රෝහල් කිහිපයක වර්ජනයක් අද (01) ; හෙට (02) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ?

රෝහල් කිහිපයක වර්ජනයක් අද (01) ; හෙට (02) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ?


රෝහල් කිහිපයක වර්ජනයක් අද (01) ; හෙට (02) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ?

(01.04.2024 – 07:04 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව මුල් කරගනිමින් අද (01) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

තෝරාගත් රෝහල් කිහිපයක අද (01) උදෑසන 06:30 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ’ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

අද (01) දිනයේ දී සිය ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරින් අපොහොසත් වුවහොත් හෙට (02) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

“දිවයිනේ සියලු රෝහල්වල පැය 4 ක වැඩ වැරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කරලා තිබුණා. නමුත් අද (01) දවසේ ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවකට කතා කරලා තියෙනවා. මේ හේතුව නිසා අපි තීරණය කළා දිවයින පුරා වර්ජනය වෙනුවට රෝහල් 5 ක් දක්වා සීමා කරන්න. ඒ අනුව මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල අද (01) උදෑසන 06:30 සිට වර්ජනය ආරම්භ කරනවා. අද (01) විසඳුමක් ලැබුණේ නැත්නම් හෙට (02) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා.”

+


කොටින්ගෙන් පිරුණු විල්පත්තුවෙන් අලුත් වාර්තාවක්

(31.03.2024 – 21:17 +0530 – sinhala.adaderana.lk)

ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට ‘විල්පත්තු ජාතික වනෝද්‍යානය’ බවට හෙළිවී තිබේ.

ඒ සත්ත්වවේදියෙකු ඇතුළු කණ්ඩායමක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකට අනුවය.

මේ වනවිට වනෝද්‍යානයේ කොටියන් 313 කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් පැටවුන් සමග කොටි ධේනුවන් 8 ක් පමණ දිවිගෙවන බවත් අනාවරණ වී තිබේ.

හෙක්ටයාර 131,690 ක භූමියක් පුරා පැතිරෙන විල්පත්තුව, මෙරට විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැළකෙයි.

මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලට මායිම් වන විල්පත්තුව පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක පුරා විහිදෙන වනෝද්‍යානයකි.

විල්පත්තුව ලොව සුපතළ වනෝද්‍යානයක් බවට පත්ව ඇත්තේ එහි සිටින කොටියන් හේතුවෙනි.

+


72 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුර නිවසේ වහලයේ

(31.03.2024 – 20:02 +0530 – sinhala.adaderana.lk)

සිය නිවසේ වහලයේ උළු සකස් කිරීම සඳහා එහි නැග සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

මියගොස් ඇති පුද්ගලයා දිගු වේලාවක් වහලයෙන් නොබැසීම හේතුවෙන් නිවැසියන් කළ සෝදිසි කිරීමකදී ඔහු වහලය මත මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

ඔහුගේ පුත්‍රයා වහලයට නැග සෝදිසි කර සිය පියා මියගොස් ඇති බව දැනගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබේ.

නිවැසියන් පවසන්නේ පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාවත් සමග නිවසේ ස්ථාන කිහිපයක් තෙමීම හේතුවෙන් ඒවා සකස් කිරීමට ඔහු මෙලෙස වහලයට නැග ඇත බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පින්වත්ත පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ ෴


විමල් වීරවංශ පාස්පෝට් නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි

(01.04.2024 – 10:40 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 දින උදෑසන 02:00 ට පමණ විදෙස් ගත වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. එහිදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම්දී තිබෙන්නේ එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවටයි. එම බලපත්‍රයේ වලංගු වීසා පැවති බැවින් ඒ සමග ඒ වනවිට වලංගු ගමන් බලපත්‍රය රැගෙන පැමිණියහොත් විදෙස් ගත විය හැකි බව එම නිලධාරීන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුනා.

මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බල පත්‍රයක් ලබාගෙන ඇත. ඉන් පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමග වලංගු විසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පුනා පුනා ප්‍රශ්න කළේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම්, පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද, යන්නයි.

එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදු කර තිබුණු අතර එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිතා කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි. එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පිළිගන්නා ලදී.

එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන, ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයාය.

ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කරන ලදී.

විත්තිය වෙනුවෙන්, නීතිඥ සජීව මීගහවත්ත, ප්‍රශාන් වික්‍රමරත්න, විනෙශ්කා මෙන්ඩිස්, තිළිණි පෙරේරා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටින ලදී.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ

++++++++

+


යූටියුබයේ දැන්වීම් දමා රුපියල් ලක්ෂ 50 ක රන් හා මුදල් වංචනිකව ලබාගෙන

(01.04.2024 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යොතිෂවේදියකු ලෙස පෙනී සිටිමින් දේවාලයක්ද පවත්වාගෙන යමින් ජනතාව මුළා කර රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදල් හා රත්තරන් වංචනිකව ලබා ගත් පුද්ගලයකු අඟුරුවාතොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ආචාර්ය උපාධියක් සහ තවත් ගරු නම්බු නාම පදවි රැසකින් පිදුම් ලැබූ ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තෙකු බවට හඟවා ඇති නමුත් ඔහු සාමාන්‍ය පෙළ හෝ සමත් නැති අයකු වන අතර, නම් තුනකින් (3) පෙනී සිට තිබෙනවා.

මෙහිදී යූටියුබ් නාලිකාවක පළකර තිබූ දැන්වීමක් අනුව කළුතර ප්‍රදේශයේ කාන්තාවක් තම දියණියගේ කේන්දරය රැගෙන දියණිය සහ සැමියා සමඟ මෙම පුද්ගලයා හමුවට ගොස් තිබෙනවා.

අනතුරුව සැකකරු කේන්දරය පරීක්ෂා කිරීමෙන් පසු ඇයට අපල උපද්‍රව රැසක් තිබෙන බවත්, එය දුරු කර නියම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පිරිසිදු රනින් නිමවන ලද සුරයක් රන් මාලයක ගැටෙන අයුරින් දැමිය යුතු බවත් පවසා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව එම කාන්තාව දින කීපයකට පසු සැමියා සමඟ මෙම පුද්ගලයා හමුවට ගොස් පවුම් දෙකක (2) රන් මාලයක් ඔහු වෙත ලබා දී තිබූ අතර, ජ්‍යොතිෂවේදියා යැයි කියූ සැකකරු එම රන්මාලය දිග මැන බර කිරා ජංගම දුරකතනයකින් වීඩියෝද ගත කර ඔහු භාරයට ගෙන පවුමක සුරය සෑදීම සඳහා ඔහු විසින් නම් කරන ලද හොරණ ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසලකට මුදල් ලබා දී රිසිට් පත ඔහු වෙත ලබා දෙන ලෙස උපදෙස් ද ලබා දී තිබෙනවා.

සිය දියණියගේ අපලය දුරු කිරීම සඳහා ඉක්මනින් වැඩ කටයුතු සිදු කිරීමට අවශ්‍ය බැවින් එයද ඔහු කියූ ආකාරයටම මුදල් ගෙවා මෙම පුද්ගලයා වෙත ලබා දීමට කටයුතු කිරිමෙන් අනතුරුව සෙනසුරාදා දිනයක පූජාවට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

සැකකරු පැවසූ ආකාරයෙන් දියණිය සමඟ පූජාවට සහභාගි වුවද එදින සුරය පැලඳවීමට සැකකරු කටයුතු නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳ විමසීමේ දී එය දින 30 ක් ජප කිරීමට අවශ්‍ය බවයි සැකකරු පවසා ඇත්තේ.

ඒ ආකාරයෙන් වසරකට අධික කාලයක් විවිධ හේතු කියමින් මඟහරිමින් මෙම සැකකරු එම වංචාව සිදු කර ඇති අතර, ඇමතුම් ලබා දෙන සෑම මොහොතකම සැකකරු දුර බැහැර ප්‍රදේශවල මෙන්ම සාකච්ඡා සම්මන්ත්‍රණ ආදියවල නිරත වන ප්‍රභූ පුද්ගලයකු බවට හුවා දක්වමින් පැමිණිලිකරුවන් හිතාමතා මඟහැර ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මේ ආකාරයට සැකකරු මෙරට සහ විදේශගතව සිටින පිරිස් රවටා රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ජ්‍යොතිෂවේදියා යැයි කියනු ලබන සැකකරු බොහෝ විට ප්‍රමුඛස්ථානය ලබා දෙනු ලබන්නේ ඈත ගම් දනව්වල සිටින කාන්තාවන් සහ විදේශගතව රැකියාව කරන කාන්තාවන්ගෙන් ලැබෙන දුරකතන ඇමතුම් සඳහා බවත් පොලිස් විමර්ශනවල දී විශේෂයෙන් අනාවරණය වී තිබෙනවා.

සැකකරු ඔහුගේ මෙම කූට වංචාව සඳහා තැ‍රැව්කරුවන් රැසක් අන්තර්ජාලයේ මෙන්ම දේවාලය අවටද යොදා ගෙන ඇති අතර, එම සමහර තැ‍රැව්කාර පුද්ගලයන් වෙත කුලී පදනම මත සුඛෝපභෝගී වාහන ද ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී ඔහුගේ පිහිට පතා එන සමහර පුද්ගලයන්ට එම තැ‍රැව්කරුවන් තමන් අද මෙවැනි දියුණු තත්ත්වයට පත්ව ඇත්තේ මෙම දේවාලයේ පිහිටෙන් බවත් පවසමින් පැමිණෙන මිනිසුන් තව තවත් මුළා කර තිබෙනවා.

අනතුරුව අඟුරුවාතොට පොලිසිය විසින් අඟුරුවාතොට, යාල අකුරුකළවිට පාර පදිංචි 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ ෴


මියන්මාර සයිබර් වහල් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් බේරාගැනීමේ ප්‍රමාදයක්

(01.04.2024 – 09:12 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල සිරකරගෙන සිටින ශ්‍රී ලාංකිකයින් බේරාගැනීම රජය විසින් තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව එම කඳවුරක රැඳී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු ‘හිරු ප්‍රවෘත්ති’ වෙත ප්‍රකාශ කළා.

එවන් පසුබිමක උගන්ඩා රජය මැදිහත් වී එම කඳවුරුවල සිටි සිය පුරවැසියන් පිරිසක් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මියන්මාර – තායිලන්ත දේශසීමාව අතර ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක පාලනය යටතේ පවතින ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු කඳවුරු 3 ක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව ‘හිරු ප්‍රවෘත්ති’ අවස්ථා කිහිපයදී රට හමුවේ අනාවරණ කළා.

ත්‍රස්ත ජාලයක් මගින් පවත්වාගෙන ගොස් තිබූ එම කඳවුරුවලදී අන්තර්ජාලය හරහා පුද්ගලයින් රවටා මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වන්නට එම ලාංකිකයින්ට සිදුව තිබුණා.

මේ සම්බන්ධයෙන් කළ අනාවරණයෙන් පසු රජයේ අවධානය ද ඊට යොමු වූ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඊට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස එම ශ්‍රී ලාංකිකයින් 56 දෙනා අතරින් 08 දෙනෙකු මියන්මාර ආරක්ෂක අංශ විසින් මුදා ගැනුණත් මෙතෙක් ඔවුන් දිවයිනට පැමිණ නැහැ.

+


දිස්ත්‍රික්ක 4 ක අස්වැසුම නොලැබුණු සියලුදෙනාට අලුත් අවුරුද්දට පෙර ගෙවීම්

(01.04.2024 – 09:24 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු දෙනාට සිංහල හින්දු අළුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴


මදුරන්කුලියේ නිවසකට ගිනි තබයි

(01.04.2024 – 10:55 +0530 – hirunews.lk/sinhala)

මදුරන්කුලිය – මුක්කුතොඩුවාව ප්‍රදේශයේ නිවසකට ඊයේ (31) රාත්‍රියේ ගිනි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ හේතුවෙන් නිවස අසළ ගාල් කර තිබූ මෝටර් රථයකට, යතුරු පැදියකටද හානි ඇතත් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එය හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් පාලනය කිරීමට සමත්ව තිබෙනවා.

නිවස පිහිටි ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රදේශයේ පිහිටි ටින් මාළු කර්මාන්තශාලාවක් සම්බන්ධයෙන් නිවසේ හිමිකරු සමග පවතින අමනාපයක් මෙම ගිනි තැබීමට හේතු වී ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *