තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ බූරුපොළක රැඳී සිටි තරුණයෙකුට පොලිසිය වෙඩි තබයි

තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ බූරුපොළක රැඳී සිටි තරුණයෙකුට පොලිසිය වෙඩි තබයි


තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ බූරුපොළක රැඳී සිටි තරුණයෙකුට පොලිසිය වෙඩි තබයි

(31.03.2024 – 13:14 +0530 – hirunews.lk/sinhala)

= පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තරුණයෙකුට තුවාල =

තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයාගේ උරහිස ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බවයි.

තිස්සමහාරාම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අද (31) අලුයම් කාලයේදී රන්මිණතැන්න ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකර තිබුණා.

එම අවස්ථාවේදී බූරුපොළක රැඳී සිටි පිරිසක් අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ ගෙන තිබූ අතර, පොලිසිය පැවසුවේ ඔවුන් එහිදි පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා යෑමට උත්සාහ ගත් බවයි.

එහිදි ඔවුන් අතර සිටි එක් අයෙකු අල්ලා ගැනීමට පොලිසිය සමත් වූ බවත්, ඔහුද පලා යෑමට උත්සාහ ගැනීමේදී සිදුවු පොරබැදීමකදි පොලිස් නිලධාරියෙක් අත වු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් එම පුද්ගලයාගේ උරහිස ප්‍රදේශයට වෙඩි වැදුණු බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් පැවසුවේ පොලිසිය සමඟ පොරබැදීමක් සිදු නොවු බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු එම පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණා.

එලෙස තුවාල ලැබුවේ රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි ‘රුවන් කුමාර’ නමැති 27 හැවිරිදි එක්දරු පියෙක්.

++++++++

+


ඉන්ධන මිල සංශෝධනය හෙට (01)

(31.03.2024 – 13:27 +0530 – hirunews.lk/sinhala)

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය හෙට (01) සිදුකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළේ පසුගිය මාර්තු මස 04 වනදායි.

එහිදී ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින්ද පහළ ගියා.

එම මිල පහළ දැමීමත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක් ලෙසත් ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257 ක් ලෙසත් සටහන් වූවා.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතින බවත් සංස්ථාව ප්‍රකාශකර සිටියා ෴


හෙද හෙදියන් හෙට (01) සහ අනිද්දා (02) වෘත්තිය ක්‍රියාමාර්ගයක – ගුරු සංගමයෙනුත් රතු එළියක්

(31.03.2024 – 13:51 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ සියලුම හෙද හෙදියන් පැය තුනක් (3) සේවයෙන් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ‘සමස්ත ලංකා හෙද සංගමය’ පවසනවා.

එම සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවල සඳහන් කළේ, හෙද හෙදියන්ගේ දීමනා ලබාදීම, නිල ඇඳුම් දීමනා ඇතුළු ගැටලු‍ කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

මේ අතර, සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු‍ නිරාකරණය කිරීම සදහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම අත්‍යවශ්‍ය බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන් ම සිය ගැටළු සදහා මැයි පළමුවනදාට (01) පෙර විසදුම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ‘ලංකා ගුරු සංගමය’ පවසනවා.

ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නතර කිරීම ඇතුළු ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීමට එරෙහිව මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සිදුකරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.

+


සදාකාලික වේදනාවක් ඇතිකළ අඳුරු මතකය කඳුළු මැදින් සිහිකළ අම්මාවරු

(31.03.2024 – 14:58 +0530 – hirunews.lk/sinhala)

වසර 5 කට පෙර පාස්කු ඉරිදාවේ ඉතිරි වූ ඒ අඳුරු මතකය අදටත් මෙරට ජනතා සිත් සතන් තුළ රැව්පිළිරැව් දෙනවා.

සදාකාලික වේදනාවක් බවට පත්ව ඇති ඒ මිලේච්ඡ ප්‍රහාරයේ වින්දිතයින් වූ මව්වරුන් අදටත් දෑස් දල්වා සිටින්නේ යුක්තිය කොයි මොහොතක හෝ ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන්.

දිනය 2019 අප්‍රේල් 21 ඉරිදා.

කුරුසියේ ඇණ ගසා මරුමුවට පත්වූ ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැවත උත්ථානය වීම සිහිකරමින් කිතුණු බැතිමතුන් දිවයින පුරා පිහිටි දේවස්ථාන වෙත පිය තබමින් සිටියා.

ඒ, සිය හදපිරි බැතිය දේව මෙහෙයේදී උත්කර්ෂයට නංවා ගැනීමටයි.

එහෙත් කිසිවෙකු නොසිතන ඛේදනීය ඉරණමක් ඒ වනවිටත් ලියැවෙමින් පැවති අතර දේවස්ථාවලට එක්වූ කිතුණු බැතිමතුන්ගේ ජීවිත මොහොතකින් වෙනස් වීමේ හෝරාව කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබුණා.

වේලාව උදෑසන 08:45 යි.

මේ මිලේච්ඡ ත්‍රස්තයින්ගේ ඉලක්කය වී තිබුණේ මෙරට දේවස්ථාන 3 ක්, ප්‍රධාන පෙළේ තරුපන්තියේ හෝටල් 3 ක් ඇතුළු ස්ථාන 6 ක්.

ජීවිත 269 ක් මරු තුරුලේ සැඟවීමටත් තවත් ජීවිත 500 කට අධික සංඛ්‍යාවක් එහි වින්දිතයින් බවට පත්වීමට ගතව තිබුණේ මිනිත්තු කිහිපයක් පමණයි.

ප්‍රහාරයෙන් වසර 5 ක් ගතවුවත් තවමත් අළුයට ගිනි පුපුරු මෙන් සදාකාලික වේදනාවක් බවට පත්ව ඇති මේ ප්‍රහාරය ගැන ජනතාවට අදටත් ඇත්තේ කුකුසක්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු කටයුතු 20,000 කට අධික ප්‍රමාණයක් ගොනු වී තිබුණත් සත්‍යය හෙළිදරව් වීම තවමත් ප්‍රමාද මන්දැයි ජනතාව ප්‍රශ්න කරනවා.

ඒ අඳුරු දිනයේ 8,000 කට අධික පිරිසක් මෙහි කටුවාපිටිය දේව මෙහෙයට එක්ව සිටි අතර ඔවුන් අතරින් 104 දෙනෙකුගේ ජීවිත අහිමිව ගියේ පාස්කු ප්‍රහාරයේ වැඩිම ජිවිත බිලිගත් ස්ථානය කටුවාපිටිය ලෙස ඉතිහාසයට එක්වෙමින්.

එහි වේදනාව හිතේ දරා සිටින මේ මව්වරු තවමත් සොයන්නේ යුක්තියයි.

එහිදී තම ප්‍රියයන් වෙන් වීමේ වේදනාව දරාගත නොහැකි අම්මාවරු හැඩූ කඳුළින් පවසන්නේ කෙසේ හෝ යුක්තිය ඉල්ලා දෙන ලෙසයි.

මේ ඔවුන් අප හමුවේ ප්‍රකාශ කළ සංවේදී වදන් :

“පාස්කු ප්‍රහාරය වෙලා වසර 04 ක් ගත වුණා. මට මගේ මහත්තයා අහිමි වුණා. දරුවෝ තුන්දෙනෙක් (3) එක්ක මම තනි වුණා. අපේ අයගේ වේදනාව, නැතිවෙච්ච අඩුව දැනෙන්නේ පවුල්වල අයට. හැමෝම එන්නේ සාධාරණත්වය කරන්න කියලා. අපි ජීවත්වෙන්නේ දෙවියන් වහන්සේ කවදාහරි සාධාරණත්වයක් කරයි කියලා.”

+


උතුරේ වකුගඩු රෝග පාලනයට ජල පිරිපහදු 24 ක් ස්ථාපනය කෙරේ

(31.03.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

උතුර පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු 24 ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6 ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ එවැනි යන්ත්‍රාගාර 18 ක් විවෘත කිරීමට නියමිතයි.

උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම ජල පිරිපහදු යන්ත්‍රාගාර ඉදි කර තිබෙනවා.

මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජල ලීටර 2,000 ක් පමණ පිරිසිඳු කිරීමේ හැකියාව පවතින බව සඳහන් ෴


දිය නාමින් සිටි කාන්තාවට කිඹුල් ප්‍රහාරයක්

(31.03.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක්ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (29) සවස් කාලයේදී එම කාන්තාව ඇලේ දියනෑමට ගිය අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් එක් ව අදාළ කාන්තාව කිඹුලා ගෙන් මුදාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ලීකොළවැව, උස්ගලසියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි ව සිටි 66 හැවිරිදි කාන්තාවක්. මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මීගලෑව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඉන්දීය ජාතික රැඳවියෙකු සතුව තිබී ජංගම දුරකථන සහ චාජර් සොයා ගැනේ

(31.03.2024 – 16:20 +0530 – hirunews.lk/sinhala)

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඉන්දීය ජාතික රැඳවියෙකු සතුව තිබී ජංගම දුරකථන 03 ක් හා චාජර් 02 ක් පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඔහුට අයත් මල්ලක් තුළ ඉතා සූක්ෂම ලෙස ඒවා සඟවා තිබූ බවයි පොලිසිය පැවසුවේ ෴


බොරලැස්ගමුව සම්බාහන මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(31.03.2024 – 16:35 +0530 – hirunews.lk/sinhala)

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයා සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් ෴


මල්ලී විසින් අයියා ඝාතනය වේ

(31.03.2024 – 17:33 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැල්ල – කුඩාගම ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමෙන් බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී තම වැඩිමහල් සහෝදරයා ඝාතනය කරනු ලැබ තිබෙනවා.

42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (30) රාත්‍රියේ මෙලෙස ඝාතනය කර තිබෙනවා.

සිද්ධියට අදාළව ඝාතනය සිදු කළ බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


සිංගප්පූරුවෙන් ගෙන්වන භාණ්ඩ රැසක බදු අඩු කෙරේ

(31.03.2024 – 09:23 +0530 – sinhala.adaderana.lk)

‍ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් ‘පැල්’ අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10 ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව‍ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද කිරි ආහාර හැර අනෙකුත් ළදරු ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර තිබේ.

ඊට අමතරව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි සඳහා වන අමුද්‍රව්‍ය, වාහන අමතර කොටස්, යතුරුපැදි සහ පාපැදි අමතර කොටස් සඳහා ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ද සියයට 10 සිට සියයට 6 දක්වා අඩුකර ඇති බව වාර්තා වෙයි.

ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, නාන කාමර උපකරණ, පොලිතින් හා ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ ලී භාණ්ඩ සඳහා අයකරනු ලබන බදු ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.


බිහිසුණු අනතුරකින් ගුරු තරුවක් දිවියෙන් සමුගනී

(31.03.2024 – 17:51 +0530 – sinhala.adaderana.lk)

ඇඹිලිපිටිය නෝනගම මාර්ගයේදී සිදුවූ අනතුරකින් පාසල් ගුරුවරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ ‘සමන්තිකා ජයසිංහ’ නමැති තිදරු මවකි.

ඇය ‘මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේ උසස් පෙල වාණිජ අංශ ප්‍රධානී ගුරුවරිය’ ලෙස කටයුතු කර තිබුණි.

විදුහල්පතිවරයෙකු වන ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනෙකු (2) ද අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ ඔවුන් තිදෙනා (3 ?) අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත මාරුකර යවා ඇත.

ඔවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණි.

ඇඹිලිපිටිය නෝනගම මාර්ගයේ බැමිණියන්විල ප්‍රදේශයේදී ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක වැදීමෙන් අනතුර සිදුව තිබුණි.

පොලීසිය සැකපළ කරන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටය.

අම්බලන්තොට පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴

++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *