පිළිරුවක් මත හිසක් තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි – පොලීසියට කසිප්පු ඔත්තු දුන්නැයි කියා ?
පිළිරුවක් මත හිසක් තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි – පොලීසියට කසිප්පු ඔත්තු දුන්නැයි කියා ?
(13.05.2026 – 19:24 +0530 – sinhala.adaderana.lk)
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර, ඔහුගේ හිස රැගෙන ගොස් ප්‍රදේශයේ පිහිටි රත්නාවලී දේවියගේ පිළිරුවෙහි දෑත් මත තබායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ.
අදාළ අපරාධයට තිදෙනෙකු (3) පැමිණ ඇති බවට සැකකෙරෙන අතර, එම තිදෙනාම (3) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගයෙකුගේ සහෝදරයෙකු ඝාතනය කිරීමකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවය.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු මෙම ඝාතනය සම්පූර්ණයෙන් මෙහෙයවා ඇති බවටත් මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙලෙස ඝාතනය වූයේ ‘ලක්මාල් සඳරුවන්’ හෙවත් ‘පොඩී’ නැමැති 34 හැවිරිදි අයෙක්ය.
පසුගිය මැයි 11 වැනිදා රාත්‍රියේදී ඔහුගේ ඝාතනය සිදුවූ අතර, එදින ඔහුගේ උපන්දිනයද යෙදී තිබූ බව පොලිසිය පැවසීය.
එම පුද්ගලයා 2025 වසරේ පෙබරවාරි මස 02 වැනිදා මාමඩල ප්‍රදේශයේම සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.
එම සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහු ඉකුත් මාර්තු 30 වනදා ඇපමත මුදාහැර තිබේ.
ඒ අනුව ඇපමත පැමිණ සිටි ඔහුව ‘සලිත උදයංග මල්ලිකාරච්චි’ නොහොත් ‘මෙත්ත ලොකු’, ‘චමීර උදයංග’ හා ‘සාරංග දර්ශන’ යන තිදෙනා (3) විසින් මෙම ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබේ.
එම තිදෙනාව (3) ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව ‘චමීර උදයංග’ නැමැත්තාව සිද්ධිය වූ දිනම අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, අනෙක් දෙදෙනා (2) අද (13) පස්වරුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඝාතනය වූ පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ බවට සැකකෙරෙන ත්‍රිත්ව ඝාතනයේ ‘අසංක මල්ලිකාරච්චි’ නොහොත් ‘මෙත්ත පොඩී’ නැමැත්තා, අත්අඩංගුවට පත් වූ ‘සලිත උදයංග මල්ලිකාරච්චි’ හෙවත් ‘මෙත්ත ලොකු’ නැමැත්තාගේ සහෝදරයෙක්ය.
ඒ අනුව සිය සහෝදරයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව පොලිසියට පැවසීය.
‘මෙත්ත පොඩී’ නැමැත්තා ඇතුළු තිදෙනාව (3) ඝාතනය කර ඇත්තේ ප්‍රදේශයේ සිදුවන මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදෙන බවට ඇති වූ සැකයක් මත බව සඳහන්ය.
එම ඝාතනයට සම්බන්ධවූවන් බියකිරීමේ අරමුණින් ‘පොඩී’ නැමැත්තා ඝාතනය කර ඔහුගේ හිස රැගෙන ගොස් එලෙස ‘රත්නාවලී දේවී පිළිරුවේ’ තබන්නට ඇති යැයි පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.
බීමතින් පැමිණි පිරිස මෙම ඝාතනය කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම හිස කඳින් වෙන්කර රැගෙන යෑම සම්පූර්ණයෙන්ම සැලසුම්කර ඇත්තේ, ‘මෙත්ත පොඩී’ නැමැත්තාගේ මවගේ සහෝදරයෙකු වන ‘රංජිත් ප්‍රියන්ත එදිරිවීර’ නොහොත් ‘කරුණ ලොක්කා’ නැමැත්තා විසින් බවට පොලිසිය සැකපලකරයි.
අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ‘කරුණ ලොක්කා’ ඝාතනය සිදුවූ දින උදෑසන තමන්ට එරෙහිව මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබේ.
එහිදී ඔහුට ඇප තැබීමක් සිදු වී නොමැති හෙයින් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
එයද ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බවට එල්ලවන චෝදනා මගහැරීම සඳහා සිදුකළ එකක් බවට පොලිසිය සැකපළකරයි.
ඔහු මෙම ඝාතනය සිදුකරන බවට සැලසුම් කරන බවට ද ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
නීතිවිරෝධී මත්පැන් ජාවාරම හේතුවෙන් ඇතිවූ ආරවුල් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතන සිදුව ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී විජේබන්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අම්බලන්තොට පොලිසියේ ස්ථානධිපති අමිල රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලබයි.
+
බදු ක්‍රියා පටිපාටි පැහැර හරින්නන්ට එරෙහිව අපරාධ දඬුවම් ගෙන ඒමේ සූදානමක්
(14.05.2026 – hirunews.lk)
බදු ගෙවන්නන් විසින් ඉටුකළ යුතු මූලික ක්‍රියා පටිපාටි අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැඩි අපරාධ දඬුවම් හඳුන්වා දීමට දේශීය ආදායම් පනතට යෝජිත නව සංශෝධනයක් මගින් සූදානම් වෙන බවත්, මෙය බදු නීති බලාත්මක කිරීමේ ක්‍රියාවලියේ කැපී පෙනෙන වෙනසක් බවටත්, දිනපතා ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කර තිබෙනවා.
පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති නව 185A වගන්තිය මගින් නඩු පැවරිය හැකි වරදවල් ලෙස සැලකෙන අනුකූලතා පැහැර හැරීම් කිහිපයක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, වාර්ෂික ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, ආදායම් බදු වාර්තා, ප්‍රාග්ධන ලාභ බදු වාර්තා, රඳවා ගැනීමේ බදු වාර්තා හෝ වෙනත් ඕනෑම බදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා යටතේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම, නිල වශයෙන් දැනුම් දුන් විට බදු බලධාරීන් හමුවේ පෙනී සිටීමට අපොහොසත් වීම යන දෑ මෙයින් හඳුනාගෙන ඇති බව සඳහන්.
මීට පෙර පරිපාලනමය අවශ්‍යතා ලෙස පමණක් සැලකූ මේවා පැහැර හරිනු ලැබුවහොත්, මින් ඉදිරියට දඬුවම්වලට යටත් වීමට සිදුවෙනවා.
කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිත නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු මෙම කොන්දේසි ඉටු නොකරන බදු ගෙවන්නන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගත හැකි බවටයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.
වරදකරුවන් වන අයට රුපියල් 400,000 දක්වා දඩයක්, මාස හයක (6) සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකියි.
“මෙහිදී අපට කළ හැකි දෙයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව සිය තීරණය ලබා දී තිබෙනවා. මින් ඉදිරියට දේශීය ආදායම් පනත සැහැල්ලුවෙන් සලකා කටයුතු කළ නොහැකියි.” යනුවෙන් මෑතකදී පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් KPMG ශ්‍රී ලංකා ආයතනයේ බදු සහ නියාමන අංශ ප්‍රධානී සුරේෂ් පෙරේරා පවසා තිබෙනවා.
මෙම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
තවද, 18 වන වගන්තිය මගින් “සංචිත” යන නිර්වචනය පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව, සෘණ රඳවා ගත් ආදායම් (negative retained eaings), සමුච්චිත අලාභ සහ සංචිතවල හිඟයන් පැහැදිලිවම සංචිත යන්නට ඇතුළත් වෙන බව සඳහන්.
කෙසේ වෙතත්, වත්කම් ප්‍රතිඇගයීමෙන් ලැබෙන සංචිත තවදුරටත් එයට ඇතුළත් නොවේ.
මෙම යෝජිත සංශෝධන හරහා බදු ගෙවන්නන් වැඩි වශයෙන් වගකීම් සහගත කිරීමටත්, බදු අනුකූලතාව ශක්තිමත් කර රජයේ ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීමටත් උත්සාහය පිළිබිඹු වෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා මැයි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ (2) වැඩ තහනම්
(14.05.2026 – 11:13 +0530 – sinhala.adaderana.lk)
සැකකරුවන්ට තහනම් ද්‍රව්‍ය ළඟ තබාගැනීමට ඉඩදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ (2) වැඩතහනම් කර තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් විසින් සිරමැරිදි දෙකක (2) සිටි සැකකරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමට ඉඩලබාදීම, දුම්වැටි හා ලයිටර්, දුම්කොළ කැබලි ළඟ තබාගැනීමට ඉඩලබාදී ඇති බවය.
ඊයම් කොළ හා මත්ද්‍රව්‍ය භාවිතයට බට ආකාරයෙන් සකස් කරන ලද මුදල් නෝට්ටු ද සිරමැදිරි තුළ තබාගැනීමට ඔහුන් දෙදෙනා (2) විසින් ඉඩලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සිරමැදිරි පරීක්ෂා කිරීමේදී අදාළ තහනම් ද්‍රව්‍ය හමුව ඇති බව පොලීසිය පවසයි ෴
ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට
(14.05.2026 – 10:29 +0530 – sinhala.adaderana.lk)
ඇල්ල සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට අපරාධ රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීකමදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 28 යන වයස් වල පසුවන්නන් දෙදෙනෙකු (2) බව සඳහන් වෙයි.
මෙහිදී එක් සැකකරුවෙකු එක් තරුණ යුවළක් බිය ගන්වා තරුණිය කැලෑබද ප්‍රදේශයට රැගෙන ගොස් දූෂණය කර ඇති අතර තවත් තරුණ යුවළකගේ රුපියල් ලක්ෂ පහකට (5) ආසන්න වටිනාකමකින් යුතු රන් ආභරණ පැහැරගෙන ඇත.
මේ අතර තවත් තරුණ යුවල්වලින් ජංගම දුරකතන සහ විවිධ දේපළ කොල්ලකා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථනය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
කාලගුණයෙන් රතු නිවේදනයක් – ගතවූ පැය 24 තුළ මි.මී. 256.2 ක වැඩිම වැස්ස පුත්තලමට
(14.05.2026 – 09:51 +0530 – sinhala.adaderana.lk)
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද (14) උදෑසන 09:30 ට නිකුත් කර ඇති අතර, එය හෙට (15) උදෑසන 08:30 දක්වා බලපැවැත්වේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින අතර, එය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර ගතවූ පැය 24 තුළ මි.මී. 256.2 ක වැඩිම වැස්ස පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
+
සිංගප්පූරුවේ E-mail මගින් කළ අමෙ. ඩොලර් මිලියන 6.6 ක මහා වංචාවක් – මුළු මුදලම යළි ලබා ගනී
(14.05.2026 – hirunews.lk)
සිංගප්පූරුවේ පිහිටි භාණ්ඩ වෙළඳාම් කිරීමේ සමාගමක් ව්‍යාපාරික විද්‍යුත් තැපැල් වංචාවකට හසුවී අහිමි කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 6.6කට අධික (සිංගප්පූරු ඩොලර් මිලියන 8.4) මුදලක් නැවත සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා.
සිංගප්පූරු පොලිසිය, HSBC සිංගප්පූරු බැංකුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, ඩුබායි වංචා විමර්ශන මධ්‍යස්ථානය සහ ඕමාන් පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් මෙම මුදල් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට පොලිසියේ නිවේදනයකට අනුව, අදාළ සමාගම අප්‍රේල් 30 වැනිදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඕමානයේ පිහිටි ව්‍යාජ බැංකු ගිණුමකට ඩොලර් මිලියන 6.6 ක මුදලක් මාරු කර ඇති බව පවසමින්.
මෙම වංචාව සිදුවී ඇත්තේ ඔවුන්ගේ සැපයුම්කරුවෙකුගෙන් ලැබුණු බව හැඟවෙන ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් (E-mail) මගින්.
වංචාකරුවන් විසින් සැබෑ සැපයුම්කරුගේ ඊමේල් ලිපිනයේ අකුරු දෙකක් (2) පමණක් වෙනස් කර ඉතා සූක්ෂ්ම ලෙස මෙම පණිවිඩය එවා ඇති බව සඳහන්.
එය සත්‍ය ඉල්ලීමක් යැයි විශ්වාස කළ සමාගමේ සේවකයින් අප්‍රේල් 29 වැනිදා අදාළ මුදල ව්‍යාජ ගිණුමට බැර කර තිබෙනවා.
පසුව සැබෑ සැපයුම්කරු සම්බන්ධ කරගත් විට ඔවුන් එවැනි බැංකු ගිණුම් වෙනසක් සිදු කර නොමැති බව තහවුරු වී ඇති අතර, පසුව සමාගම වංචාවට හසුවී ඇති බවටයි වටහාගෙන ඇත්තේ.
සිංගප්පූරු පොලිසියේ වංචා විමර්ශන මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වී ඩුබායි සහ ඕමාන් බලධාරීන් සමග සම්බන්ධ වී මුදල් බැර වූ ආකාරය සොයාගෙන තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස මුළු මුදලම යළි ලබා ගැනීමට ඔවුන් සමත් වුණා.
මෙයට 2024 ඔක්තෝබර් මාසයේදී පිහිටුවන ලද Frontier+ නමැති ජාත්‍යන්තර වංචා මර්දන නියෝජිතායතනය විශාල පිටිවහලක් වී ඇති අතර, එහි සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 11 ක නියෝජිතයෝ ඇතුළත්.
මේ අතර, ශ්‍රී ලංකාවේ ද ණය මුදලක් පියවීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හැකර් පාර්ශවයක් අතට පත් වීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණා.
කෙසේනමුත් මේ වන තෙක් ම එම මුදල නැවත අත්පත්කර ගැනීමට ශ්‍රී ලංකා රජය සමත් වී නැහැ ෴
ආගමන විගමන තාක්ෂණ ලොක්කා CID දැලේ
(14.05.2026 – 12:51 +0530 – sinhala.adaderana.lk)
‘ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ’ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පාලක, තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන ‘කේ. හේරත්’ නැමැති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ‘User Management Module’ නැමැති මෘදුකාංගය ස්ථාපනය කිරීම සඳහා රුපියල් 9,831,250 ක මුදලක් ගෙවා තිබියදී, එම මෘදුකාංගය ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංගය ලබානොගෙන රජයේ මුදල් වංචාකාරී ලෙස ලබාගැනීමට කටයුතු කිරීම ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනා බව සඳහන් වේ.
පොලීසිය සඳහන් කරන පරිදි, මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලැබී ඇති චෝදනා මතය.
රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීන්ෂණ පවත්වයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴