හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි

හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි


හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි

(01.04.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala)

හෙට (02) දිනයේ දිවයිනේ රෝහල් 10 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය’ පවසනවා.

‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ’ කැඳවුම්කරු රවී කුමුදේශ් අද (01) පැවතී මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

එම වැඩ වර්ජනය උදෑසන 06:30 ට ආරම්භ කර පැය 4 ක කාලයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව හෙට (02) වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් වන්නේ :
ශ්‍රී ලංකා ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මන්නාරම මූලික රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල.

+++++++++

+


ඉන්ධන ගැන සැඟවුණු කතාවක් එළියට

(01.04.2024 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයකින් රජය අද වනවිට රුපියල් 130 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 107 ක් ලෙස බදු අයකරගන්නා බව අනාවරණ වනවා.

මාසික මිල සූත්‍රය අනුව ඊයේ (31) මැදියම් රැයේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරුණත් ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන එම ඉන්ධන වර්ග දෙකෙහි මිල වෙනස් කර නැහැ.

මේ හේතුවෙන් බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ ගාස්තුවල වෙනසක් නොකිරීමට එම සංගම් තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කිනුත්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72 කිනුත් පහළ දමනු ලැබුවා.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 245 ක්.

කෙසේ වෙතත්, මෙරට සාමාන්‍ය ජනතාව මෙන්ම පොදු ප්‍රවාහන සේවා සඳහාද වැඩි වශයෙන් භාවිත කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් මිල ගණන් පහළ දැමීමක් සිදු නොවූ අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 371 කටත්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 363 කටත් අලෙවි කෙරෙනවා.

මෙම මිල ගණන්වලට සමගාමීව තම ඉන්ධන මිලද සංශෝධනය කළ බවයි ‘ලංකා IOC’ සමාගම පැවසුවේ.

මීට අමතරව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව සිනොපෙක් සමාගමද ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර, එම සමාගම පැවසුවේ රුපියල් 368 ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සහ රුපියල් 360 ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින බවයි.

මේ හේතුවෙන් බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් නොකිරීමට එම සංගම් තීරණය කර තිබෙනවා.

මේ අතර, සියලු ඉන්ධන වර්ග මෙරට පාරිභෝගිකයාට හිමි වන්නේ බදු වර්ග කිහිපයකට යටත්වයි.

ඒ අතරින් ගොඩබාන අවස්ථාවේ රුපියල් 205.79 ක් වන ‘ඔක්ටේන් 92’ වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මත බදු වර්ග 03 ක් පැනවෙනවා. රුපියල් 72 ක නිෂ්පාදන බද්ද, රුපියල් 3.79 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හා රුපියල් 54.64 ක වැට් බද්ද ඊට අයත් අතර, එම බදුවල එකතුව රුපියල් 130.43 ක්.

‘ඔක්ටේන් 95’ වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මෙරටට ගොඩබානු ලබන්නේ රුපියල් 232.44 කට වන අතර රේගු ආනයන බද්ද ද ඇතුළුව ඒ මත ඇති බදු වර්ග 4 ක එකතුව රුපියල් 162.31 ක් වනවා.

ගොඩබාන අවස්ථාවේ රුපියල් 213.73 ක් වන ‘ලංකා ඔටෝ ඩීසල්’ ලීටරයක මිල මත ද බදු වර්ග 03 ක් පැනවෙනවා. රුපියල් 50 ක නිෂ්පාදන බද්ද , රුපියල් 3.73 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සහ රුපියල් 53.73 ක වැට් බද්ද ඊට අයත් අතර, එම බදුවල එකතුව රුපියල් 107.46 ක්.

‘ලංකා සුපර් ඩීසල්’ ලීටරයක් මෙරටට ගොඩබානු ලබන්නේ රුපියල් 214.54 ක මිලකට වන අතර රේගු ආනයන බද්ද ද ඇතුළුව ඒ මත ඇති බදු වර්ග 4 ක එකතුව රුපියල් 133.11 ක් වනවා.

ඒ අනුව, රුපියල් 205.79 කට මෙරටට ගෙන්වන ‘ඔක්ටේන් 92’ වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371 ක් ලෙස සැකසෙන්නේ රුපියල් 130.43 ක බදු සහ අනෙකුත් වියදම් එකතු වීමෙන් පසුවයි.

+


මාතරත් අනවසර සම්බාහන මධ්‍යස්ථාන වටලයි

(01.04.2024 – 20:55 +0530 – hirunews.lk/sinhala)

මාතර නගරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් 12 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 5 ක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

පොලිස් භාරයට ගත් තරුණියන් ගාල්ල, කෑගල්ල, කොළඹ, පුත්තලම, අනුරාධපුර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්.

මෙම සියලු‍ සම්බාහන මධ්‍යස්ථානවල කාන්තාවන් පරික්ෂාවට ලක් කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් දෙදෙනෙකුට (2) එච්.අයි.වී. ආසාධනය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමගයි.

එමෙන්ම, කුරුණෑගල නගරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන්ට ද එච්.අයි.වී. වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන බැවින් ඔවුන් සියලු‍දෙනා ද පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය පසුගියදා තීරණය කර තිබුණා.

මීගමුව, කොච්චිකඩේ සහ සීදුව යන ප්‍රදේශ තුළ පසුගියදා කළ හදිසි පරීක්ෂාවේදී බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53 ක් වසා දැමීමට පොලිසිය පියවර ගත්තා ෴


කටුනායකට ඉන්ධන රැගෙන ගිය දුම්රිය බිහිසුණු අනතුරකට ලක්වෙයි

(01.04.2024 – 19:07 +0530 – sinhala.adaderana.lk)

රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායක ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.

එසේම දුම්රිය එන්ජින් රියදුරුද මෙම අනතුර හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

ඒ ආසන්නයේ තිබූ එළවළු වෙළෙඳසැලකට අනතුරින් බරපතළ හානි සිදුව ඇති අතර එම අවස්ථාවේ එහි හිමිකරු එය වසාදමා පිටව ගොස් තිබීමෙන් විශාල අනතුරක් වැළකී තිබුණි.

කොළොන්නාව සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇති අතර ලොරි රථයට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

රාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

+


පාලමේ ගැටුණු ‘ඩාලි’ නෞකාවේ බහලුම් 56 ක විෂ අපද්‍රව්‍ය (01.04.2024)

+


දුම්රියේ ගැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි

(02.04.2024 – 07:23 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියක ගැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි සඳහන් වෙන්නේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ වාද්දූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක තරුණයෙක්.

සිදුවීම පිළිබඳව පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


පොල් නාස්තියෙන් ලංකාව පළමු තැනට

(02.04.2024 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ වැඩි වශයෙන් ම පොල් නාස්ති කරන රටවල් අතුරින් පළමු තැන බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවැති වැඩසටහනක දී ඇමැතිවරයා මේ බව පැවසුවේ.

එහි දී අමාත්‍යවරයා පැවසුවේ, ඉකුත් වසරේ (2023) පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරි මාසය තුළ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 25.17 කින් වර්ධනය වී තිබෙන බවත්, පෙබරවාරි මාසයේ දී ‘පොල් වතුර’ මෙට්‍රික් ටොන් 3439 ක් අපනයනය කර රුපියල් මිලියන 894 ක ආදායමක් උපයා ඇති බවයි ෴


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(02.04.2024 – 10:49 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න පත් කර තිබෙනවා.

නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *