කල් ඉකුත් වූ කුළුබඩු පැකට් කර රට පටවන ජාවාරමක් ‘හිරු CIA’ හෙළිදරව්වෙන් කොටුවෙයි

කල් ඉකුත් වූ කුළුබඩු පැකට් කර රට පටවන ජාවාරමක් ‘හිරු CIA’ හෙළිදරව්වෙන් කොටුවෙයි


කල් ඉකුත් වූ කුළුබඩු පැකට් කර රට පටවන ජාවාරමක් ‘හිරු CIA’ හෙළිදරව්වෙන් කොටුවෙයි

(29.03.2024 – 21:04 +0530 – hirunews.lk/sinhala)

කුරුඳු, ගම්මිරිස් ආදී කුළු බඩු අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අතීතයේ පටන් ජාත්‍යන්තරයේ ඉහළ කීර්තිනාමයක් අත්පත් කර ගෙන ඇති අතර විදෙස් රටවලින් ශ්‍රී ලංකා කුළු බඩුවලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

නමුත් එම කීර්ති නාමයට කළු පැල්ලමක් එක්කරන ජාවාරමක් පිළිබඳව අනාවරණය වුයේ කැකිරාව ප්‍රදේශයේදී ‘කල් ඉකුත් වු පාන් පිටිවලට කෘමි නාශක යොදා නැවත සකස් කරන ජාවාරමක්’ ‘හිරු සී.අයි.ඒ.’ හරහා ලබාදුන් තොරතුරු මත වැටලූ අවස්ථාවේයි.

කල් ඉකුත් වී ගුල්ලන් ගසන ලද පාන් පිටිවලට කෘමි නාශක යොදා නැවත සකස් කොට වෙළෙඳපලට එවීමේ මහා පරිමාන ජාවාරමක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (28) අප හෙළි කළා.

මෙම ජාවාරම ක්‍රියාත්මක වූයේ කැකිරාව – ගනේවල්පොල, ඇඹුල්ගම ප්‍රදේශයේ යි.

‘හිරු CIA’ ලබාදුන් තොරතුරු මත එම ගබඩාව වැටලු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ‘නරක් වු පරිප්පු නැවත සකස් කොට වෙළෙඳපලට එවීමේ ජාවාරමක’ තොරතුරු ද අනාවරණය කර ගත්තා.

මේ අදාළ ගබඩා සංකීර්ණයේ විශාල බිම්කඩක ‘කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර ගම්මිරිස් වේලනු ලබන අයුරු’ ද එහි ගිය අප කණ්ඩායමට දැකගැනීමට හැකි වූ අතර, මෙහි සේවකයන් ප්‍රකාශ කලේ මෙම ගම්මිරිස් අපනයනය කිරීමට ද කටයුතු කරන බවයි.

අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල් ඉකුත් වු පාන් පිටි මෙන්ම ගම්මිරිස් තොග සියල්ල සෞඛ්‍ය නිලධාරීන්ගේ භාරයට ගැනීමටයි කටයුතු කෙරුණේ.

නිලධාරීන් ප්‍රකාශ කලේ ඒවායේ දළ වටිනාකම රුපියල් කෝටි 15 කට අධික බවයි.

මේ මහා පරිමාන ජාවාරම් සම්බන්ධයෙන් සිදුවන ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳවත් ‘හිරු සී.අයි.ඒ.’ හරහා රට හමුවේ අනාවරණය කිරීමට අප සුදානමින්.

+

+


යල කන්නෙට ලැබෙන ජලය – කෘෂි ආර්ථිකයේ අර්බුදයක් ගැන රතු එළියක් (29.03.2024)

+


ප්‍රමිතියක් නැති ලංකාවේ ‘බීච්’

(29.03.2024 – 19:48 +0530 – sinhala.adaderana.lk)

අපේ රට රමණීය හා ආකර්ෂණීය වෙරළ තීරයකින් සමන්විත වුණත්, ඒ කිසිදු වෙරළක් ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා නොමැති බව අනාවරණ වේ.

කෙසේවෙතත් අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් 51 ක් මේ වනවිටත් වෙරළ ප්‍රමිතියට අදාළ ජාත්‍යන්තර ‘බ්ලූ ෆ්ලෑග් සහතිකය’ ලබාගෙන අවසන්ය.

සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන වෙරළ තීර ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාම ‘පාරිසරික අධ්‍යාපනය සඳහා පදනමට’ අනුව රීතියකි.

රටවල් 77 ක් සාමාජිකත්වය දරන එම පදනම ලොවපුරා වෙරළ තීරයන්හි ප්‍රමිතිය සම්බන්ධයෙන් ‘බ්ලූ ෆ්ලෑග් සහතිකකරණය’ සඳහා අධීක්ෂණය කරයි.

ඒ යටතේ ලොව රටවල් 51 ක වෙරළ තීර සහ මරීනා 5,038 ක් මේ වනවිට ‘බ්ලූ ෆ්ලෑග්’ සහතිකය ලබාගෙන අවසන්ය.

ඒ අතුරින් අසල්වැසි ඉන්දියාව සතු ‘බ්ලූ ෆ්ලෑග්’ සහතික ලත් වෙරළ තීර ගණන 17 කි.

කෙසේවෙතත් ඉන්දියන් සාගරයෙන් වටවූ ශ්‍රී ලංකාවේ කිසිදු වෙරළ තීරයක් මෙතෙක් ‘බ්ලූ ෆ්ලෑග්’ සහතිකය ලබාගැනීමට තරම් ප්‍රමිතියකට ළඟාවී නැහැ.

‘බ්ලූ ෆ්ලෑග්’ ප්‍රමිතිය සැපිරීමට නිර්ණායක 33 ක් සපුරාලිය යුතු වේ.

ඒ අනුව ‘බ්ලූ ෆ්ලෑග්’ වැඩසටහන පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කළ යුතු අතර වෙරළේ පිරිසිදුකම පවත්වාගෙන යාම අනිවාර්ය අංගයකි.

ස්නානය කරන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීම, විවිධ පහසුකම් දැක්වෙන වෙරළ තීරයේ සිතියමක් සහ චර්යාධර්ම පද්ධතියක් වෙරළ හා අවට ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරීම ද කළ යුතුය.

එමෙන්ම දේශීය පරිසර පද්ධති, පාරිසරික අංග සහ සංස්කෘතික ස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රදර්ශනය කිරීමත් ‘බ්ලූ ෆ්ලෑග්’ ප්‍රමිතීන්ට අනුකූලය.

වෙරළ භාවිත කරන්නන්ගේ ආරක්ෂාව ඇතුළු විවිධ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා වෙරළ කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම ද එහි ප්‍රධාන නිර්ණායකයකි.

සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන මෙරට වෙරළ තීරයන් කිහිපයකම මේ වනවිට දක්නට ලැබෙන ජනාකීර්ණ තත්ත්වයකි.

විදෙස් සංචාරයකයින් :

“මම පැමිණියේ ප්‍රංශයේ ඉඳලා. මෙතන ඇත්තටම හොඳ තැනක්. වෙරළත් පිරිසිදුයි ඇත්තටම හොඳයි.”

“ශ්‍රී ලංකාව ලස්සන රටක්.”

“මෙහි දර්ශනය ඉතා දැකුම්කළුයි. අපට නවාතැන් ගන්න හොඳම ස්ථානයක්. ඒත් ශබ්දය වැඩියි වගේ.”

“මම ගිහින් තියෙන්නේ වෙරළ තුනකට විතරයි. මේ වෙරළ මැද මට්ටමේ හොඳම ඒක නෙමෙයි. මිනිසුන් මෙහි මුහුදේ නාන විදිය ආරක්ෂිත නැහැ. වෙරළේ තත්ත්වය ගැන 1 ඉඳන් 10 දෙනවා නම් මට දෙන්න පුළුවන් ලකුණු 5 ක් විතරයි.”

කෙසේ වෙතත්, ‘බ්ලූ ෆ්ලෑග්’ ප්‍රමිතීන්ට අනුගත කිරීම සඳහා මෙරට වෙරළ තීර 5 ක් හඳුනාගෙන ඇතැයි පරිසර ස්වභාවික සම්පත් තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව සඳහන් කළේය.

ඒ, බෙන්තොට, මිරිස්ස, කොග්ගල, උණවටුන හා පාසිකුඩා යන වෙරළ තීරයන්ය.

+


අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

(30.03.2024 – 07:08 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩදී තරුණයන් දෙදෙනකු (2) වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට (2) බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ඉපලෝගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2023 වර්ශයේ අගෝස්තු මස 21 වැනිදා සිදු වූ මෙම අපරාධයේ යතුරුපැදිය පදවාගෙන ගොස් ඇත්තේ මෙම අපරාධකරු විසින් බවයි සඳහන් වන්නේ.

අදාළ අපරාධය සිදු කිරීමෙන් පසුව මෙම පුද්ගලයා ඉපලෝගම පිහිටි සිය බිරිඳගේ නිවසට ගොස් සැඟවී සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් හතළිස් දහසක (40,000) මුදල් කොන්ත්‍රාත්තුවකට මෙම අපරාධය සිදු කර ඇති බවයි.

‘කරන්දෙණියේ සුද්දා’ නමැති පාතාල නායකයාගේ කොන්ත්‍රාත්තුවකට අනුව මෙම අපරාධය සිදු කර ඇති අතර ‘කරන්දෙණියේ සුද්දා’ සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ ෴


ප්‍රතිජීවක විෂ වී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

(30.03.2024 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කනෙහි ඇති වූ ආබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් තිබුණේ දෙණියාය – මාවරල ප්‍රදේශයේ 50 හැවිරිදි අයෙකු වන අතර, ඔහු කනේ කැක්කුමක් සඳහා ප්‍රතිකාර ගැනීමට රාගම ශික්ෂණ රෝහලේ 21 වාට්ටුවට ඇතුළත් කර තිබුණේ පසුගිය 22 වනදායි.

එහිදී රෝගියාට ‘කො-ඇමොක්සික්ලෙව්’ නැමති එන්නත අවස්ථා 10 ක දී ලබාදී අතර, 11 වන අවස්ථාවේදී ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.

රාගම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මරණයට හේතුව ඔහුට ලබාදුන් ප්‍රතිජීවක එන්නත බවට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි.

+++++++++

+

+


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන්ගේ හඬපට සී.අයි.ඩී.යට

(30.03.2024 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල පොලිස් බල ප්‍රදේශ කිහිපයක්ම ආවරණය වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් කොට්ඨාසය විසින් සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් ‘අනෝමා ශාන්ති’ හෙවත් ‘කුඩු නෝනි’ ඇතුලු හයදෙනා (6) ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගාල්ල සිට බෙන්තර පාලම දක්වා වු මුහුදු තීරයේ කරන ලද විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 1100 කට අධික වටිනාමකින් යුත් බහුදින ධීවර යාත්‍රා, නිවාස, රථවාහන ඇතුළු දේපළ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණා.

මුදල් විශුද්ධි කරන පනත යටතේ කරන ලද එම මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපායගත් බවට සැකකරන බහුදින ධීවර යාත්‍රා දෙකක් (2) පොලිස් භාරයට ගෙන තිබූ අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (29) එම ධීවර යාත්‍රා නිරීක්ෂණය කළා.

එහිදී ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ ‘දුව මේකලා’ බහුදින ධීවර යාත්‍රාව සහ අලු‍ත්වැඩියා කිරීමේ අංගනයක ගාල්කර තිබු ‘පොඩි පුතා 01’ බහුදින ධීවර යාත්‍රාව පොලිසිය භාරයට ගෙන තිබුණා.

පොලිසිය පැවසුවේ ‘කුඩු මධූෂා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවකට අයත් එම ධීවර යාත්‍රා ඇගේ ඥාති දියණියක් වන ‘නදීකා ද සිල්වා’ නමැති කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

එහිදී වැටලීම සිදුකළ නිලධාරීන් අදාළ ධීවර යාත්‍රා සහ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැහැදිළි කර දුන්නා.

එම නිරීක්ෂණ කටයුත්ත අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා සිටියේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන පොලිස් නිලධාරීන්ගේ හඬපට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවයි ෴


ගුද මාර්ගයට හුළං බටයක් ඇල්ලීමෙන් තරුණයෙක් මරුට

(30.03.2024 – 08:21 +0530 – hirunews.lk/sinhala)

සේවකයකුගේ ගුද මාර්ගයට හුළං බටයක් ඇල්ලීමෙන් සිදු කළ විහිළුවක් හේතුවෙන් එම පුද්ගලයාගේ බඩවැල් පිපිරී මිය ගොස් තිබෙනවා.

මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකු මෙසේ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එම ආයතනයේ සේවය කළ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහතර (24) හැවිරිදි තරුණයෙක්.

අප වාර්තාකරු පැවසුවේ අදාළ සිදුවීමට සම්බන්ධ සේවකයන් දෙදෙනකු (2) සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ඇති බවයි.

පසුගිය 25 වැනිදා දහවල් එම ආයතනයේ සේවකයන් දෙදෙනකු (2) විසින් විහිලුවට අදාළ පුද්ගලයාගේ ගුද මාර්ගයට හුළං බටයක් අල්ලා තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ දී මෙම තරුණයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් දෙදෙනා (2) තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි දභඅට (18) වන වියේ පසුවන්නන් වන අතර ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *