ඉහල පොලිස් නිලධාරීන් ඇසුරුකල සුරූපිනිය අත්අඩංගුවට

ඉහල පොලිස් නිලධාරීන් ඇසුරුකල සුරූපිනිය අත්අඩංගුවට


ඉහල පොලිස් නිලධාරීන් ඇසුරුකල සුරූපිනිය අත්අඩංගුවට

(29.03.2024 – ada.lk)

රුපියල් කෝටි ගණනින් කප්පම් ඉල්ලන බවට තම ජංගම දුරකථනයට ‘ව්‍යාජ පණිවිඩයක්’ ගෙන්වා ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කොට ඉහළ නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ විද්‍යුත් තැපැල්ලට ලද ඒ ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාශය යොදවා සිදුකළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු සිදුකළ පොලිස් විමර්ශන වලින් අනතුරුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව ජංගම දුරකථන දෙකක් (2) භාවිතා කොට එක් දුරකථනයක කප්පම් ඉල්ලා මරණ තර්ජනය කොට ලිපියක් සකසා එය ඇයගේම අනෙක් ජංගම දුරකථනයට යවා ඇති බවයි .

එම කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ ලිපිනයක පදිංචි බවට පැමිණිල්ලේ සඳහන් කොට තිබුනත් එවැනි ලිපිනයක් නොමැති බවට බුද්ධි නිලධාරීන් තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාරදීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථනයේ ලිපිනයට අනුව කැකිරාව තලාව ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ .

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 21 වැනි දින නිල නිවාසය තුළදී තම රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යාමට පෙර අවසන් වරට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ ද ඇයගේ දුරකථනයෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඇය එම මරණ පරීක්ෂණයේදී ව්‍යාජ නමකින් සාක්ෂි ලබා දී ඇති බවටද අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ ෴


විදුලිසැර වැදී සිසුන් දෙදෙනෙක් (2) රෝහලේ

(29.03.2024 – 06:58 +0530 – hirunews.lk/sinhala)

දෙනියාය ප්‍රදේශයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස කුටි සකස් කිරිම සඳහා උණ ගස් කැපීමට ගිය එම විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට (2) විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඊයේ(28) දිනයේ පැවැත්විමට නියමිතව තිබු අතර මෙම සිසුන් දෙදෙනා (2) ක්‍රීඩා උත්සවයේ නිවාස කුටි සකස් කිරිමට අවශ්‍ය උණ ගස් කැපිම සඳහා පාසල් භුමියේ පිහිටි උණ පදුරක් අසලට ඊයේ (28) මාධ්‍යම රාත්‍රියේ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ උණ ගසක් කපන අවස්ථාවේදි එම උණ පදුර අසල ස්ථාපිත කොට තිබු විදුලි ට්‍රාන්ස්ෆෝමර්යකට සම්බන්ධ කොට ඇති අධිබලැති විදුලි රැහැන්වල මෙම උණ දැවටීමෙන් උණ ගස කපමින් සිටි සිසුන් දෙදෙනාට (2) විදුලි සැර වැදි ඇති බවයි.

විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනා (2) කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති අතර ඉන් එක් (1) සිසුවෙකු මාතර මහ රෝහල වෙත මාරු කර යැවිමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බවද සඳහන්.

මෙලෙස විදුලි සැර වැදි ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු (2) වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴


Onmax DT සමාගමේ වංචාවන්ට හසුවූ පුද්ගලයින් කිහිපදෙනෙක්ම සියදිවි හානිකරගෙන

(29.03.2024 – 07:31 +0530 – hirunews.lk/sinhala)

Onmax DT සමාගමේ වංචාවට අසුවූ කිහිප දෙනකු මේ වනවිට සියදිවි හානි කරගෙන ඇති බව එම තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන පවසනවා.

මුදල් අහිමි වීම හේතුවෙන් ඇති වූ කම්පනය නිසා මෙසේ පුද්ගලයින් සිය දිවි හානි කර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඔහු පවසන්නේ බොහෝ පුද්ගලයින් මේ සඳහා මුදල් ආයෝජනය කර ඇත්තේ තම රන් ආභරණ හා ඉඩකඩම් පවා උකස් කර ලබා ගත් මුදල්වලින් බවයි.

එම ආයතනය ලක්‍ෂ හතරකට (4,00,000) අධික පිරිසකගෙන් රුපියල් කෝටි 3500 කට අධික මුදල් තැන්පත් ලබාගෙන තිබෙනවා.

Onmax DT සමාගම විසින් වංචා කර ඇති මුදල් අතරින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන ඇත්තේ ඉතා සුළු කොටසක් පමණක් වන අතර තවත් විශාල දේපළ ප්‍රමාණයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වී ඇති බවයි එහිදී අදහස් දක්වමින් තැන්පත්කරුවන්ගේ නියෝජිතයන් සඳහන් කළේ ෴


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

(29.03.2024 – 09:05 +0530 – hirunews.lk/sinhala)

අද, හෙට සහ අනිද්දා (29, 30, 31) මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු සදහන් කළා.

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් ඊට හේතුව බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ.

මේ නිසා කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා ෴


පාසල් ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක්

(29.03.2024 – 09:37 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තුළින් ඉදිරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ගීකරණය කරනු ඇති.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමින් ෴


‘විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද’ අහෝසියි

(29.03.2024 – 10:05 +0530 – hirunews.lk/sinhala)

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු ‘විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද’ ලබන (2025) ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ වෙනුවට ‘තීරු බද්ද’ හා බැඳුණු නව ‘සෘතු බද්දක්’ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස ‘විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද’ ඉතා වැදගත් වු බවයි.

නමුත් එම බද්ද පනවන වකවානුව තුළ රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද අඩුකළ අවස්ථාවලදී රටතුළ ඇති භාණ්ඩවල මිල ගණන් අඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයා පැත්තට යාම වැනි කරුණු මෙම බදු ක්‍රමය අහෝසි කිරීමට හේතු වූ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

කෙසේ වෙතත් ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි නිශ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුව නිශ්චිතව හදුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුණු නව බදු ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා ෴


‘කාබනික රබර්’ භාවිතයෙන් සෙල්ලම් බඩු හදන ලංකාවේ ආයනතය

(29.03.2024 – 11:33 +0530 – hirunews.lk/sinhala)

‘කාබනික රබර්’ භාවිතයෙන් සෙල්ලම් බඩු නිර්මාණය කර ලොව පුරා අපනයනය කරන ලංකාවේ ආයනතයක් ගැන අපට තොරතුරු වාර්තා වුණා.

බියගම වෙළඳ කලාපය තුළ පවතින මෙම ආයතනය අමෙරිකාව ඇතුළු රටවල් කිහිපකම ළමයි සඳහා රබර්වලින් සෙල්ලම්බඩු මෙහිදී නිර්මාණය කරනවා.

මෙම නිර්මාණවලින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 12 ක් ලැබෙන බව එම ආයතනයේ විධායක නිලධාරී පවසනවා.

ලොව පුරා සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය විදිහට 90% ක් පමණක් යොදා ගන්නේ ප්ලාස්ටික් වන අතර, එයට අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර්වලින් නිෂ්පාදනය වන සෙල්ලම් බඩුයි මේ ආයනතනයේ නිපදවන්නේ.

+


ත්‍යාග ලබාදෙන බවට පවසා හුවමාරු වන පණිවුඩ ගැන අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

(29.03.2024 – 11:57 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග ලබා දෙන බවට පවසා හුවමාරු වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනැම අවස්ථාවක තම ‘සංවේදී පෞද්ගලික දත්ත’ සයිබර් ප්‍රහාරකයන්ට ලබා ගත හැකි බවයි.

එසේම එවැනි ව්‍යාජ පණිවුඩ හරහා අනිෂ්ඨ මුද්‍රකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමක් සිදුවිය හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙනවා.

මීට අදාළව ලැබී ඇති පැමිණිලිවල ද ඉහළ යාමක් සිදුව ඇති බැවින් ‘එවැනි පණිවුඩ විවෘත කිරිමට යාමෙන් වළකින’ ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

+


එළවලු මිල පහළට

(29.03.2024 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු කාල සීමාවේ ශීඝ්‍රයෙන් ඉහළ ගිය එළවලු මිලෙහි යම් පහළ බැසීමක් දක්නට ලැබෙනවා.

මේවන විට වෙළෙදපොළෙහි වාර්තාවන අතර, එළවලු බොහොමයක් කිලෝව රුපියල් 250 ත් 300 ත් අතර මිලකට අලෙවි වන බවයි සිල්ලර එළවලු වෙළෙදුන් පවසන්නේ.

මේ අතර, ගෙවුණු මාස කිහිපය තුළ මෙරට උද්ධමනය පහළ ගොස් තිබුණත් භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු මට්ටමින් අඩු වී නොමැති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නේ නිල දරිද්‍රතා රේඛාවට අනුව ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බවයි

නිල දරිද්‍රතා රේඛාවට අනුව 2023 දෙසැම්බර් මාසයේදී එක් පුද්ගලයෙකුගේ මාසික වියදම දැක්වුණේ රුපියල් 16,524 ක් ලෙසයි.

නමුත් නවතම වාර්තා වලට අනුව එම අගය රුපියල් 490 කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව 2024 වසරේ ජනවාරි මාසයේ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම සාමාන්‍යයෙන් රුපියල් 17,014 ක් ලෙස දැක්වෙනවා.

එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැයවන මුදල දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලූ විට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට බවද එහි සඳහන්.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350 ක් ලෙස දැක්වෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 18,256 ක් ලෙසත් දැක්වෙනවා.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව අවම ඒක පුද්ගල වියදම මොණරාගල දිස්ත්‍රිකයෙන් වාර්තා වන අතර එම අගය දැක්වෙන්නේ රුපියල් 16,268 ක් ලෙසයි ෴


කෘෂි ආර්ථිකයේ අර්බුදයක් ගැන කෘෂිකර්ම සේවා සංගමයෙන් ‘රතුඑළි’

(29.03.2024 – 13:41 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවාවන් කඩා වැටීමට ලක්වුවහොත් ආර්ථිකයේ විශාල අර්බුදයක් සමඟ ආහාර අර්බුදයක් ඇති විය හැකි බව ‘ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවා සංගමය’ පවසනවා.

මේ අතර, මෙවර යල කන්නය සඳහා මාදුරු ඔය ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ (28) සිදු කෙරුණා.

මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ කුඹුරු අක්කර හැටපන්දහසකට (65,000) අධික ‍ප්‍රමාණයකට වී වගා කිරීම සඳහා මාදුරුඔය ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ (28) සිදු කෙරුණා.

මෙවර යල කන්නයේ ගොවි පවුල් 25,000 කට අධික ප්‍රමාණයකට වී වගාව සහ ගොඩ බෝග වගා කිරීම සඳහා මෙම ජලය නිකුත් කළ බව මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් විරසිංහ සඳහන් කළා.

ඇලහැර ව්‍යාපාරයේ මොරගහකන්ද කලාපයේ ගොවීන් පෙන්වා දෙන්නේ වී සඳහා පනවා තිබෙන රුපියල් 105 ට ක පාලන මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන හෙයින් රුපියල් 125 ක පාලන මිලක් ලබා දිය යුතු බවයි.

මේ අතර ‘ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවා සංගමය’ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවාවන් කඩා වැටීමට ලක්වුවහොත් ආර්ථිකයේ විශාල අර්බුදයක් සමඟ ආහාර අර්බුදයක් ඇති විය හැකි බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *