“කට කපනවයි රංජිත් බණ්ඩාර දුරකතනයෙන් තර්ජනය කළා” – දිලුම්ගේ ලේකම්වරියගෙන් පොලිසියට පැමිණිල්ලක්

“කට කපනවයි රංජිත් බණ්ඩාර දුරකතනයෙන් තර්ජනය කළා” – දිලුම්ගේ ලේකම්වරියගෙන් පොලිසියට පැමිණිල්ලක්


“කට කපනවයි රංජිත් බණ්ඩාර දුරකතනයෙන් තර්ජනය කළා” – දිලුම්ගේ ලේකම්වරියගෙන් පොලිසියට පැමිණිල්ලක්

(30.03.2024 – 11:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය රංජිත් බණ්ඩාර තමාගේ කට කපන බවට තර්ජනය කළේ යැයි පවසමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගේගේ කාන්තා කටයුතු, පෙරපාසල් හා රූපලාවන්‍යය ක්ෂේත්‍ර කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරිය පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

යම් දෙයක් පවසා ඇතැයි දැනගන්නට ලැබුණු හෙයින් එය සත්‍යයක් නම් නිවසටම පැමිණ කටේ සිට කණ දක්වා කපා දමන බව ඔහු දුරකථනයෙන් තර්ජනය කළ බවයි එම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.

ලේකම්වරිය පවසන්නේ තමා සහ දියණිය පමණක් නිවසේ පදිංචිව සිටින නිසා මෙම ප්‍රකාශය හේතුවෙන් තමන් බියෙන් පසුවන බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසා සිටියේ මෙවැනි සිද්ධියක් JVP භීෂණ සමයේ සිදු වුණා නම් කට කපනු ඇති බවයි.

තමා එවැනි තර්ජනයක් නොකළ බවයි මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩිදුරටත් පවසා සිටියේ.

+


මහියංගණ මහවැලි පාලමෙන් තරුණියක් ගඟට පනී

(30.03.2024 – 11:04 +0530 – hirunews.lk/sinhala)

මහියංගණ, මහනුවර ඒ-26 මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් ඊයේ (29) රාත්‍රි 07:00 ට පමණ තරුණියක් ගඟට පැන තිබෙනවා.

එම අවස්ථාවේ එහි සිටි පිරිස විසින් ඇයව බේරාගෙන ප්‍රතිකාර සඳහා මහියංගණය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 07:00 ට පමණ කාන්තාවක් පාලමේ කොන්ක්‍රීට් වැටඋඩ නැඟ මහවැලි ගගට පැනීමට සූදානම් බව දැක ඈ අල්ලා ගැනීමට තරුණයන් පිරිසක් ඈ වෙත දිව යද්දී එකවර ඇය ගඟට පැන ඇති බවයි.

තරුණිය ගඟට පැනීම සඳහා පැමිණි පාපැදිය හා ඇයගේ ජංගම දුරකථනය පාලම මත තිබි හමු වී තිබෙනවා.

මහියංගණ පොලිසියේ නිළධාරීන් පැමිණ ජංගම දුරකථනයේ දුරකථන අංක පරික්ෂා කර එම දුරකථන අංක අමතා ඇයගේ දෙමාපියන් හට මෙම අනතුර පිළිබද දැනුම් දී ඇති බවද සඳහන්.

දෙමාපියන් පැවසූයේ ඇය මිණිපේ 31 ඇළ ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර ඇය යම් මානසික ආබාධයකින් පෙළෙන තරුණියක් වන බවයි.

රෝහල වෙත ඇතුලත් කරනු ලැබූ තරුණියගේ එක් අතකට හානි සිදු ඇති අතර ඇයට සිදු වු වෙනත් හානි පිළිබද වෛද්‍යවරුන්ගේ පරික්ෂාවලින් අනතුරුව පැවසිය හැකි බවයි රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයෙකු පැවසුවේ.

+


දුමින්ද, ලසන්ත සහ මහින්ද නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවතට

(30.03.2024 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ අමාත්‍ය මහින්ද අමරවීර යන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මෙලෙස තනතුරුවලින් ඉවත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (30) පැවති ශ්‍රීලනිප රැස්වීමේ දී විධායක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ෴

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීමට ගත් තීරණයට එරෙහිව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

+

+


ඩොලරය අඩු වීමේ වාසිය ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලැබී නැහැ පාරිභෝගිකයන්ගෙන් චෝදනා

(30.03.2024 – 14:13 +0530 – hirunews.lk/sinhala)

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු ඉවත් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 25 කින් පමණ අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මේ වනවිට රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉදිකිරීම් උපාංගවල මිල ගණන් තවමත් පහළ දමා නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කළා.

බොහෝ ඉදිකිරීම් උපාංගවල මිල ගණන් ඩොලරයේ අගයට සාපේක්ෂව පසුගිය කාලය තුළ විටින් විට ඉහළ ගියා.

එහෙත් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති පසුකබිමක එහි වාසිය නොලැබෙන බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ තවදුරටත් ඉදිකිරීම් සඳහා භාවිතා කරන ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ අගයක පවතින බවයි.

මේ අතර උත්සව සමයේ ඇතැම් කූඨ වෙළෙඳුන් පාරිභෝගිකයින් ගසා කෑමට උත්සාහ දරන බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබා දී ඇති බදු සහනවල වාසිය පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ රජයෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු ඉවත් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 25 කින් පමණ අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

+

+


ජනපතිවරණයට රුපියල් කෝටි දහසක් (1000)

(30.03.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණයට අදාළව රුපියල් කෝටි 1000 ක මුදලක් දැනටමත් වෙන් කර ඇති බවයි.

ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිර වශයෙන්ම පැවැත්විය යුතු වනවා.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද දැනුවත් කර ඇති බවයි.

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට කොමිසම මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.

ජනාධිපතිවරණය මුලින් පවත්වන බව ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඊට අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා ෴


‘ලොකේෂන් කුඩු මල්ලී’ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

(30.03.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

බඩල්ගම පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මරඳගහමුල ‘ලොකේෂන් කුඩු මල්ලී’ නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් එම මත්දුව්‍ය සඟවා තිබී ඇත්තේ රියැදුරන්ගේ පහසුව සඳහා මහා මාර්ගයේ පසෙක සවිකර තිබූ කන්ණාඩියක් තුළයි.

සැකකරු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, ඇතුළු ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති අතර, ඔහු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට සඳහා බඩල්ගම පොලිසියට අවසර දී තිබෙනවා ෴


සහල් ආනයන බද්ද අඩු කිරීමෙන් ගොවීන්ට පීඩා

(30.03.2024 – 14:54 +0530 – hirunews.lk/sinhala)

සහල් ආනයනයේදී රුපියල් 65 ක් පැවැති බද්ද රුපියලක් දක්වා අඩු කිරීම හේතුවෙන් දේශීය සහල් මිල පහළ යාම හේතුවෙන් ගොවීන් දැඩි අර්බුදයකට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

මේ අතර, නිසි කළට පොහොර සහනාධාර නොලැබීම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බව අම්පාර උහන ප්‍රදේශයේ ගොවීන් සඳහන් කරනවා.

අම්පාර උහන ගොවීන් මෙවර යළ කන්නයේ වගා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ගොවීන් පවසන්නේ රජය මගින් අක්කරයක් සඳහා ලබාදෙන රුපියල් 6,000 පොහොර සහනාධාරය ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙළක් මෙතෙක් සකස් නොකිරීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි ෴


මෛත්‍රීට පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන කියූ ඔත්තුකරු සොයයි

(30.03.2024 – 16:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්තරා ස්ථානයක සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්ෂාවට ලක් කළ බවට තොරතුරු වාර්තා වෙනවා.

කොළඹ පිහිටි තානාපති කාර්යාල සාදයකදී හමුවූ නාඳුනන පුද්ගලයෙකු විසින් තමන්ට පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න හිටපු ජනපතිවරයාට හෙළිකල බවට ඔහු විසින් සිදුකළ ප්‍රකාශය තහවුරු කරගැනීම සඳහා මෙලෙස කැමරා පරීක්ෂා කළ බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වූ හිටපු ජනපතිවරයාට ලබන අප්‍රේල් 04 වන දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා ෴


වතු පාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2535 ක්

(30.03.2024 – 17:46 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල්වලට ගුරු සහයකයින් 2535 ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරිමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවති කොළඹ පැවති උත්සවයකදී

තවද ලබන මාසය වන විට එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


ආසියානු සංවර්ධන බැංකුවේ සහයෙන් මෙරට නිෂ්පාදන ඉතාලිය, ජර්මනිය සහ කැනඩාවට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක්

(30.03.2024 – 18:19 +0530 – hirunews.lk/sinhala)

මැටි, පිත්තල සහ වේවැල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඉතාලිය, කැනඩාව සහ ජර්මනිය යන රටවල්වලට අපනයනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ තම අමාත්‍යාංශය මැදිහත්ව එම කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

එම කර්මාන්තකරුවන්ට ආසියානු සංවර්ධන අරමුදල සමග එක්ව සහනදායී පොලී අනුපාත යටතේ ණය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *