ලිට්‍රෝ ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහළට


ලිට්‍රෝ ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහළට

(01.04.2024 – 11:31 +0530 – hirunews.lk/sinhala)

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 135 කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 4,115 ක්.

එමෙන්ම කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් අඩුකර ඇත්තේ රුපියල් 55 කින්. එහි නව මිල රුපියල් 1,652 ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 772 ක් වන අතර, එය අඩු කෙරුණේ රුපියල් 23 කින්.

ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් සැළකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැළසීම සඳහා අද (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධනය සිදු කෙරෙන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ.

+

LAUGFS සමාගම ද සිය ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් 625 කින් අඩු කර ඇති අතර, නව මිල සඳහන් වන්නේ රුපියල් 4,115 ක් ලෙසයි.

මේ අතර 5kg සිලින්ඩරය රුපියල් 248 කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 1,652 ක් ලෙසයි ෴


මහින්ද , දුමින්ද, ලසන්ත තනතුරුවලින් පහ කිරීමට එරෙහිව වාරණයක්

(01.04.2024 – 12:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්විමකදී පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජ්‍යේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර යන අය තනතුරුවලින් ඉවත් කිරිම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඔවුන් විසින් අධිකරණ වෙත සිදු කර ඇති ඉල්ලිමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඉවත් කළ සියලු දෙනා නැවත වතාවක් එම තනතුරු කටයුතු කරනු ලබනවා ෴


2024 වසරේ පළමු මාස තුන (3) තුළ මෙරටට සංචාරක පැමිණීම හය ලක්ෂය (600,000) ඉක්මවයි

(01.04.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ පළමු මාස තුන (3) තුළ මෙරටට සංචාරක පැමිණීම 635,784 ක් වූ බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව 2024 මාර්තු මාසයේදී පමණක් මෙරටට පැමිණී සංචාරකයන් සංඛ්‍යාව 209,181 කින් සම්පූර්ණ වූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ගතවූ මාස තුනේදී (3) සංචාරකයින් පැමිණීම එක් (1) මසකදී ලක්ෂ දෙකේ (200,000) සීමාව ඉක්මවා ඇති බවත් එම අමාත්‍යාංශය පවසනවා ෴


මෙරට පාසල් සිසුන්ට ජපානයෙන් පාපැදි

(01.04.2024 – 13:11 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ‘චයිල්ෆන්ඩ්’ ආයතනය මෙරටට පාපැදි 500 ක ප්‍රදානයක් ලබා දී තිබෙනවා.

මෙම පාපැදි නිල වශයෙන් භාර දීම අද දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘වෝටර්ස්එජ්’හිදී පැවති අතර එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි හයිදේකි (MIZUKOSHI Hadeaki), ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ නියෝජිත යුකෝ ඉෂාණ්ඩා (YUKO ISHANDA) හා ලංකා ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආදිති ගෝෂ් (ADITI GOSH) යන අය සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් මෙරටට ලැබී ඇති මෙම පාපැදි තොගය ලබා දීම සඳහා මොණරාගල, පුත්තලම, මුලතිව් වැනි ප්‍රවාහන දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක 12 ක පාසල් 108 කින් වයස අවුරුදු 12-16 ත් අතර සුදුසු සිසු සිසුවියන් තෝරාගෙන ඇති බවද සඳහන්.

නිවසේ සිට පාසලට අවම වශයෙන් කිලෝමීටර් දෙකහමාරක (2½) දුරක් පැමිණිය යුතු වීම මෙම පාපැදි ලබා දීමේ දී සලකා බැලු‍ණු ප්‍රධාන නිර්ණායකයක් වෙනවා.

සිසුන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා හා වෙනත් අපහසුතා ද මෙහි දී සැලකිල්ලට බඳුන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ ආයතනයේ ඉල්ලීම පරිදි මෙම ප්‍රදානය මෙරටට ලැබී ඇති අතර ජපන් තානාපති කාර්යාලයේ මැදිහත් වීම හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශනය යටතේ මෙම පාපැදි අදාළ සිසු-සිසුවියන්ට ප්‍රදානය කරන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම පාපැදි, කලාප අධ්‍යාපන කාර්යාල හරහා ශ්‍රී ලංකා ‘චයිල්ෆන්ඩ්’ ආයතනය විසින් සිසුන් වෙත බෙදාහරිනු ලබනවා.


නැගෙනහිර යුරෝපා රටවල වීසා අයදුම් කිරීමේ ගැටලුවට විසඳුම් ඉල්ලයි

(01.04.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ නැගෙනහිර යුරෝපා රටවල්වල තානාපති කාර්යාල නොමැති වීම හේතුවෙන් එම රටවල රැකියා සදහා යොමු කිරීමට වීසා අයදුම්කිරීමේදී දැඩි අපහසුතාවකට පත්වන බව බලපත්‍රලාභී විදේශ රැකියා නියුක්ති නියෝජිත ආයතන සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් මොහොමඩ් ෆාරුක් මොහොමඩ් අර්ෂාඩ් කියා සිටියේ, මේ හේතුවෙන් නැගෙනහිර යුරෝපා රටවලින් විශාල ලෙස රැකියා ඇබෑර්තු ලැබුන ද මෙරට ශ්‍රමිකයන්ට එම අවස්ථාව ලබාදීමේදී ගැටලු මතුව ඇති බවයි ෴


පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති පුද්ගලයන් තුන්දනෙකු (3) ගෙන් පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව ඉල්ලයි

(01.04.2024 – 15:36 +0530 – hirunews.lk/sinhala)

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පුද්ගලයන් තුන්දෙනෙකු (3) ගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු (5) අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට ඔවුන්ට ආචාර කර සමාව ඉල්ලා තිබෙනවා.

තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස හයකට (6) වැඩි කාලයක් රඳවා තබා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් පුද්ගලයන් තිදෙනෙකු (3) විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ගැනීම සිදුකෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල පුද්ගලයින්ගෙන් යළි ප්‍රශ්න කිරීම් නොකරන බවත් අදාල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙම පෙත්සම් වල වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු (5) විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් මෙම සමාව අයදීම සිදු කළා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බවයි.

2022 වසරේදී එම නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ලැබුණු පැමිණිලි වලට අනුව මෙම පෙත්සම්කරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ ගිණුම්වල රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවට මාධ්‍යවලින් වාර්තා කර තිබූ බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

එහෙත් පසුව තමන්ව සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණා ෴


දංකොටුව කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ

(01.04.2024 – 09:19 +0530 – sinhala.adaderana.lk)

දංකොටුව කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුළ දී කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය ඊයේ (31) සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 52 හැවිරිදි කටුකෙන්ද දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාව ඇයගේ පුත්‍රයා සමඟ කටුකෙන්ද ප්‍රදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිට ඇත.

ඊයේ (31) දිනයේ උදෑසන ඇයගේ පුත්‍රයා නිවසින් බැහැරව ගොස් ඇති අතර සවස නැවතත් නිවසට පැමිණි මව පිළිබඳ සොයා බැලීමේ දී ඇයව කාමරයක් තුළ ගෙල සිරකර ඝාතනය කර තිබූ අයුරු දැක තිබේ.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත.

ඝාතනය සම්බන්ධයෙන් තවමත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

(01.04.2024 – 07:59 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු (2) පසුගිය දා මියගොස් ඇති බවට ‘අල්ජසීරා’ පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු (2) එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු (3) මියගොස් ඇති බවට පසුගිය වසරේ (2023) දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි ෴


ගින්නකට හසුවී පුද්ගලයෙක් මියයයි

(01.04.2024 – 09:24 +0530 – sinhala.adaderana.lk)

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ සේරුපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී මිය ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 74 හැවිරිදි සේරුපිටිය, දමනේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා ගොවිතැන් කටයුතු සඳහා කුඹුරේ පිදුරුවලට ගිනි තැබීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර, නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් මියගිය පුද්ගලයාගේ මුණුබුරා කුඹුරට ගොස් සොයා බලා ඇත.

එහිදී සීයා ගින්නට හසුව ඇති බව දැක තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *