ලිඛිත විභාගය නැතුව රියැදුරු බලපත්‍රය ගන්න ක්‍රමය

ලිඛිත විභාගය නැතුව රියැදුරු බලපත්‍රය ගන්න ක්‍රමය


ලිඛිත විභාගය නැතුව රියැදුරු බලපත්‍රය ගන්න ක්‍රමය

(03.04.2024 – 08:12 +0530 – hirunews.lk/sinhala)

‘පාසල් මාර්ග ආරක්ෂක සංසද’ මගින් සිසුන් වෙත ‘රිය නිපුණ පදක්කම’ ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මෙලස ‘පාසල් මාර්ග ආරක්ෂක සංසද’ පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන අද (03) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගිවීමේ අවස්ථාව හිමිවනවා.

මීට අමතරව මෙම සංසද මගින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරන සිසුන්ට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීමේදී විශ්වවිද්‍යාල වෙත තේරීපත්වන අනෙකුත් සිසුන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමටද නියමිතයි.

මෙම පදක්කම් ලබාදීමේ ක්‍රමවේදය පාසල් ආචාර්ය මණ්ඩලයේ මෙන්ම කොට්ඨාස මට්ටමේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතව ඇති අතර මෙයට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසනවා ෴


ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් ප්‍රසාරණය වීම මේ වනවිට නැවතී ඇත

(03.04.2024 – 11:11 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළ ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් ප්‍රසාරණය වීම මේ වනවිට නැවතී ඇතැයි ස්තූපය නිරීක්ෂණය කිරීම සඳහා පත්කළ විද්වත් කමිටු සාමාජික, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර පවසනවා.

ජේතවනාරාම ස්තූපයේ පැළුම් සම්බන්ධයෙන් කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවැති මාධ්‍ය හමුවක දී යි මහාචාර්යවරයා මේ බව අනාවරණය කළේ.

එහි දී මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පිපිරුම් වර්ධනය වී ඇත්තේ, මීටර 0.2 වන අතර 2016 සිට 2020 දක්වා මීටර 12 ක් සහ 2020 සිට 2023 දක්වා කාලය තුළ මීටර 9 ක් වශයෙන් එම පැළුම් වර්ධනය වී තිබූ බවයි.

කෙසේ නමුත් මේ වන විට ස්තූපයේ පිපිරුම්වලට බදාම යොදා සීල් කර ඇති අතර පැළුම් වර්ධනය වීම පාලනය කිරීම සඳහා ගර්භය තුළට ජලය කාන්දු වීමේ වේගය අඩාළ කිරීම වැදගත් බව ද මහාචාර්යවරයා අනාවරණය කරනවා ෴


ලහිරු, දුමින්ද සහ ජිනතරන හිමිට ඇප

(03.04.2024 – 11:52 +0530 – hirunews.lk/sinhala)

ජන අරගල ව්‍යාපාරය විසින් පසුගිය මාර්තු (20) දා කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් ‘අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ’ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ ජිනතරන හිමි ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (03) නියෝග කර තිබෙනවා.

ඔවුන් තිදෙනාට (3) ඇප ලබා දෙන ලෙස නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා.

සැකකරුවන් තිදෙනා (3) අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ‘ස්කයිප් තාක්ෂණය’ ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළ බවයි අප අධිකරණය වාර්තාකරු පැවසුවේ ෴


ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනක පවත්වන්න සාකච්ඡා

(03.04.2024 – 12:22 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනයක පැවැත්වීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව තමන්ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු පැවසුවේ ඒ ආකාරයට ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට කිසිදු නෛතිකමය බාධාවක් නැති බවයි.

කෙසේ නමුත් පළමුව ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උවමනාව බවත්, එමඟින් ජනාධිපති ධුරයේ බලය හීන වීම අවම වන බවත්, පවසන ගම්මන්පිල මන්ත්‍රීවරයා අනාවරණය කළේ බැසිල් රාජපක්ෂගේ උවමනාව වී ඇත්තේ, මහමැතිවරණය මුලින් පවත්වා තමන්ට වන හානිය අවමකර ගැනීම බවයි.

එම හේතුන් මත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනයක දී පැවැත්වීමට සාකච්ඡා පවත්වන බවත්, එලෙස එකම දිනක දී මෙම මැතිවරණ දෙක ම පැවැත්වීම ආණ්ඩුවට වාසි සහගත බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේ දී පැවසුවා.

+++++++++

+


ජවිපෙ වැටුනු වලවල් දෙක මෙන්න (03.04.2024)

+


විවාදයට සුදානම් – සජිත් අභියෝගය භාර ගනී

(03.04.2024 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ‘ජාතික ජන බලවේගයෙන්’ එල්ල කළ ප්‍රති අභියෝගයට විපක්ෂ නායකවරයා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ‘සමගි ජන බලවේගය’ අභියෝග හමුවේ පළා යන පක්ෂයක් නොවන බවයි.

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ‘ජාතික ජන බලවේගයේ’ ආර්ථික කමිටුවට ‘සමගි ජන බලවේගයේ’ ආර්ථික කමිටුව සමග විවාදයකට පැමිණෙන ලෙසට අවස්ථා කිහිපයකදීම ‘සමගි ජන බලවේගයෙන්’ අභියෝග එල්ල වුණා.

අභියෝගවලට පිළිතුරු ලබා දෙමින් ‘ජාතික ජන බලවේගයේ’ ආර්ථික කමිටු සාමාජිත සුනිල් හඳුන්නෙත්ති ඊයේ (02) ප්‍රතිඅභියෝගයක් එල්ල කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර එම විවාදය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

එම ප්‍රති අභියෝයට මුහුණ දීමට ‘සමගි ජන බලවේගයේ’ නායක සජිත් ප්‍රේමදාස සුදානම් බව ‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

මෙම විවාදයට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එකඟ වන්නේ නම් ‘හිරු TV’ ඒ සඳහා ඉඩ ලබා දීමට සූදානම්.

+

මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත්, එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ අද (03) මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර ර.දෙ.මි. පාසලට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑ ම ක්ෂේත්‍රයක් ඕනෑ ම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත්, වාද විවාද කිරීම මෙන් ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවයි.

එසේ ම ඕනෑ ම වාද විවාදයකට තමා සූදානම් සේ, තමා සමඟ තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑ ම පක්ෂයකට අභියෝග කරමින් සිටින බවත් වාද විවාද සේම රටට සංවර්ධනයක් උදා කරන්නත් තමා සූදානම් බවට සතුටින් ප්‍රකාශ කර සිටින බවත් විපක්ෂ නායකවරයා එහි දී පැවසුවා ෴


සාජාහි දී අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් සඳමාලිගේ දේහය ලංකාවට

(03.04.2024 – 13:23 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාර්තු 09 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජි හි ඇති වූ ජල ගැලීම් තත්ත්වය සමඟ මහාමාර්ගයේ ජලය රැඳී ඇති ස්ථානයක් හරහා ගමන් කරමින් සිටියදී විදුලි සැර වැදී මියගිය තරුණියගේ දේහය අද (03) අලුයම දිවයිනට රැගෙන ආවා.

මෙසේ අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර , මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ නම් අවිවාහක තරුණියක්.

මාර්තු මස 09 දින රාත්‍රී 09:30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යාමට මාර්ගයට පැමිණියා.

ඇය සේවය කළ සාජා නුවර භූගතව විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ අතර , අධික වර්ෂාව සමඟ ඇතු වූ ගංවතුර තත්වයත් සමග මෙම විදුලි පද්ධතිය කාන්දු වීමට පටන් ගෙන තිබෙනවා.

මේ බව නොදත් ජයමිණි මෙම ගංවතුරට බසිත්ම, විදුලි සැර වැදී මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකුට (2), බංගලදේශ ජාතිකයෙකු (1) සහ පිලිපීන ජාතිකයෙකු (1) ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාරදීමට නියමිතයි ෴


“පාස්කු ප්‍රහාරය ගැන අධිකරණයට ප්‍රකාශයක් දීම අනවශ්‍යයි” මෛත්‍රී කියයි

(03.04.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් හෙට (04) අධිකරණයට ප්‍රකාශයක් ලබාදීම අනවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට දන්වා සිටිනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥයින් මාර්ගයෙන් ඒ බව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා තිබෙනවා ෴


“ඩාලි නෞකාවට මෙරටට ඇතුලු වීමට අවසර දී නැහැ” – මධ්‍යම පරිසර අධිකාරිය

(03.04.2024 – 14:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබියදී ඇමරිකාවේ බැල්ටිමෝර් හී ෆැන්සිස් ස්කෝට් හී පාලමේ ගැටුණු අන්තරායකර බහාලුම් අඩංගු නෞකාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොමැති බව එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියදී අදාළ නෞකාව අනතුරට ලක් වූ අතර පසුව ඇමරිකාවේ ජාතික ආරක්ෂණ මණ්ඩලය කියා සිටියේ අදාල නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 56 ක් හඳුනා ගෙන ඇති බවයි. ටොන් 764 ක් පමණ බරකින් යුත් ඒවායේ බොහොමයක දැවෙන සුලු සහ ලිතියම්, අයන බැටරි ඇතුලු විවිධ අනතුරුදායක ද්‍රව්‍ය අඩංගු බව එම මණ්ඩලය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ මෙම නෞකාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණයක් සිදු කරන බවයි.

ඒ අනුව අද (03) මාධ්‍ය හමුවක් කැඳවමින් මධ්‍යම පරිසර අධිකාරිය ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේ බාසල් සම්මුතියට අනුව උපද්‍රවකාරී අපද්‍රව්‍ය රටක වරායක් හරහා සංක්‍රමණය කිරීමට එම රටේ බාසල් සම්මුතිය ක්‍රියාත්මක කරන ආයතනයෙන් අවසර ලබා ගත යුතු බවයි.

එහෙත් අදාළ නෞකාව එවැනි ඉල්ලීමක් හෝ අනුමැතියක් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගෙන නොමැති බවයි එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *