විදෙස් ශ්‍රමිකයින් සඳහා විදුලි වාහන ආනයනයේදී සිදුවන වංචා

විදෙස් ශ්‍රමිකයින් සඳහා විදුලි වාහන ආනයනයේදී සිදුවන වංචා


විදෙස් ශ්‍රමිකයින් සඳහා විදුලි වාහන ආනයනයේදී සිදුවන වංචා

(01.04.2024 – 15:41 +0530 – sinhala.adaderana.lk)

විදෙස් ශ්‍රමිකයන් සඳහා විදුලි වාහන ආනයනය කිරීමේදී දූෂිත ක්‍රියා බොහොමයක් සිදුව ඇති බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සභාපතිවරයා ඒ බව පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා :

“උදාහණයක් හැටියට වාහන 154 කින්, රේගු විමර්ශයකින් අනතුරුව 09 ක් පමණක් නිෂ්කාශනය කර ඇති අතර වාහන ආනයන ක්‍රමවේද උල්ලංඝනය කිරීම් කර ඇති බව කාරක සභාවේ පැහැදිලි විය. එතකොට මෙතන ලොකු ගැටලුවක් ඇති වුණා. ඒ කියන්නේ මේ ‘ඒජන්ට්’ හරහා ගෙන්නේ නැතුව ‘ෆැසිලිටේටර්’ කෙනෙක් හරහා ගේනවා කියලා. එතකොට මේ වාහන ‘ෆැසිලිටේටර්’…, අපි හිතමු BMW එකක් නම් ඒක ජර්මනියෙන් අරගෙන එංගලන්තයට ගෙනිහිල්ලා. ‘ඩීරෙජිස්ටර්’ කරලා. එංගලන්තේ නැවතත් ‘රෙජිස්ටර්’ කරලා මෙහෙට ගේනවා. එතකොට මේකේ ‘වැලිව්’ එක අඩු වෙනවා. මේ කරන්නේ ‘ෆැසිලිටේටර්’ කියලා එතනදී කරුණු ඔප්පු වුණා. රේගුවෙන් කිව්වා මෙතනදි ලොකු පාඩුවක් තියෙනවා. නමුත් ලබා ගන්න ක්‍රමවේදයක් නෑ. නීතිය වෙනස් කරන්න ඕනේ කියලා. අපි රේගුවෙන් ඇහුවා ඔයගොල්ලේ මේක දැනගෙන හිටියේ නැද්ද කියලා. එතකොට ඒ අය කිව්වා ‘දැනගෙන හිටියා; මොකුත් කළේ නෑ’ කියලා. අපි ඒ අයට මාස දෙකක් (2) දුන්නා මේ නීතිය වෙනස් කරන්න.”

+++++++++

+


අධිකරණ ඇමති සංශෝධන ඉල්ලා අස්කර ගනී

(01.04.2024 – 13:34 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 14 ත් 16 ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22 ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව රජය ගෙන ඒමට යෝජිත සංශෝධන ඉල්ලා අස්කර ගත් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ,

“මෙම පනත් කෙටුම්පත ජනාධිපති නීතීඥවරු වෙනත් නීතීඥවරු සහ වෘත්තිකයින් කිහිපදෙනෙකු එකතුවෙලා අවුරුදු 5 ක් පමණ අධ්‍යයනය කරලා තමයි, මේ නිර්දේශය අධීකරණ අමාත්‍යාංශයට ලබාදුන්නේ.”

මේ නඩු මහාධිකරණයට එනකොට 90% ක්ම ඒගොල්ලෝ වැඩිවියට පත්වෙලා. විවාහ වීමට හැකියාව තියෙනවා. ඒ අයට දරුවොත් ඉන්නවා. සමහර අය බැඳලා. සමහර අය බඳින්න කැමතියි. නමුත් අනිවාර්යය දඬුවමක් නිසා ඒ තරුණයා අනිවාර්යයෙන්ම අවුරුදු 10 ක් හිරේ යවන්න ඕනේ.”

මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේක මානූෂිය පැත්තෙන් බලලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු 3 ක් දීලා තියෙනවා.

පොතේ තියෙන්නේ එක නීතියක් හැබැයි අධිකරණය අනුගමනය කරන්නේ වෙනම නීතියක්. මේ දෙක සැසඳෙන තත්ත්වයක් රටේ ති‍යෙන්න ඕනේ. නැතිනම් මේක ගැටලුවක්. නීතියේ තියෙනවා එකක් අධිකරණයේ තියෙනවා එකක්. ඉල්ලීම් සලකලා බලලා අපි මේක ඉල්ලා අස්කර ගන්නවා. ඉදිරියේ දී කාටත් එකඟවෙන්න පුළුවන් සං‍ශෝධනයක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්නම්.”

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගිය පෙබරවාරි 13 වනදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබිණි.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි එය ප්‍රකාශයට පත්කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 සංශෝධනය කරමිනි.

යෝජිත සංශෝධනයට අනුව වයස අවුරුදු 14 ත් 16 ත් අතර ගැහැණු දරුවෙකු වයස අවුරුදු 22 කට අඩු පුද්ගලයෙකු සමඟ සිය කැමැත්ත සහිතව ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් දඬුවම ලිහිල් කිරීමට මෙමඟින් යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් ඊට එකඟ නොවන බව ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ අධිකරණ අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම්දී ඇත.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසුවේ ළමා අපයෝජන වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවට උපදෙස් ලබාදීමට පාර්ලිමේන්තුවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව එම දැනුම්දීම කර ඇති බවය ෴


හෙට (02) ප්‍රධාන රෝහල් 10ක වැඩ වර්ජනයක්

(01.04.2024 – 16:19 +0530 – sinhala.adaderana.lk)

හෙට (02) දිනයේ දිවයිනේ රෝහල් 10 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ඒ අනුව හෙට (02) වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් :

  • ශ්‍රී ලංකා ජාතික රෝහල,
  • කරාපිටිය ශික්ෂණ රෝහල,
  • යාපනය ශික්ෂණ රෝහල,
  • මඩකලපුව ශික්ෂණ රෝහල,
  • පේරාදෙණිය ශික්ෂණ රෝහල,
  • ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල,
  • කෑගල්ල මහ රෝහල,
  • පොළොන්නරුව මහ රෝහල,
  • මන්නාරම මූලික රෝහල,
  • ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල.

පොහොට්ටුවේ අයත් ඥානසාර හිමි වෙනුවෙන් කතාකරන්නේ නෑ | ඥානසාර හිමිට වෙච්ච දේ ගැන කස්සප හිමි කට අරී (01.04.2024)

++++++++

ඥානසාර හාමුදුරුවෝ හිරේ තිබ්බොත් ජනතාවගේ වෛරය වැඩිවෙනවා, වාහම ජනාධිපති සමාව දෙන්න ඕන- ඇමති ඉල්ලයි (01.04.2024)

+++++++++

+


මහ බැංකුවේ පඩි ගැන සමාලෝචනයට ජනාධිපතිගෙන් ස්වාධීන කමිටුවක්

(01.04.2024 – 16:17 +0530 – hirunews.lk/sinhala)

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුව පත්කර ඇත්තේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු වාර්තාවේ (CoPF) නිර්දේශ මත පදනම්ව මහ බැංකුවේ (CBSL) වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහයි ෴


කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතරදෙනෙක් (4) අත්අඩංගුවට

(01.04.2024 – 19:08 +0530 – hirunews.lk/sinhala)

හලාවත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සන්තකයේ තබාගෙන සිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකු (4) ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.

එමෙන්ම, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ සියලුම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දී කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් නිලධාරීන් සිව්දෙනාගේ (4) වැඩ තහනම් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව තුළ ද පරීක්ෂණයක් ද ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් ෴

++++++++

+


අල, ලූනු සහ හාල්මැස්සන් ආනයනයෙන් වෙළඳුන්ට අයුතු ලාභයක්

(01.04.2024 – 19:36 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේදී ආනයනික බී ලූනු අලෙවියෙන් වෙළෙඳුන් රුපියල් බිලියන 80 ක ලාභයක් උපයා ඇති බවත් එය පෙර වසරේ (2022) ලාභයට සාපේක්ෂව රුපියල් බිලියන 51 ක වැඩි වීමත් බවත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

මීට අමතරව අර්තාපල්, වියළි හාල්මැස්සන්, උම්බලකඩ හා මුංඇට ආදී ආනයන භාණ්ඩවලින් වෙළෙඳුන් අධික ලාභයක් ඉපයූ ආකාරය ද එහි දැක්වෙන අතර එම වාර්තාව අද (01) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා.

2023 වසරේදී රක්ෂණ බහලු‍ම් පිරිවැය හා බද්ද ඇතුළත්ව බී ලූනු කිලෝග්‍රෑමයක් මෙරටට ආනයනය කිරීම සඳහා වෙළෙඳුන් වැය කළ මුදල රුපියල් 92 ක්. නමුත් එම වසරේදී බී ලූනු කිලෝග්‍රෑමයක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් 365 කටයි.

ඒ අනුව 2023 වසරේදී බී ලූනු ආනයනකරුවන් කිලෝග්‍රෑමයකින් රුපියල් 273 ක අධික ලාභයක් උපයා තිබූ අතර එය වැය කළ මුදලට සාපේක්ෂව සියයට 297.2 ක ලාභයක්.

මේ අතර, 2023 වසරේ අර්තාපල් කිලෝග්‍රෑමයක් මෙරටට ආනයනය කිරීම සඳහා වෙළෙඳුන් රුපියල් 110 ක මුදලක් වැය කර ඇති අතර අර්තාපල් කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළේ අලෙවි කර ඇත්තේ රුපියල් 203 කටයි.

ඒ අනුව අර්තාපල් වෙළෙඳුන් වැය කළ මුදලට සාපේක්ෂව උපයා ඇති ලාභය ප්‍රතිශතයක් ලෙස සියයට 85 ක්.

බී ලූනු හා අර්තාපල් සඳහා පාරිසරික සාධක, ගබඩා පහසුකම් හා ප්‍රවාහන වියදම සමාන තත්ත්වයක පැවතියද අර්තාපල් අනයනකරුවන්ට සාපේක්ෂව බී ලූනු ආනයනකරුවන් මිල විශාල ලෙස වැඩි කරමින් පාරිභෝගිකයින් සූරාකෑමට පෙළඹී ඇති බව කාරක සභාවේ නිගමනය වී තිබෙනවා.

මේ අතර, 2023 වසරේ වියළි හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් ආනයනය සඳහා රුපියල් 496 ක මුදලක් වෙළෙඳුන් වැය කර ඇති අතර හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් 1,307.05 කටයි. ඒ අනුව රුපියල් 811.05 ක ලාභයක් හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් තුළින් එම වෙළෙඳුන් ලබාගෙන තිබෙන අතර එය වැය කළ මුදලට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස සියයට 164 ක ලාභයක්.

2023 වසරේදී උම්බලකඩ කිලෝග්‍රෑමයක් ආනයනය සඳහා වෙළෙඳුන් රුපියල් 841 ක මුදලක් වැය කර ඇති නමුත් උම්බලකඩ කිලෝග්‍රෑමයක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් 3,160 කටයි. ඒ අනුව උම්බලකඩ කිලෝග්‍රෑමයකින් රුපියල් රුපියල් 2,319 ක ලාභයක් ඔවුන් උපයා ඇති අතර එය වැය කළ මුදලට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස සියයට 276 ක ලාභයක්.

2023 වසරේ මුං ඇට කිලෝග්‍රෑමයක් ආනයනයට වෙළෙඳුන් වැය කර ඇති මුදල රුපියල් 427 ක්. නමුත් මුං ඇට කිලෝග්‍රෑමයක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් 1,275 කට වන අතර වැය කළ මුදලට සාපේක්ෂව ඒ හරහා උපයා ඇති ලාභය ප්‍රතිශතයක් ලෙස සියයට 198 ක් බව වාර්තාවේ දැක්වෙනවා.

+


රටවල් හතකින් (7) පැමිණෙන සංචාරකයන්ට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය දීර්ඝ කෙරේ

(01.04.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

රටවල් හතකින් (7) පැමිණෙන සංචාරකයන්ට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය 2024 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ පිළිබඳව හරීන් ප්‍රනාන්දුගේ නිල X ගිණුමේ සඳහන් වෙනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු අතර, එය 2024 මාර්තු 31 දක්වා කාලය සඳහයි ක්‍රියාත්මක වී තිබුණේ.

චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන්හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරුණා ෴


මෛත්‍රි දුන් ප්‍රකාශය ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් පිළිතුරු

(01.04.2024 – 20:02 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළ ප්‍රකාශයන්ට අදාළව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරියේදී පිළිතුරු ලබා දෙන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ලිංගික ප්‍රවේශයක වින්දිතයෙකු බවට පත්වීමට අදාළ කෙරෙන ගැහැණු දරුවෙකුගේ වයස අවුරුදු 16 සිට 14 දක්වා පහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *