මහබාගේදී ඩෙංගු ක්ෂේත්‍ර නිලධාරියෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්

මහබාගේදී ඩෙංගු ක්ෂේත්‍ර නිලධාරියෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්


මහබාගේදී ඩෙංගු ක්ෂේත්‍ර නිලධාරියෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්

(28.03.2024 – 18:53 +0530 – hirunews.lk/sinhala)

වැලිසර – මහාබාගේ – මද්දුමගල ප්‍රදේශයේදී ‘වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඩෙංගු මර්දන ඒකකයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු’ ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබෙනවා.

ඒ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

අදාළ නිලධාරියා නිවසේ රැදී සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසිනුයි වෙඩිතැබීමට තැත් කර ඇත්තේ.

එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග අදාළ ක්ෂේත්‍ර නිලධාරියා ඔහු සමග පොරබැදීමක්ද සිදු කර තිබෙනවා.

එහිදී ඔවුන් යතුරුපැදියෙන් පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර කරන්දෙණිය ප්‍රදේශයේදී ‘ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ’ භාණ්ඩාගාරික ‘රොෂාන් කුමාර’ ඝාතනය කොට මාසයකට වැඩි කාලයක් ගත වුවද තවමත් ඊට අදාළව කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව එම සංගමය චෝදනා කරනවා.

එමෙන්ම ඝාතනයට හේතුවද තවමත් නිශ්චිතව අනාවරණය කර ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ.

දැනට සිදු කරන ලද විමර්ශනවලදී රොෂාන් කුමාර ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පසුගියදා ඌරගස්මංහන්දිය – කරිජ්ජවේල්ල තොටුපළ ආසන්නයේදී පුලුස්සා තිබියදී සොයා ගෙන තිබුණා.

මේ අතර ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ වෙළඳසැලක් තුළදී අද (28) අලුයම, 32 හැවිරිදි ‘කැලුම් තුෂාර’ හෙවත් ‘ඉබ්බා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා ෴


සම්බාහන ආයතන සේවිකාවකට අමානුෂික ප්‍රහාරයක්

(28.03.2024 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මාතර වල්ගම ප්‍රදේශයේ සම්බාහන ආයතන සේවිකාවකට සිදු කළ අමානුෂික ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම ආයතනයේ හිමිකරු ඇතුළු පස් දෙනෙකු (5) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තියුණු ආයුධයක් අතැතිව සිටි අදාළ හිමිකරු එම සේවිකාව නිරුවත් කර පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මාතර වල්ගම ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් තුළ මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය 19 වැනි දින රාත්‍රියේයි. තියුණු ආයුධයක් අතැතිව පැමිණි සම්බාහන ආයතන හිමිකරු එහි සේවිකාවන් පිරිසක් ද සමග මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇත්තේ තම ආයතනයේම සේවිකාවකටයි.

මෙම සම්බාහන ආයතන හිමිකරු මෙම ප්‍රදේශයේම තවත් ‘ස්පා’ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර පහර කෑමට ලක් වූ තරුණිය මීට පෙර සේවය කර ඇත්තේ එම ආයතනයේයි.

එහිදී ඇය වෙනත් පුද්ගලයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් විමසීමට සම්බාහන ආයතන හිමිකරු අදාළ තරුණියව එම (මුල් ?) ආයතනයට කැඳවා තිබෙනවා.

එහිදී තරුණිය පවසා ඇත්තේ තමන් මෙම (මුල් ?) ආයතනයේ සේවයේ යෙදීමට අකමැති බවයි.

මේ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ දුරදිග යාමක් සමග තියුණු ආයුධයක් රැගෙන පැමිණි ආයතන හිමිකරු එහි තවත් සේවිකාවන් පිරිසක් සමග මෙම සේවිකාවට පහර දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත සම්බාහන ආයතනයේ හිමිකරු හා ප්‍රහාරයට සම්බන්ධ තරුණියන් 4 ක් පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මාතර මහෙස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

+


ධීවර යාත්‍රාවක ධීවරයින් 07 දෙනෙකු මුරුසි දූපතේ සිරවෙයි

(28.03.2024 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතු සඳහා මෙරටින් පිටව ගිය ධීවර යාත්‍රාවක ධීවරයින් 07 දෙනෙකු යළිත් මෙරට පැමිණීමට නොහැකිව මුරුසි දූපතේ සිරවී සිටිනවා.

ධීවරයින්ගේ ඥාතීන් පවසන්නේ මාස තුනකට (3) අධික කාලයක් දූපතේ සිර වී සිටින ඔවුන් යළිත් මෙරටට ගෙන්වා දීම සඳහා අදාළ බලධාරීන් මැදිහත්වන ලෙසයි.

‘ඉසුරු පුතා 02’ ධීවර යාත්‍රාව 2023 සැප්තැම්බර් මස 19 වැනිදා වෙන්නප්පුව – වෙල්ලමංකරය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණා.

ඒ මාරවිල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් 07 දෙනෙකු සමඟයි.

ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී මුරුසි රාජ්‍යයේ වෙරළාරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ධීවරයින්ගේ පවුලේ ඥාතීන් පවසන්නේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී දැල් ආම්පන්න මුරුසි රාජ්‍යයේ දේශ සීමාව වෙත ගසා ගෙන ගොස් ඇති අතර එම දැල් ආම්පන්න සොයා ගිය අවස්ථාවේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත් වූ බවයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 14 වැනිදා අත්අඩංගුවට පත් වු එම ධීවරයින් 07 දෙනා මාස දෙකකට (2) ආසන්න කාලයක් මුරුසි දූපතේ රඳවා ගෙන ඇති අතර පසුගිය දෙසැම්බර් මාසයේදී එම පිරිස මුදා හැර තිබෙනවා.

නමුත් තමන්ට යළි මෙරටට පැමිණීමට නොහැකි බව පවසමින් එම ධීවරයින් ඔවුන්ගේ ඥාතීන්ට මෙලෙස වීඩියෝ පටයක් එවා තිබුණා.

ඒ අනුව එම ධීවරයින්ගේ ඥාතීන් පවසන්නේ හැකි ඉක්මනින් එම පිරිස මෙරට ගෙන්වීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

+


ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

(28.03.2024 – 22:38 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.

ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ ‘ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන්’ (Internet Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලබයි.

මෙම මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ
https://childprotection.gov.lk/ වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබදච වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත ලබාදීම සිදු කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 277 8911 දිගු අංක (269) ඔස්සේ නීතිය බලාත්මක කිරීමේ අංශය අමතා හෝ
https://childprotection.gov.lk/ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාකරීව කටයුතු කරන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමඟ හමුවකටද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

එම කමිටු වාර්තාව 2023 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර බහු පාර්ශවකරුවන් සමඟ පුළුල් උපදේශන ඔස්සේ සකස් කරන ලද එම වාර්තාවේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ළමා ආරක්ෂණ පද්ධතිය තුළ කටයුතු කරන විවිධ වූ ආයතන සඳහා නිර්දේශ ක්‍රියාවට නැංවීමේ පළමු පියවර ලෙස කමිටුව විසින් අදාළ අංශ සහ ආයතන ඉලක්ක කරගත් කෙටිකාලීන නිර්දේශ කිහිපයකට ප්‍රමුඛත්වය දී ඇති බවත්, එය මාස 06 ක් තුළ ක්‍රියාත්මක කිරීමටත් එම ගැටලුවල බරපතලකම අනුව ඒවාට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම් සහ පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව මේ සඳහා කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බවත්, ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *