ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද (15) උදෑසන 6 සිට

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද (15) උදෑසන 6 සිට


ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද (15) උදෑසන 6 සිට

(15.03.2026 – 01:48 +0530 – sinhala.adaderana.lk)

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ අද (15) උදෑසන 06:00 සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය භාවිත කළ යුතුව ඇති බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට
https://fuelpass.gov.lk/
වෙබ් අඩවියෙන් මෙම QR කේතය භාගත කළ හැකිය.

QR කේතය ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින් :

  1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට
https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්, (15) දින උදෑසන 06:00 සිට
https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

  1. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන :

i. 2026.03.15 දින උදෑසන 06:00 සිට
https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

මෙලෙස ලියාපදිංචි වීමෙන් පසුව සතියකට ඉන්ධන ලබා ගත හැකි අතර එම ලීටර ප්‍රමාණය පහතින් :

බස් රථ – ලීටර් 60
මෝටර් සයිකල් – ලීටර් 05
වෑන් රථ – ලීටර් 40

මෝටර් රථ – ලීටර් 15
මෝටර් ලොරි – ලීටර් 200
ඉඩම් වාහන – ලීටර් 25

මෝටර් ත්‍රීරෝද රථ – ලීටර් 15
විශේෂ කාර්ය වාහන – ලීටර් 40
ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5

එමෙන්ම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධව බලශක්ති අමාතශාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් :

මාධ්_ය නිවේදනය 14.03.2026 – Ministry of Energy by poornima

+++

QR කේතය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාකරණයට

(15.03.2026 – 09:51 +0530 – sinhala.adaderana.lk)

QR කේත භාවිතාකර ඉන්ධන ලබා ගැනීමට හඳුන්වා දී ඇති QR කේතය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාවරණය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බවය.

වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතින බවද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් සවස් වරුවේ තීරණ ගෙන අද දිනය (15) තුළම ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇති බවත් ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ ෴

+


+


දිට්වා ආධාර තොගයක් අරණායක නිලධාරිනියන් දෙදෙනෙකුගේ (2) නිවෙස්වල

(14.03.2026 – 21:23 +0530 – sinhala.adaderana.lk)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා රජය මගින් හා වෙනත් ආයතන මගින් ලබා දී තිබූ සහනාධාර තොගයක් සිය නිවාසවල තබාගෙන සිටි සංවර්ධන නිලධාරිනියන් දෙදෙනෙකු (2) අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඉන් එක් නිලධාරිනියක් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා භාරකාරිණියක් ලෙසද කටයුතු කර ඇති බවය.

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිත් නිශාන්ත මහතාට ලද තොරතුරක් මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ විමර්ශන නිලධාරීන් අරණායක පොලීසිය සමග එක්ව සිදුකළ විමර්ශනයේදී මෙම ආධාර තොගය නිවෙස්වල සඟවා තිබියදී සොයාගෙන තිබේ.

ඒ අනුව අදාළ නිලධාරිනියන් දෙදෙනා (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන සිදු කෙරෙන අතර නිලධාරීන් භාරයට ගත් සහනාධාර බඩු තොගය පිළිබඳව තක්සේරු කිරීමටද නියමිතව තිබුණි.

+


ගෘහ සේවකයන් බඳවා ගැනීමේදී ප්‍රවේශම් වන්න : නිවෙස් හිමියන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

(14.03.2026 – hirunews.lk)

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ සොරකම් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ගෘහ සේවක සේවිකාවන් සේවයට බඳවා ගැනීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස පොලිසිය නිවෙස් හිමියන්ට විශේෂ උපදේශනයක් නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව, මෑත කාලීනව ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වී ඇත්තේ ඇතැම් ගෘහ සේවකයන් තමන් සේවය කරන නිවෙස්වල ඇති රන් ආභරණ, මුදල්, විදේශ මුදල් සහ අනෙකුත් වටිනා දේපළ සොරා ගන්නා බවයි.

ඒ අනුව පොලිස් මුලස්ථානයෙන් නිකුත් කරන ලද නිවේදනයේන මෙසේ සඳහන් වෙයි.

කොළඹ හා ඒ ආශ්‍රිත තදාසන්න මිරිහාන, මහරගම, දෙහිවල, ගල්කිස්ස හා එවැනි කොළඹට ආසන්න ප්‍රදේශයන් හි නිවාසවල ගෘහ සේවය සඳහා සේවක සේවිකාවන් යොදවා ගැනීම ඉහළ ප්‍රවණතාවයකින් සිදු වන අතර දිවයිනේ වෙනත් ප්‍රදේශවලද මෙසේ සේවකයන් සේවයේ යොදවා ගැනීම යම්තාක් දුරට සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් වෙයි.

මෙසේ ගෘහ සේවයට යොදවා ගැනීම බොහෝ විට නියෝජිත ආයතන, තැරැව්කරුවන් හා ව්‍යාපාරික ස්ථාන මෙන්ම නිවෙස් හිමිකරුවන් සෘජුවම මෙහෙකරුවන් සොයා ගැනීම හරහා සිදු කරනු ලබයි.

ඇතැම් අවස්ථාවල ගෘහ සේවයේ යෙදෙන තැනැත්තන් වංචනික ලෙස අදාල නිවසේ හිමිකරුවන්ගේ මුදල්, රන් ආභරණ, දේපල හා විදේශීය මුදල් ඇතුළු වටිනා දේ සොරකම් කරන ලද අවස්ථා පිළිබඳව පොලිස් ස්ථානයන් වෙතලැබී ඇති පැමිණිලි අනුව නිරීක්ෂණය වී ඇත.

මෙම පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීමේදී නිරීක්ෂණය වී ඇති පොදු කරුණු අනුව මහජනතාවට යම් මඟපෙන්වීමක් සිදු කරමින් මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට මහජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් ලෙස සලකනු ලැබේ.

ඒ අනුව, ගෘහ සේවය සඳහා තම නිවසට පුද්ගලයින් යොමු කරවා ගැනීමේදී පහත සඳහන් මහපෙන්වීම් සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව පෙන්වා දෙනු ලැබේ.

  • ඇතැම් තැනැත්තන් සංවිධානාත්මකව ධනවතුන්ගේ නිවෙස් ඉලක්ක කර ගෘහ සේවයට පැමිණ ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ද සම්බන්ධ කර ගනිමින් මෙම සොරකම් කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම.
  • වංචාකාරී ලෙස පැමිණ කෙටි කලකින් එම නිවෙස්වල ගෘහ මූලිකයන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කිරීම.
  • ඕනෑම අයෙකු සේවයට බඳවා ගැනීමට පෙර ඔවුන්ගේ පසුබිම පරීක්ෂා කිරීම සිදු කිරීම.
  • ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාරූප පිටපතක් ලබාගෙන එහි මුල් පිටපක පරීක්ෂා කර සත්‍ය පිටපතක් බවට තහවුරු කර ගැනීම.
  • ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමක් විය යුතු අතර, සේවයට යොමු කර ගනු ලබන අයවළුන්ගේ ස්ථිර හා තාවකාලික පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ඔවුන් සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා ගැනීම.
  • ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හදිසි අවස්ථාවකදී ඇමතිය යුතු දුරකථන අංක කල්වේලා ඇතිව ලබා ගැනීම.
  • නිවසේ රන් ආභරණ, මුදල් සහ වටිනා ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක තැබීමට සැලකිලිමත් වීම.
  • හැකි සෑම විටම ගෘහ සේවයට යොදවා ඇති තැනැත්තන් නිවසේ තනිවම නොතබා යාම සහ එසේ යාමට සිදු වන්නේ නම් වටිනා දේපළ වල ආරක්ෂාව තහවුරු කර ගැනීමට සුදුසු ක්‍රියා මාර්ග ගැනීම.

ඉහත ලේඛනවල පිටපත් නිවෙස් හිමිකරු පදිංචි පොලිස් වසමේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත ලබා දී ඒ පිළිබඳව දැනුවත් කිරීම සිදු කල යුතු කාර්යක් වන අතර ගෘහයේ හිමිකරුවන් විසින්ද එම ලේඛණවල විස්තර වාර්තාවක් තබා ගැනීම වැදගත් වේ.

මෙම කරුණු සම්බන්ධව මහජනතාවගේ අවධානය යොමු කර කටයුතු කිරීම මඟින් මෙවැනි වංචනික ක්‍රියාවන් අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරනු ලබයි ෴


“තාත්තල ජීවතුන් අතර හිටියනම් මේ කරන මංකොල්ලය දරාගන්න බැරි වෙයි” – ජෝතිගෙ දුවයි සිසිරගෙ පුතයි (15.03.2026)

+


ඉරාන නැව් බිලි දුන්නේ ආණ්ඩුව – හෙළි නොකළ ඇත්ත මෙන්න! (14.03.2026)

+


දෙවුන්දර ගැඹුරු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක් : බහුදින යාත්‍රාවක් සහ සැකකරුවන් 05 ක් නාවික හමුදා භාරයට

(15.03.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර නාවික බලඇණිය විසින් දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සුවිශේෂී මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස්දෙනෙකු (5) භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව ලබාගත් විශ්වසනීය තොරතුරු විශ්ලේෂණය කර සකස් කරන ලද මෙහෙයුම් සැලසුමකට අනුව බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ සැකකරුවන් පිරිස මේ වන විට ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව නිවේදනය කරනවා.

මෙම වැටලීම ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක වූවක් බවත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව අනෙකුත් ආරක්ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත් මෙහිදී නාවික හමුදාව සඳහන් කළා ෴


පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වලට වරෙන්තු

(15.03.2026 – hirunews.lk)

හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, මෙම සිද්ධිය ඉකුත් 13 වැනිදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙදින සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය විසින් සැකකාර අසෝක සපුමල් රන්වලට එරෙහිව චෝදනා පත්‍රයක් ද අධිකරණයේ ගොනු කරනු ලැබුවා.

මේ අනුව අසෝක සපුමල් රන්වලට එරෙහිව රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම, බරපතල තුවාල සිදු කිරීම, සුලු තුවාල සිදු කිරීම හා ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කර බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා ගොනු කර තිබිණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැදවු ජීප්රථය මෝටර් රථයක හා යතුරු පැදියක ගැටීමෙන් මේ රිය අනතුර සිදුවු අතර එහිදී මෝටර් රථයේ ගමන් කළ එකම පවුලේ මව, මාස හතක් (7) පමණ වයසැති දරුවා හා දරුවාගේ මිත්තනිය තුවාල ලැබුවා.

මෙම නඩුවේ වැඩිදුර කැඳවීම ලබන ජුලි මස 10 වන දිනට කල් තැබීමට අධිකරණයෙන් නියම කළා.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගැමුණු ගුණරත්නගේ උපදෙස් අනුව රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක ටී.එම්. ජී. තෙන්නකෝන්, නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද (478) හා පොලිස් කොස්තාපල් ජයසිංහ (103658) යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙය වුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *