඒ සඳහා විකල්ප ගොඩනැගිල්ලක් නොමැති නිසයි.

අනතුරක් සිඳුවූවාට පසු ඒ ගැන විමර්ශනය කරනවාට වඩා දරු දැරියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට බලධාරීන් පෙර සිටම අවදානය යොමුකළ යුතු නොවේද?

+


සරසවි සිසුන්ට දෙතැනකදී කඳුළු ගෑස්

(03.04.2024 – 16:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල අද (03) පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පොලිසිය විසින් විසුරුවා හැර තිබෙනවා.

ඒ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

+

මේ අතර මොරටුව විශ්ව විද්‍යාලය ඉදිරිපිටද මේ වන විට සිසුන් විසින් විරෝධතාවයේ නිරත වන්නේ අධාපනය පෞද්ගලිකරණය කිරීමට එරෙහිවයි.

මේ හේතුවෙන් විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ‘කොට්ටාව – ගල්කිස්ස 255 බස් මාර්ගය’ සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එමෙන්ම එම විරෝධතාවය විසුරුවා හැරීමටද පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා ෴

++++++++

+

+


රංගන ශිල්පිනී දමිතා අබේරත්නට සහ සැමියාට රටයෑම තහනම්

(03.04.2024 – 16:49 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ අදාළ නඩුව අද (03) කැදවූ අවස්ථාවේදීයි.

මේ අතර රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා විසින් ඊයේ (02) දිනයේදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ද අභියාචනාධිකරණය ඊයේ (02) නියෝග කළා ෴

++++++++

+


ගිනි ගත් ‘ආලවන්තී’

(03.04.2024 – 20:35 +0530 – hirunews.lk/sinhala)

කොටහේන නව ගුවන් පාලම අසළ නවතා තිබූ ‘ආලවන්ති’ නැමති ඉතා අලංකාර ලෙස ආලෝකමත් කර සරසා තිබූ බස් රථය ගිනි ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොටහේන පොලිසිය සදහන් කළේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා පත් කළ බවයි.

අද (03) අලුයම 05 ට පමණ විනෝද චාරිකාවක් යාම සදහා මෙලෙස බස් රථය එම ස්ථානයේ නවතා තබා තිබුණා.

කෙසේ වෙතත් බස් රථය ගිනි ගැනීමට ලක්ව තිබූ අතර පසුව කොටහේන පොලිසිය සහ කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ පැමිණ එය මැඩ පවත්වනු ලැබුවා.

විවිධ අයුරින් අලංකාර කළ විවිධ නම් තැබූ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා සමාජයේ විශේෂ අවධානය යොමුව තිබුණා.

+


බිරිඳ විසින් බීමත් සැමියා මරු තුරුළට යැවේ

(03.04.2024 – 21:48 +0530 – hirunews.lk/sinhala)

මාතර, වැලිගම ප්‍රදේශයේ කාන්තාවක් තම බීමත් සැමියාට කළ පහරදීමක් අතරතුර එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බීමතින් පැමිණ තම බිරිඳට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි තිදරු පියෙක්.

මාතර, වැලිගම – කොස්ගහහේන ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී තිබුණේ ඊයේ (02) පස්වරුවේයි.

එම පුද්ගලයා නිතරම බීමතින් පැමිණ බිරිඳට සහ දියණියට පහර දෙන බවයි අසල්වැසියන් පවසන්නේ.

ඊයේ (02) පස්වරුවේද ඔහු මෙලෙස බීමතින් පැමිණ බිරිඳට පහරදීමට උත්සහ කර ඇති අතර, එම අවස්ථාවේදී බිරිඳ විසින් ඔහුව පුටුවක ගැටගසා තවත් ඥාතීන් කිහිපදෙනෙකු සමග එක්ව ඔහුට පහරදී තිබෙනවා.

විදෙස්ගතව සිටින තම දරුවන් දෙදෙනාට (2) ද ඇය වීඩියෝ දුරකථන ඇමතුමක් සැමියාට පහරදෙන ආකාරය ඔවුන්ටද පෙන්වා තිබුණා.

එලෙස පහර දෙන අතරතුර අදාළ පුද්ගලයා පුටුවේ ගැටගසා තිබූ ලණුව සිරවී සිහිසුන් වී ඇති අතර, පසුව බිරිඳ විසින්ම ඔහු වැලිගම ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ නමුත් රෝහල්ගත කරන විටත් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

මියගිය පුද්ගලයා පුටුවේ ගැටගසා තිබූ ලණුවෙන් ගෙළ සිරවී ඔහු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි තිදරු පියෙක්.

ඔහුගේ පිරිමි දරුවන් දෙදෙනා (2) ඩුබායි සහ සෞදි රාජ්‍යයේ රැකියාවල නිරතවන අතර, බිරිඳ සමග නිවසේ සිට ඇත්තේ කුඩා දියණිය පමණයි.

මේ අතර ඝාතනය සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය මාතර මහේස්ත්‍රාත්වරයා විසින් අද (03) පෙරුවරුවේ සිදුකළා.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සිදුකළ අනෙක් පිරිස සොයා වැලිගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *