නීති විරෝධීව ඉපැයු රුපියල් කෝටි ගණනක දේපළ පොලිස් භාරයට

නීති විරෝධීව ඉපැයු රුපියල් කෝටි ගණනක දේපළ පොලිස් භාරයට


නීති විරෝධීව ඉපැයු රුපියල් කෝටි ගණනක දේපළ පොලිස් භාරයට

(29.03.2024 – 14:09 +0530 – hirunews.lk/sinhala)

‘මුදල් විශුද්ධිකරණ පනත’ යටතේ පැවැත්වෙන අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව පවතින කෝටි ගණනක දේපළ අද (29) පොලිස් භාරයට ගැණුනා.

ගාල්ල ධීවර වරායේදී එම කටයුතු නිරීක්ෂණය සඳහා එක් වූ පොලිස්පති දේශබන්දු තෙන්කෝන් ප්‍රකාශ කළේ මුහුදු මාර්ගයෙන් පැමිණෙන මත්ද්‍රව්‍ය නැවැත්වීම සඳහා වහාම නියාමනයක් සිදු කිරීම අවශ්‍ය බවයි.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය’ මගින් සිදු කරනු ලැබූ විමර්ශනවලදී ‘මුදල් විශුද්ධිකරණ පනත’ යටතේ පැවැත්වෙන අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව පවතින නීති විරෝධී ලෙස ඉපැයූ කෝටි ගණනක දේපල පොලිස් භාරයට ගැණුනා.

එසේ පොලිසිය භාරයට ගත් නීති විරෝධී දේපළ ලැයිස්තුව පහතින් :

  • ISUZU FREEZER වර්ගයේ ලොරි රථය (රු. ලක්ෂ 65)
  • HONDA DIO වර්ගයේ යතුරු පැදිය (රු. ලක්ෂ 05)
  • ZA-9695 දරණ බැකෝ යන්ත්‍රය (රු. ලක්ෂ 100)
  • IMUL-A-0701KLT දරණ බහුදින ධීවර යාත්‍රාව(රු. ලක්ෂ 110)
  • SP BEX – 6600 දරන හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදිය(රු. ලක්ෂ 04)
  • SP PE – 9412 දරන ටොයෝටා KDH වර්ගයේ වැන් රථය(රු.ලක්ෂ 140)
  • SP AAP – 7704 දරන බජාජ් ත්‍රී රෝද රථය (රු. ලක්ෂ 10)
  • SP YU – 7538 දරන බජාජ් වර්ගයේ ත්‍රී රෝද රථය(රු. ලක්ෂ 07)
  • ඉඩම් හා නිවාස (නිවාස-03 , කඩ කාමර-01, ඉඩම්-05 (රු. ලක්ෂ 530)
  • අංක IMUL-A-0983-GLE දරන අශ්ව බල 185 ක් වන හයිහුන්ඩායි එන්ජිම සහිත දිග අඩි 40’4″ යි වන බහුදින ධිවර යාත්‍රාව(රු. ලක්ෂ 150)
  • අංක IMUL-A-0810-GLE දරන සීනිගම, මීටියාගොඩ හර්ෂ මැරීන් ආයතනයේ නිශ්පාදනය කරමින් පවතින බහුදින ධීවර යාත්‍රාව (නිෂ්පාදනය සඳහා මුදල් ගෙවා ඇති ප්‍රමාණය රු. ලක්ෂ 52)
  • ඉඩම්-02 (රු. ලක්ෂ 210)

+

+++++++++

+


මහබාගේ වැරදුණු වෙඩිල්ල ගැන පුළුල් විමර්ශන

(29.03.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මහබාගේ මත්තුමගල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ඊයේ (28) සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

මේ අතර, පසුගියදා පෙබරවාරි 26 වැනිදා ඝාතනය කෙරුණු ‘මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ’ භාණ්ඩාගාරික රොෂාන් විතානාච්චිගේ ඝාතනය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මහබාගේ මත්තුමගල ප්‍රදේශයේ නිවසකට ඊයේ (28) උදෑසන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) එහි සිටි ‘මහබාගේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට’ වෙඩි තැබීමට ලත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.

ඒ අපරාධයට පැමිණි පිරිස රැගෙන ආ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

එහිදී ක්ෂේත්‍ර නිලධාරියා සහ වෙඩික්කරුවන් අතර ගැටුමක් ඇති වී අතර, වෙඩික්කරුවන් රැගෙන ආ T-56 වර්ගයේ ගිනිඅවියේ කොටස් කිහිපයක් ගැලවී ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

මේ අතර, පසුගිය පෙබරවාරි 26 වැනිදා වෙඩි තබා ඝාතනය කළ මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් විතානාච්චි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, තම රැකියාවේ සුරක්ෂිත භාවය තහවුරු කරන ලෙසත් ඉල්ලා ‘මහජන පරීක්ෂකවරු’ ඊයේ (28) ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

+


‘ලුණුගම්වෙහෙරේ ඉබ්බා’ ඝාතනය කරයි

(29.03.2024 – 14:56 +0530 – hirunews.lk/sinhala)

ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (28) අළුයම 01:30 ට පමණ කපා කොටා ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසනවා.

ඒ අනුව මෙලෙස ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි ‘කැළුම් තුෂාර’ හෙවත් ‘ඉබ්බා’ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයෙක්.

පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු හා කලක පටන් ආරවුලක් තිබූ බවත්, ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් සැකකරන බවයි.

මියගිය පුද්ගලයාගේ එක් අතක් ශරීරයෙන් වෙන්කර ඇති අතර, සිරුරේ ස්ථාන කිහිපයකම දරුණු කැපුම් තුවාල සිදුකර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


ශ්‍රී පාදයේ ගිය විදේශිකයා මිටර් 100 ක ප්‍රපාතයකට ඇද වැටෙයි

(29.03.2024 – 16:23 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදි ආරක්ෂිත වැටෙන් මිටර් 100 ක් පමණ ප්‍රපාතයට ඇද වැටි සිටි ‘ඉන්දිය ජාතික තරුණයෙකු’ ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කිරිමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාට්‍රහි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති අවු 25 හැවිරිදි තරුණයෙකි.

තුවලකරු තවත් පිරිසක් සමඟ රත්නපුර ශ්‍රි පාද මාර්ගය ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන් කර ඇති අතර , අද (29) අලුයම භාරත් චන්ද්‍රදාස් එම මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ දී ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100 ක පමණ ප්‍රපාතයට ඇද වැටි තිබෙනවා.

සිදුවිම සම්බන්ධයෙන් ශ්‍රි පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටි සිටි තරුණයා ඉන් මුදවාගෙන ශ්‍රි පාද උඩ මළුව වෙත රැගෙන ගොස් ‘ප්‍රතිකාර ඒකකයෙන්’ ප්‍රතිකාර ලබා දි ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර, තුවාලකරු සමඟ ඉන්දියාවේ සිට ශ්‍රි පාදයේ පැමිණි පිරිස සමඟ තුවාලකරු රෝහල් ගත කිරිම සඳහා නල්ලතන්නිය දක්වා රැගෙන යාමට කටයුතු කර තිබෙනවා ෴


ශ්‍රී පාද වන්දනාවේ එන පිරිස් විශේෂ පරික්ෂාවකට

(29.03.2024 – 17:47 +0530 – hirunews.lk/sinhala)

සති අන්ත නිවාඩුවට දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් විශේෂ පරික්ෂාවකට ලක්කිරීමට හැටන් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන අද (29) සිට ක්‍රියාත්මකයි.

මත්ද්‍රව්‍ය රැගෙන ඔවුන් වන්දනාවේ පැමිණෙනවාද යන්න පිළිබඳව මෙහිදී විශේෂයෙන් පරීක්ෂාවට ලක් කෙරෙනවා.

මේ අතර ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට හැටන් ඩිපෝව මගින් අතිරේක බස් රථ ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ ෴


ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

(29.03.2024 – 18:11 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බවයි.

ඒ අනුව මේ මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000 ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ සැලසුම් සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000 ක මාසික දිරි දීමනාවක් ලබාදීමට නියමිතයි ෴


අනුරාධපුර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි දෙදෙනෙකු (2) පලායයි

(29.03.2024 – 18:28 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු (2) පලාගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී.බී. දිසානායක සඳහන් කළේ බන්ධනාගාරයට අයත් ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාර ආපන ශාලාවේ සේවයේ යොදවා සිටියදී ඔවුන් මෙලෙස පලාගොස් ඇති බවයි.

මෙලෙස පලා ගිය එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


කොටුව මහේස්ත්‍රාත්ගේ නිල කාමරය සහ වාහනය වීඩියෝ ගතකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

(29.03.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala)

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවේදී අධිකරණ භූමිය ජංගම දුරකතනයක් භාවිතා කරමින් වීඩියෝ ගතකළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

අධිකරණ භූමියේදී කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරය සහ වාහනය රඳවා තිබෙන ප්‍රදේශය ආසන්නයේ මෙම වීඩියෝ ගත කිරීම සිදු කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියෙකු ඒ බව නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු සහ ඔහු සමග රැඳී සිටි තවත් දෙදෙනෙකු (2) පොලිස් භාරයට ගැනුනු අතර, ජංගම දුරකථනය යොදාගෙන වීඩියෝ ගත කිරීම සිදුකළ පුද්ගලයා පසුව කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දී තිබුණා.

ඒ අනුවයි ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

‘කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන සැලැසුමක්’ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වන අවස්ථාවකයි මෙම පුද්ගලයා මෙලෙස අධිකරණ භූමිය වීඩියෝ ගත කර ඇත්තේ.

ඔහුගේ ජංගම දුරකතනයට අදාළ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබෙනවා ෴


කෘමි උවදුරු මර්දනයට විදුලි බුබුලක්

(29.03.2024 – 21:53 +0530 – hirunews.lk/sinhala)

වගා බිම් වලට සිදුවන කෘමි හානි මෙරට ගොවි ජනතාව කලක් තිස්සේ මුහුණ දෙන විසඳුමක් නැති ගැටලුවක්.

කෙසේ වෙතත් කෘමි නාශකවලින් තොරව එම කෘමි හානි වළක්වා ගැනීම සඳහා නව තාක්ෂණය ඔස්සේ විසඳුමක් සොයා ගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ එලෙස කෘමි සතුන් මර්දනය සිදු කෙරෙන්නේ බල්බයක් ආධාරයෙන් වීමයි.

වසර ගණනාවක් තිස්සේ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම ‘සළඹ විකර්ෂක LED බල්බය’ හඳුන්වා දී ඇත්තේ ‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බියගම කලාපයේ පිහිටි පෞද්ගලික සමාගමක්’ විසින්.

ඒ ජපාන මව් සමාගම හා එක්වයි.

මෙම බල්බය මගින් නිකුත් කරන ‘කහ පැහැති ආලෝකය හා තරංග’ හේතුවෙන් වගාව තුළට සළඹයන් පැමිණීම වැළකෙනවා.

ඒ අනුව මූලික අදියරේදීම කෘමි සතුන් ගහණය පාලනයට එමගින් හැකියාව ලැබෙනවා.

මෙම බල්බ මගින් නිකුත් කරන ආලෝකය සතුන්ට හෝ මිනිස් සිරුරට කිසි ලෙසකින් අහිතකරවන්නේ නැහැ.

වොට් (?) 1.5 ක විදුලියකින් ක්‍රියාත්මක කළ හැකි මෙම සළඹ විකර්ෂක LED බල්බ 36 ක් අක්කරයක (1) වගාවක් සඳහා අවශ්‍යයි.

ඉදිරියේදී දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත මෙම LED බල්බ සහිත එක් ඒකකයක් ගොවිබිමක් තුල ස්ථාපිත කිරීමට වැය වන මුදල රුපියල් 80,000 ක් පමණ වනවා.

+


මුහුදුබඩ මාර්ගයේ හෙට (30) දුම්රිය ගමන්වාර 25 ක් අවලංගුයි

(29.03.2024 – 22:25 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) දින දුම්රිය ගමන් වාර 25 ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම නඩත්තු කටයුතු අද (29) දින ආරම්භ කල අතර අද දින ද එම දුම්රිය ගමන්වාර 25 ම අවලංගු කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (30) දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ද යම් තරමකට ප්‍රමාද විය හැකි බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *